කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා කැනඩා විදේශ කටයුතු පිළිබඳ ඇමති ස්ටෙෆාන් ඩියොන් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ගොස් තිබුණි. ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ජූලි 27 වෙනි දින එහි ගිය මෙරට විදේශ ඇමතිවරයා දෙරට අතර වෙළඳ, ආර්ථීක හා දේශපාලන වැනි අංශ රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කොට තිබුණි.

වසර 13 කට පසු කැනඩා විදේශ අමාත්‍යවරයකු ශ්‍රී ලංකාව වෙත ගිය පළමු අවස්ථාව මෙය බව සඳහන් වන අතර ඒ  මහතා ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් වැනි ප්‍රධාන පෙළේ දේශපාලන නායකින් මුණ ගැසීමට කටයුතු කර තිබුණි.

මෙහිදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවකදී, ශ්‍රී ලංකාව හා කැනඩාව අතර පවතින සබඳතාව විදේශ අමාත්‍යවරයා විසින් හඳුන්වා දී තිබුණේ ‘දෙරටේ ජනතාව අතර පවතින බැඳීමක්’ ලෙසයි. කැනඩාව තුළ ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් ජීවත් වන බවත් එම ජන කොටස කැනඩාවේ සංවර්ධනයට මෙන්ම සංස්කෘතික විවිධත්වය සඳහා විශාල දායකත්වයක් දක්වන බවත් විදේශ ඇමතිවරයා විශේෂයෙන්ම සඳහන් කොට තිබුණි. කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව පිළිබඳව අදහස් දැක්වූ ඔහු පවසා තිබුණේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හැරුණු කොට විශාලතම ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාවකට නිවහන වී ඇත්තේ කැනඩාව බවයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කටයුතු සිදුවන ආකාරය හා සංහිදියා වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවද මෙහිදී කැනඩා විදේශ ඇමතිවරයා අදහස් පළ කොට තිබුණි. ඒ පිළිබඳව ඔහු පවසා තිබුණේ, ශ්‍රී ලංකාවේ සංහිදියාව ඇතිකර ගැනීම සඳහා රට තුළ පවතින රාජ්‍ය භාෂා ගැටලූව විසඳීමට කටයුතු කළ යුතු බවයි. රාජ්‍ය භාෂා ගැටලූව විසඳීම සඳහා කැනඩා රජයේ සහාය ලබා දීමටද විදේශ ඇමතිවරයා කැමැත්ත පළ කරනු ලැබූ අතර රාජ්‍ය සේවයේදී සිංහල හා දෙමළ යන භාෂා ද්විත්වයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පවසා තිබුණි. මේ වෙනුවෙන් ඩොලර් බිලියන 11.2 ක මුදලක් වසර පහක කාලයකට ශ්‍රී ලංකාවට ලබා දීමට කැනඩා රජය තීරණය කර ඇතැයිද ඩියෝන් විදේශ ඇමතිවරයා පවසා ඇත.

ශ්‍රී ලංකා රජය විසින් ගෙන යන සංහිදියා ක්‍රියාවලිය දිරිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ඉතාම වැදගත් බවත් ඒ නිසාම ජගත් මානව හිමිකම් කවුන්සිලය මගින් සම්මත කෙරුණු යෝජනාවට සම අනුග්‍රහය ලබා දීමට කැනඩාව ඉදිරිපත් වුණු බවත් විදේශ ඇමතිවරයා ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාව තුළ සාමය හා සංහිදියාව ඇති කිරීමේදී ජාත්‍යන්තර සහභාගිත්වයේ ඇති වැදගත් කමද ඇමතිවරයා මෙහිදී පෙන්වා දී තිබුණි.

මෙම තෙදින නිල සංචාරය අතරතුරදී කැනඩා විදේශ ඇමතිවරයා උතුරේ සංචාරයක නිරත වීමටද අමතක නොකළ අතර එහිදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මෙන්ම උතුරේ මහ ඇමතිවරයාද හමුවීමට කටයුතු කර තිබුණි.

එහිදී ආණ්ඩුකාරවරයා සහ කැනඩා විදේශ ඇමතිවරයා අතර උතුරේ අවතැන් ජනතාව නැවත පදිංචි කරවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු අතර මේ වන විටත් පවුල් එක්ලක්ෂ හැටදහසකට වැඩි ප්‍රමාණයක් නැවත පදිංචි කර ඇති බවත් පවුල් 120,000 ක් පමණ යාපනය ප්‍රදේශයේ පදිංචි කර ඇති බවත් ආණ්ඩුකාරවරයා පෙන්වා දී තිබුණි. මේ පිරිස පදිංචි කිරීමට ඉඩම් අක්කර 2500 ක් නිදහස් කරවීමට කටයුතු කර ඇති බවත් ඉතිරි ඉඩම්ද පියවරෙන් පියවර අයිතිකරුවන්ට ලබා දීමට කටයුතු කරන බවත් ආණ්ඩුකාරවරයා එම යාන්ත්‍රණය පිළිබඳව වැඩිදුරටත් පැහැදිළි කර තිබුණි.

යුද්ධය නිසා අනාථභාවයට පත්ව සිටින කාන්තාවන් සඳහා ආධාර ලබාදීමටත් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය කටයුතු සොයා බැලීමට මෙහිදී කැනඩා විදේශ ඇමතිවරයා එකඟතාව පළ කොට තිබුණි.

යාපනය සංචාරය අවසන් කරමින් අදහස් පළ කළ විදේශ ඇමතිවරයා මෙසේ පැවසීය. ‘ලොව කිසිම රටක් අපේ රටේ ආණ්ඩු ක්‍රමය අනුකරණය කළ යුතු නෑ. ෆෙඩරල් හා ඒකීය කියන වචනවල එල්ලී වාද විවාද කරනවාට වඩා තමන්ගෙ රටට අත්‍යවශ්‍ය කුමන සුවිශේෂී ක්‍රමයද යන්න ප්‍රායෝගිකව සොයා බලා රට තුළ ජීවත් වන ජාතීන් අතර එක්සත් කම රැක ගත හැකි ක්‍රමයකට එය යොදා ගැනීමට සාකච්ඡා කිරීමත් එය ක්‍රියාත්මක කිරීමත් තමයි වඩාත්ම වැදගත් වන්නේ’.

Share this Post