පසුගිය කාලෙ හම්බන්තොට මාගම්පුර වරාය ගැන කියවුණු හුඟක් තැන්වල 150 ගැනත් කියවුණා. දැන් ආයෙත් මාගම්පුර වරායත් සමග 150 ක කතාවක් කරළියට ඇවිත්.

මාගම්පුර වරාය හා 150 ගැන පසුගිය කාලෙ සඳහන් වුණේ, 2010 අගෝස්තු 15 වැනිදා මෙම වරාය විවෘත කිරීමේ උත්සවයේ නැටුම් ගැයුම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 150 ක් ගෙවා තිබූ සිද්ධියක් මුල් කරගෙනයි.

ඒත් මෙවර 150, වරාය හා සම්බන්ධ වී ඇත්තේ ලංකාවේ විශාලතම ව්‍යාපෘතියක් මාගම්පුර වරාය ආශ්‍රිතව ආරම්භ කිරීමට වන ලකලෑස්තියක් සමගයි. ඒ අනුව ලබන වසරේ හම්බන්තොට මාගම්පුර වරාය ආශ්‍රිත කොටගෙන කර්මාන්ත 150 ක ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙන බව පැවසේ.

පසුගියදා හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය හා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නිරීක්ෂණය කිරීම සඳහා චාරිකාවක යෙදුණු විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතා මාධ්‍යවේදීන් අමතා මේ බව සඳහන් කර තිබුණි.

මෙය ලංකාවේ විශාලතම ව්‍යාපෘතිය බවට පත්කිරීම සඳහා අවශ්‍ය සාධක සියල්ල ඇති බව මෙහිදී අමාත්‍යවරයා පවසා තිබුණි. ‘පාරවල්, ගුවන් තොටුපොළක්, නැව් තොටුපොළක්, ලොකු හෝටලයක්, හොඳ කාර්යාලයක් මෙහි තියෙනවා.  මේ සියල්ල එකතු කරගෙන ඉක්මනින්ම හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ තරනවා’ මෙහිදී ඇමතිවරයා පැවසීය.

මාගම්පුර කර්මාන්ත 150 ව්‍යාපෘතිය ස චීනය විසින් ඉදිකිරීමට යෝජිතව ඇති අතර මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉක්මනින් සැපයීමට රජය කටයුතු කරනු බවද ඇමතිවරයා පැවසීය.

හම්බන්තොට චීනයට විකිණීමට යන චෝදනාවට පිළිතුරු දුන් මලික් සමරවික්‍රම ඇමතිවරයා (ජාත්‍යන්තර වෙළඳ හා වාණිජ කටයුතු ඇමති) පැවසූවේ එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි. චීනය සහ ශ්‍රී ලංකාව එක්ව සංවර්ධන කටයුතු කරන බවත් ආණ්ඩුවට අයත් කොටස්ද එහි තිබෙන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. ‘මේ වන විටත් චීන ආයෝජකයෝ අපිත් එක්ක එකතුවෙලා මේ සංවර්ධනය පටන් ගැනීමට සූදානමින් ඉන්නවා’ යිද ඔහු පැවසීය.

ලබන වසරේ ජනවාරි මාසය වන විට මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ කොට කර්මාන්ත ශාලා කලාපයක් දැමීමට බලාපොරොත්තු වන බව මෙහිදී ප්‍රකාශ විය.

Share this Post