1993 දෙසැම්බර් 27 වෙනි දින ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් අත්සන් කරන ලදුව 1994 ජනවාරි 01 වන දින සිට බලාත්මක කෙරුණු උතුරු ඇමරිකාවේ නිදහස් වෙළඳ ගිවිසුම North American Free Trade Agreement (NAFTA) එතැන් පටන් විවිධ කේවල් කිරීම්, වෙනස් කිරීම් මධ්‍යයේ ක‍්‍රියාත්මක වුණි. මෙම ගිවිසුමෙහි පාර්ශ්වකරුවන් වන ඇමරිකාව, කැනඩාව හා මැක්සිකෝවෙහි පාලක රජයයන් මෙම කාලය තුළ වෙනස් වූවත් ගිවිසුමෙහි ප‍්‍රධාන අන්තර්ගතයයන්ට එයින් එතරම් බලපෑමක් එල්ල නොවුණි.
එහෙත් 2017 ජනවාරි 20 වන දින ඇමරිකාවේ ජනාධිපති ලෙස දිවුරුම් දුන් ඩොනල්ඞ් ට‍්‍රම්ප් මුල සිටම මෙම NAFTA ගිවිසුම පිළිබඳව අප‍්‍රසාදයෙන් කතා කරන්නට වූවෙකි. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේදීත් ඔහු විසින් පුන පුනා පවසා සිටියේ NAFTA ගිවිසුම ‘ලෝක ඉතිහාසයේ නරකම වෙළඳ ගිවිසුම’  (worst trade deal in the history of the world) බවත් ‘ලෝක ඉතිහාසයේ බලවත්ම විපත්තිකර වෙළඳ ගිවිසුම’ (The greatest disaster trade deal in the history of the world) බවත්ය. එවැනි භයානක ගිවිසුමක් අහෝසි කළ යුතු බවත් රටවල් තුන එක්ව අලුත් වගන්ති සහිත නව ගිවිසුමකට යෑමේ අවශ්‍යතාව පවතින බවත් එ් සෑම විටකම ට‍්‍රම්ප් අවධාරණය කොට තිබුණි.
ට‍්‍රම්ප් ජනාධිපති ලෙස පත්වීමත් සමග ඇමරිකාව-කැනඩාව-මැක්සිකෝව මේ පිළිබඳව සාකච්ඡා වට රැසක් පවත්වනු ලැබූ අතර එහි ප‍්‍රතිඵල ලෙස 2018 අගෝස්තු 27 වෙනි දින ඇමරිකාව හා මැක්සිකෝව අතර ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් අත්සන් කරනු ලැබුණි. එහෙත් මෙම ගිවිසුමෙහි තිබූ ඇතැම් වගන්ති හා එකඟ වීමට නොහැකි බව පැවසූ කැනඩාව එවර එම ගිවිසුම අත්සන් කිරීමෙන් වැළකී සිටියහ. එතැන් සිට නැවතත් ඇමරිකාව හා කැනඩාව අතර මෙම ගිවිසුමෙහි කරුණු පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා කෙරුණි. එකඟතාවක් නොමැතිව සිදුකෙරෙන මෙම සාකච්ඡාවන් අතරතුරදී ඉහත ගිවිසුමට කැනඩාව එක්වන්නේද නැද්ද යන්න දැනුම් දීම සඳහා අවසන් දිනයක් ලබාදීමට ඇමරිකාව පියවර ගෙන තිබුණි. එසේ ලබා දී තිබූ දිනය ඔක්තෝබර් 01 දා වූ අතර එම දිනයට පෙර ගිවිසුමට එකඟ නොවුවහොත් ඇමරිකාව සහ මැක්සිකෝව අතර අත්සන් කළ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ට‍්‍රම්ප් රජය කැනේඩියානු රජයට දන්වා තිබුණි.
මේ පිළිබඳව සැලකිලිමත් වූ කැනඩා රජය, කැනේඩියානු විදේශ ඇමතිනියගේ මැදිහත් වීමෙන් සති කීපයක් පුරා ඇමරිකාව සමග සාකච්ඡා වට කීපයක් පැවැත්වූ අතර එහිදී දෙපාර්ශ්වයම මගින් දැවැන්ත කේවල් කිරීම් සිදුකරනු ලැබුණි. එම සාකච්ඡාවන්ගෙන් අනතුරුව සැප්තැම්බර් 30 වන දින කැනඩාව, එක්සත් ජනපදය හා මැක්සිකෝව සමග තාවකාලිකව මෙම වෙළඳ ගිවිසුමට එක්වන බව නිවේදනය කර තිබුණි.
එම ගිවිසුමේදී ප‍්‍රධාන වශයෙන් කැනඩාව සහ ඇමරිකාව අතර සිදුවන ආනයනයන් සම්බන්ධයෙන් සහන රැසක් ලැබී ඇති බවක් පැවසෙතත් අලුතෙන් සාකච්ඡා කොට කැනඩාවේ අත්සනින් සහතික වන කොන්දේසි සහ ලබාදෙන සහන පිළිබඳ තවමත් පවතින්නේ දැඩි දෙගිඩියාවකි. මෙතෙක් උතුරු ඇමරිකාවේ නිදහස් වෙළඳ ගිවිසුම – North American Free Trade Agreement (NAFTA) ලෙස ඉහත රටවල් තුන අතර පැවති ගිවිසුමට එ් සමගම අලූත් නමක්ද ලැබුණු අතර එය මෙතැන් පටන් එක්සත් ජනපද-මැක්සිකෝ-කැනඩා වෙළඳ ගිවිසුම – United States-Mexico-Canada Agreement – USMCA ලෙස හැඳින්වෙනු ඇත.

Share this Post