ත්‍රිරෝද රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කටයුතු කර ඇත.

බස්නාහිර පළාත තුළ ඇති සියලුම මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමෙන් මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිත වේ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් අංක 1821/31 හා බස්නාහිර පළාත් සභාවේ අතිවිශේෂ ගැසට් නිවේදන 1834/27 ට අනුව මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචිය සිදුකළ යුතු වේ. මේ සඳහා කාලසීමාවක්ද ලබා දී ඇති අතර එය 2016 ජූනි 20 වන දින සිට ජූලි 30 දින දක්වා ලෙස දැක්වේ. ‍

මෙසේ ලියාපදිංචි නොවන සියලුම ත්‍රිරෝද රථ මගී ප්‍රවාහනයෙන් ඉවත් කරන බව බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. ලියාපදිංචි කෙරෙන ත්‍රිරෝද රථ සඳහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කෙරෙන අතර එම ත්‍රිරෝද රථවල රියදුරන්ගේ අනන්‍යතාව සඳහන් හැඳුනුම්පතක්ද බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් නිකුත් කරනු ලබයි. ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය සහ රියදුරු හැඳුනුම්පත මගීන්ට පෙනෙන ලෙස ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය වේ.

තවද, සියලුම ත්‍රිරෝද රථ උපරිම ගාස්තු අයකිරීමකට යටත්ව ධාවනය කළ යුතු වේ. එහිදී කිලෝමීටරයක් සඳහා රුපියල් 50 ක්ද වැඩිවන සෑම කිලෝමීටරයක් සඳහාම රුපියග් 40 බැගින්ද උපරිම ස්ථාවර ගාස්තුවක් අය කිරීමට නියමිත වේ.

කුලී රථ සඳහා ජාත්‍යන්තර වශයෙන් ප්‍රමිතිගත කර ඇති රතු සහ කොළ සංඥා දිවා රාත්‍රි කාලයේ මෙන්ම වැසි දිනයන්හිත් ක්‍රියාත්මක විය යුතුය. එනම් ඈත සිටින්නෙකුට වුවත් රථයේ මගියෙකු ඇති නැති බව හඳුනාගත හැකිවන ලෙස මෙම රතු-කොළ සංඥා එළි දැක්විය යුතුයි.

මෙම වැඩසටහනට ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් සමාගමද එක් වී ඇති අතර,ත්‍රිරෝද රථයේ ගමන් ගන්නා උපරිම මගීන් 3 දෙනාට එක් අයෙකුට රුපියල් 100,000 බැගින් රිය අනතුරු රක්ෂණයක්ද රියදුරුට රැපියල් 50,000 ක රිය අනතුරු රක්ෂණයක්ද එම ආයතනය විසින් පිරිනමනු ඇත.

මෙම ත්‍රිරෝද රථ නියාමන වැඩසටහන මීට වසර කිහිපයකට පෙර පළාත් සභාව මගින් ගැසට් ගත කළත් විවිධ හේතු මත ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇත.

Share this Post