ඉන්ස්ෆිල් ඔන්ටේරියෝ – වාහන නැවතුම් අංගනයක සිට Pokémon Go ස්මාර්ට් ෆෝන් ක්‍රීඩාවේ නියැළුණු කාන්තාවක් පසුගියදා රථයක ගැටී ඇත. පසුව සොයා බැලීමේදී හෙළිදරව් වූයේ මේ රිය පදවාගෙන ආ රියදුරාද රිය පදවන අතර සිය ස්මාර්ට් ෆෝනයෙන්  Pokémon Go ක්‍රීඩාවේ නිරතව පැමිණ ඇති බවය.

තමා රියක ගැටුණු බවට මේ කාන්තාව පොලිසියට දැනුම් දී ඇත්තේ අළුයම 2 කට පමණ බව ඉන්ස්ෆිල් පොලිසිය පවසයි. පොලිස් නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ රියදුරා එම අවස්ථාවේදී ජංගම දුරකථනයෙන් ක්‍රීඩාවක නිරත වී සිටි බවයි. ‍

මෙම අනතුරින් කාන්තාවට කිසිදු තුවාලයක් සිදුවී නැති නිසා රියදුරුට චෝදනා එල්ල කළ නොහැකි බව පැවසූ පොලිසිය වීඩියෝ ක්‍රීඩාවල නිරත වන්නේ නම් අවට පිළිබඳව දැඩි සැලකිල්ල යොමු කරන ලෙස එම දෙපාර්ශ්වයටම අවවාද කර ඇත.

පොකෙමොන් ගෝ මේ වන විට කැනේඩියානු හමුදාවද ආක්‍රමණය කර ඇති අතර ක්‍රීඩාවේ යෙදෙන හමුදාවල සියලුම නිලයන්හි සාමාජිකයන් වෙත ඒ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇත.  හමුදාවට අයත් කිසිදු දේපළක් තුළ සිට පොකෙමොන් ගෝ ක්‍රීඩා කිරීමත් හමුදා නිල ඇඳුම සහිතව හමුදා දේපළ තුළ සිට හෝ පිටතකදී පොකෙමොන් ගෝ ක්‍රීඩාවේ යෙදීමත් පිළිබඳව මෙහිදී අනතුරු අඟවා ඇත.

පොකෙමොන් ගෝ නිකුත් වූ පළමු සතිය තුළම කැනඩාවේ හමුදා කඳවුරු තුනකින් සිදුවීම් වාර්තා වී තිබීම නිසා මෙවැනි අනතුරු ඇඟවීමක් කිරීමට සිදුවූ බව ඒ පිළිබඳව අදහස් දැක්වූ හමුදා ප්‍රකාශකයකු පවසා ඇත.

පොකෙමොන් ගෝ මේ වන විට ලෝකය පුරා උමතුවක් මෙන් පැතිර යමින් පවතින අතර ඉවක් බවක් තැනක් නොතැනක් නොමැතිව එහි නියැළීම නිසා මරු වැළඳගත් අයද අනතුරු සිදුකරගත් අයද පිළිබඳව දිනෙන් දින අසන්නට ලැබේ.

Share this Post