බ්‍රසීලයේ පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන අපරාධ පරීක්ෂණයක් සඳහා අදාළ රහස්‍ය තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා එරට අධිකරණය මගින් තාවකාලිකව අත්හිටවනු ලැබූ WhatsApp පණිවුඩ සේවාව නැවත එරට තුළ ක්‍රියාත්මක කිරීම අරඹා ඇත.

බ්‍රසීලය තුළ වසර දෙකක් තුළ WhatsApp පණිවුඩ සේවාව තහනමට ලක් වූ තුන්වන අවස්ථාව මෙය වන අතර ඒ සෑම අවස්ථාවකදීම මිලියන ගණනක් වූ වට්ස්ඇප් භාවිත කරන්නන් දැඩි අපහසුතාවට ලක් වී තිබුණි.

තමාගේ සේවාව ලබාගන්නා පුද්ගලයින්ගේ රහස්‍ය තොරතුරු ලබාදීමට කිසිදු හැකියාවක් නොමැති බවත් එවැනි හේතුවක් මත වට්ස්ඇප් සේවාවට තහනමක් පැනවීම කිසිදු ලෙසකින් සාධාරණ නොවන බවත් වට්ඇප්ස් බලධාරීන් පවසයි.

මේ වන විට වට්ස්ඇප් ලොව ජනප්‍රියතම පණිවුඩ සේවාවක් බවට පත්ව ඇති අතර ලොව පුරා වට්ස්ඇප් භාවිත කරන බිලියන සංඛ්‍යාත පිරිස අතරින් බ්‍රසීල වැසියන් මිලියන 100 ක් පමණ එය භාවිත කරයි.

‘බ්‍රසීලයේ මහජන සන්නිවේදන කටයුතුවලදී වට්ස්ඇප් ප්‍රධානතම මෙවලමයි. ජාත්‍යන්තර ඔලිම්පික් තරඟ ආරම්භ වීමට ආසන්නව තිබියදී මෙවැනි ආකාරයට වට්ස්ඇප් තහනමට ලක් කිරීමෙන් අනතුරුදායක අන්දමේ බලපෑමක් ඇතිවිය හැකියි’ මේ පිළිබඳව අදහස් දැක්වූ එරට ප්‍රාදේශීය උපදේශක සමාගමක් වන Southern Pulse සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා පවසා ඇත.

Share this Post