දකුණුදිග ප්‍රංශයේ වෙරළාසන්නයේ පිහිටි නීස් නගරය පසුගිය ජූලි 14 වනදා සැබවින්ම උත්සවශ්‍රීයෙන් ඇළලී ගොස් තිබුණි. ජීවිතය යනු සතුට නම් එදින උදෑසන සිට නීස් වෙත එක් රොක් වූ දහස් සංඛ්‍යාත පිරිසක්ද භුක්ති වින්දේ එයයි.

ප්‍රංශයේ සුප්‍රසිද්ධ බැස්ටයිල් දිනය හෙවත් ජාතික දින සැමරුම යෙදී තිබූ එදින එරට ප්‍රසිද්ධ නිවාඩු දිනයක්ද විය.  වයස් බේදයකින් තොරව දවස පුරා රිසි සේ තුටු පහටු වූ පිරිස රාත්‍රී වෙද්දී වෙරළාසන්නයට තව තවත් එක් වූයේ මල් වෙඩි සංදර්ශනය නැරඹීමටයි. ඒ වන විට වේලාව රාත්‍රී 10.30 ත් 11.00 ත් අතර පමණ විය.

ඒ කාල පරාසය තුළදී එහි සිට සිය ගණනකට මුහුණ පෑමට සිදුවූයේ කිසි විටෙකත් නොසිතූ විරූ කුරිරු ඉරණමකටයි. ක්ෂණයකින් මාරාවේශයෙන් මේ පිරිස වෙත කඩා වැදුණු ට්‍රක් රථයක් එහි සිටියවුන් යට කරමින් ධාවනය කරන්නට විය.  හිතාමතාම සිදුකළ මේ ම්ලේච්ඡ ක්‍රියාව ඇසින් දුටුවන් පවසා ඇත්තේ මරහඬ දෙමින් හිස් ලූ ලූ අත දුවන මිනිසුන් යට කරමින්ද ඔවුන්ව ට්‍රක් රථයේ හප්පා ඈතට විසි කරමින්ද ට්‍රක් රථය සැතපුමක් පමණ ජන ගඟ මැදින් ගමන් ගත් බවයි.  එම කුරිරු සංහාරය නිසා මේ වන විට 84 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර එම පිරිස අතර 10 දෙනෙකුම කුඩා දරුවන් සහ බිළිඳුන් වේ. තුවාල ලබා ඇති පිරිස 200 කට අධික වන අතර ඉන් 52 කුම දැඩි අවදානම් තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ. ඔවුන් අතරින් 25 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල පසුවෙති.

එම ට්‍රක් රථය ධාවනය කළ පුද්ගලයා එක් අවස්ථාවකදී ඉන් එයින් එළියට පැන ජනතාව වෙත මහා වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර ඇති අතර එම අවස්ථාවේදී පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීම්වලින් ඔහු මරු වැළඳගෙන ඇත. පොලිස් වෙඩි ප්‍රහාරවලට ලක්ව මිය යාමට පෙර එම පුද්ගලයා ‘අල්ලාහු අක්බර්’ යනුවෙන් කෑ ගසා ඇති බවද පැවසේ.

ට්‍රක් රථයේ තිබූ ලියකියවිලිවලින් මේ වන විට ඔහුගේ අනන්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව මෙම පුද්ගලයා ප්‍රංශ-ටියුනීසියානු සම්භවයක් සහිත 31 හැවිරිදි මොහොමඩ් ලාහොඒජ් බුල්ලා නම් තැනැත්තෙකි. මෙම ට්‍රක් රථය තුළ අක්‍රිය තත්ත්වයේ ග්‍රෙනේඩ් බෝම්බ කිහිපයක් සහ ව්‍යාජ රයිෆල් තුවක්කු කිහිපයක්ද තිබී ඇතැයි පැවසේ.

මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාරගෙන නැතත් අයිඑස් ඉස්ලාම් රාජ්‍ය මෙම සිදුවීම සමරණ බව ඇතැම් වාර්තාවල දැක්වේ.

මෙම සිදුවීමෙන් පසු ජාතිය ඇමතූ ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලන්දේ පවසා ඇත්තේ කිසිදු සැකයකින් තොරව මෙය ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් බවයි. මේ වන විට මුළු ප්‍රංශයම ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ බලවත් තර්ජනයට ගොදුරැ වී ඇති බව ජනපතිවරයා මෙහිදී පැවසීය.

පසුගිය වසරේ නොවැම්බරයේ ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ප්‍රහාරයත් සමග එරට හදිසි නීතිය පනවනු ලැබූ අතර එය නුදුරේදීම අවසන් වීමට නියමිතව තිබුණි. නමුත් මෙම සිදුවීමත් සමග එය තවදුරටත් මාස තුනකින් දීර්ඝ කිරීමට ප්‍රංශ රජය විසින් උපදෙස් ලබා දී ඇත.

f 3

f 2

f 7

f11

f 4

F 1

f10

f6

f5

f 8

 

Share this Post