2013 ජූලි 27 වෙනි දින ටොරොන්ටෝවේදී සිදුවූ පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිය සැමී යැටීම් නඩු විභාගයේ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් විය. ඒ අනුව එම මරණය සාවද්‍ය මිනී මැරුමක් බව පැවසූ අධිකරණය යැටිම් වෙත වෙඩි ප්‍රහාර එල්ල කර පොලිස් කොස්තාපල් ජේම්ස් ෆෝසිලෝ හට වසර 6 ක සිරදඬුවමක් නියම කරනු ලැබුණි.

එම තීන්දුවට අනුව ඊයේ (27 දා ) ටොරොන්ටෝ (දකුණ) බන්ධනාගාරයට රැගෙන යනු ලැබූ ෆෝසිලෝ හට අද දින නැවතත් බන්ධනාගාරයෙන් පිටව යෑමට අවස්ථාව උදා විය. ෆෝසිලෝ වෙත දඬුවම් නියම වීමත් සමග ඔහුගේ නීතිඥයින් විසින් තම සේවාදායකයාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා අභියාචනයක් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර එහි ප්‍රතිඵලය ලෙස මෙලෙස ඔහු ඇප මත නිදහස් කර ඉදිරි මාස කීපය සඳහා නිවාස අඩස්සියට පත් කරනු ලැබුණි. ජූරිය විසින් මේ නඩුවේදී ලබාදුන් තීන්දුව න්‍යායිකව බැලීමේදී අයුක්ති සහගත එකක් බව ෆෝසිලෝගේ නීතිඥ මයිකල් ලැසි අධිකරණයට පවසා තිබුණි.

ෆෝසිලෝගේ ඇප අයදුම්පත් ඉදිරිපත් වූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා එයට විරෝධය පළ කරමින් පවසා සිටියේ මහජනයාගේ දැඩි අවධානය යොමු වූ ආන්දෝලනාත්මක නඩු තීන්දුවකට පසු මෙවැනි ඇප දීමක් අවදානම් බවය.

ෆෝසිලෝගේ අභියාචනය විභාග කිරීම ලබන වසරේදී සිදුකිරීමට නියමිතව ඇති අතර එතෙක් ඔහුට ඇප මත ලැබූ මේ නිදහස භුක්ති විඳීමට අවස්ථාව ලැබෙනු ඇත.

Share this Post