කොවිඩ්-19 රෝගීන් සැලකිය යුතු ලෙස පහත වැටෙන තෙක් එළිමහන් ක්‍රීඩා පහසුකම් වසා තැබීම දිගටම පවත්වාගෙන යන බව ඔන්ටේරියෝ සෞඛ්‍ය ඇමතිනි Christine Elliott ප්‍රකාශ කරයි.

මේ වන විට stay-at-home නියෝගයට යටත් කර ඇති ඔන්ටේරියෝ පළාතේ ටෙනිස්, ගොල්ෆ් ආදි එළිමහන් ක්‍රීඩා අප්‍රේල් මාසයේදී වසා දැමීමට කටයුතු කෙරුණි. මෙම ක්‍රීඩා පහසුකම් නැවත විවෘත කෙරන ස්ථිර දිනයක් ප්‍රකාශ කිරීමට තවමත් හැකියාවක් නොහැකි බව සෞඛ්‍ය ඇමතිනිය පවසා සිටියි.

“කොවිඩ්-19 රෝගය සම්ප්‍රේෂණය වීම අඩු කරගැනීමෙන් පසු මෙහි ස්වභාවය පිළිබඳ නිශ්චිත තක්සේරුවකට පැමිණ අපගේ එදිනෙදා කටයුතු නැවතත් නිදහසේ කිරීමේ අවස්ථාවට ළඟා වීමට අපට හැකි වේවි. නමුත් එතෙක් අත්‍යවශ්‍ය නොවන සියලු කටයුතුවලින් බැහැරව එහා මෙහා යෑම් හැකිතාක් සීමා කර සිටීමට අප වගබලා ගත යුතුයි.”

සති කිහිපයකට පසු මැයි 05 වන දින ඔන්ටේරියෝව තුළ කොවිඩ්-19 රෝගීන් වාර්තා වීම තරමක් පහත වැටී තිබුණත් ඉදිරි කාලය තුළ එය කෙසේ වේදැයි අධ්‍යයනය කිරීම කළ යුතුව ඇති බව ඇය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම එළිමහන් ක්‍රීඩාගාර තහනම සහ වෙනත් සංචරන සීමාවන් ඉවත් කිරීමට පෙර කොවිඩ්-19 රෝගයෙන් රෝහල්ගත වීම් සහ දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන් සංඛ්‍යාව අඩු විය යුතු බව ඇය අවධාරණය කරයි. කොවිඩ්-19 රෝගීන්ගෙන් රෝහල් පිරී යාමත් සමග වෙනත් රෝගීන් සඳහා කිරීමට තිබූ තිබූ ශල්‍යකර්ම රාශියක් කල් දැමීමට සිදුවීම මේ වන විට ඔන්ටේරියෝවේ සෞඛ්‍ය අංශ මුහුණ දී ඇති විශාල අර්බුදයක් බව ඇය පෙන්වා දේ.

මෙම එළිමහන් ක්‍රීඩා තහනම් නියෝගය පිළිබඳ විවිධ ආකාරයේ විවේචන මේ වන විට රජයට එල්ල කෙරෙමින් පවතින අතර කොවිඩ්-19 පාලනය කිරීම සහ එළිමහන් ක්‍රීඩා නතර කිරීම අතර ඇති සම්බන්ධය එතරම් ප්‍රායෝගික නොවන්නක් බව ඔවුන් පවසා සිටී. විශේෂයෙන්ම කුඩා දරුවන් සඳහා එළිමහන් ක්‍රීඩා අවස්ථා නැති කිරීම ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට දැඩිව බලපාන්නක් බව ඔවුන් පවසා සිටී.

එකිනෙකා හා නොගැටෙන සංචරන අවම ආරක්ෂිත ක්‍රීඩාවක් වන ගොල්ෆ් සමාජ විවෘත කිරීමට ඉඩ දිය යුතු බව ඔන්ටේරියෝ ගොල්ෆ් සංගමයේ විධායක අධ්‍යක්ෂ Mike Kelly, පවසා සිටියි.

ක්‍රීඩාව මගින් ප්‍රජාව වෙත ලබා දෙන මානසික හා ශාරීරික විවේකය මෙවැනි අර්බුදකාරී අවස්ථාවක අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දේ.

Share this Post