ශ්‍රී ලංකාවේ අලෙවි කෙරෙන ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම සඳහා වන ගැසට් නිවේදනය ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ පසුගිය ඔක්තෝබර් 21 වෙනිදා නිකුත් කෙරුණි.
ඖෂධ මිල සූත්‍රයට අනුව ක්‍රියාත්මක කෙරුණු මෙම මිල අඩු කිරීම් ශ්‍රී ලංකාවේ සියලූම ඖෂධ වෙළඳසල් සඳහා වලංගු වේ. ඛෙහෙත් මිල අඩු කිරීමේ ගැසට් නිවේදනයට අනුව ඛෙහෙත් වර්ගවල මිල ඉහල සීමාවන් එම ඛෙහෙත් වර්ගවල වෙළඳ හා ඖෂධීය නාමයන් සම්බන්ධයෙන් අදාළ විය යුතු අතර දක්වා ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට ඖෂධ විකිණීම තහනම් වේ. යම් ඖෂධ වෙළඳසලක් මෙම ඖෂධ වර්ග වැඩි මිලට විකුණුව හොත් ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද මෙම ගැසට් නිවේදනයෙන් නීතිමය බලය පැවරී ඇත. එසේ වැඩි මිලට ඖෂධ විකුණන ඖෂධ වෙළඳ සල් වැටලීම සඳහා පාරිභෝගික අධිකාරිය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයට බලය පැවරී ඇත.
දියවැඩියාව, අධිරුධිර පීඩනය, හදවත් රෝග, කොලෙස්ටරෝල්, අපස්මාරය, ඇදුම, ආතරයිටීස්, මානසික රෝග සඳහා භාවිත කරන ඖෂධ, වේදනා නාශක, ඇතැම් ප්‍රතිජීවක ඖෂධ වැනි රෝග රැසක් සඳහා නියම කෙරෙන ඖෂධ වර්ග 48 ක් මෙම මිල අඩු කිරීමට යටත් වී ඇත. මෙම සියලූම ඖෂධ ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිත වන ඒවා වන අතර එම 48 අතරින් මුලින්ම සඳහන් ඖෂධ 24 හි මිල අඩුකිරීමෙන් පමණක් රටේ ජනතාවට වසරකදී ඉතුරු වන මුදල රුපියල් කෝටි 450 ක් පමණ වෙතැයි පැවසේ.
මෙම ඖෂධ වර්ග අඩු කිරීමේ වාසිය ඔක්තෝබර් 24 වෙනිදා සිට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ජනතාවට ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සංස්ථාවට නියෝග කරනු ලැබ ඇත. ඒ අනුව රට පුරා පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ඔසුසල් 32 කින් සහ නියෝජිත ඔසුසල් 130 කින් අඩු කළ මිලට ඖෂධ ලබාගැනීමේ අවස්ථාව ජනතාවට ලැබේ.
මෙම ඖෂධ වර්ග 48 ට තොග වශයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රැස්කර තබා ඇති බවත් එම ඖෂධ ඉහළ ගුණාත්මකභාවයකින් යුක්ත බවත් එහි කළමණාකාර අධ්‍යක්ෂවරයා පවසා සිටියි.
මේ අතර ඖෂධ මාපියාව විසින් රට තුළ ඖෂධ හිඟයක් ඇති කළහොත් ඊට මුහුණ පෑම සඳහා අවශ්‍ය ඖෂධ තොග වශයෙන් ආනයනය කොට රැස් කර තබා ගන්නා ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට සහ වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත.
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ ඖෂධ මිල ගණන් අඩු කිරීම තව දුරටත් සිදු කිරීමට නියමිතව ඇති අතර මෙහි දෙවන අදියරේදී අධික මිල ගණන් යටතේ අලෙවි කරන ඖෂධ වර්ගවල මිල අඩු කිරීමට නියමිතව ඇත.

Share this Post