ඩිමොක්‍රටික් පක්ෂ සමුළුවේදී හිලරි ක්ලින්ටන් DNC පක්ෂයේ ජනපති අපේක්ෂිකාව ලෙස තේරී පත්වුණු බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත.

මෙහිදී සමුළුව ඇමතූ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා, මිෂෙල් ඔබාමා හා හිලරි ක්ලින්ටන්ගේ සැමියා වන හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් හිලරි ජනපති කරවන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත. මෙහිදී ජනපති අපේක්ෂකත්වය පතා හිලරි හා තරඟ වැදුණු බර්නි සැන්ඩර්ස්ද කතා කළ අතර මෙහිදී ඔහුට පාක්ෂික පිරිස හිලරිට විරෝධය පළ කිරීමටද කටයුතු කරනු ලැබුණි.

බරක් ඔබාමාගේ කතාවේදී ඇමරිකාවේ ජනාධිපති ලෙස පත්වීමට හිලරි ක්ලින්ටන් සතු සුදුසුකම් පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කර තිබුණි. නායකත්වයක් ගැනීමේදී තිබිය යුතු මෘදු බව මෙන්ම දැඩි බවත් කරුණාවන්ත බවත් ඇය තුළ පවතින අතර අත්දැකීම් අතින්ද ඇයගේ ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා පැහැදිලි වෙනස්කම් සහිත බවද ජනාධිපති ඔබාමා මෙහිදී පැවසීය. සමස්ත මුස්ලිම් ආගමිකයන්ට ඇමරිකාව තහනම් කලාපයක් නොකර ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව හිලරි සටන් කරනු ඇති බව පැවසු ජනාධිපතිවරයා ජිහාඩ් හෝ ඇමරිකාවේ බිහිවන ඒ අන්දමේ වෙනත් දේශපාලනික හෝ ආගමික කණ්ඩායමක් ඇමරිකාවේ සාරධර්මවලට පටහැනිව යා නම් ඔවුන් සෑම විටම අසාර්ථක වන බවත් පවසා සිටියා.

මේ අතර බර්නි සැන්ඩර්ස් පැරදවීම් සඳහා ඩී.එන්.සී. පක්ෂය සිදුකළ බවට විකිලීක්ස් හෙළිකළ ඊ-මේල සිදුවීම පසුපස රුසියාව සිටින බවට හිලරි ක්ලින්ටන් චෝදනා නගා ඇත. මෙහිදී ඇය රුසියානු ජනාධිපතිවරයා වෙතද චෝදනා කර ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති කරවීම සඳහා රුසියාව විසින් මේ ආකාරයට කටයුතු කරන බව  ඇය පවසයි. නමුත් හිලරිගේ මේ චෝදනා රුසියාව තරයේ ප්‍රතික්ෂේප කර සිටී.

ඩොනල්ඩ් ට්‍රම්ප්ද මීට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ හිලරිගේ නොහැකියාව මේ ප්‍රකාශවලින් තහවුරු වෙන බවයි.

කෙසේ වෙතත් විකිලීක්ස් ඊමේල් මුදාහැරීමට මූලික වූ විකිලීක් නිර්මාතෘ ජුලියන් ඇසෑන්ජ්ද මීට පිළිතුරු දීමට මාධ්‍ය හමුවක් කැඳවා තිබුණු අතර ඔහු පැවසූවේ හිලරි නගන චෝදනා සත්‍යයෙන් තොර බවත් එම ඊමේල්වල සඳහන් තොරතුරු සියල්ල සත්‍ය බවත්ය.

Share this Post