ගිම්හාන නිවාඩුවත් සමග ටොරොන්ටෝ පියර්සන් ගුවන් තොටුපොළට අතිශයින්ම කාර්යබහුලම වී ඇති නිසා මෙම ගුවන් තොටුපොළින් ගුවන් ගමන් යෑමට බලාපොරොත්තු වන්නන් ඒ පිළිබඳව දැඩිව අවධානය යොමුකළ යුතු බවත් ගුවන් තොටුපොළ ප්‍රකාශකයකු පවසා සිටී.

ගුවන් තොටුපොළ වාර්තාවලට අනුව කාර්යබහුලතම ගිම්හානය වන මේ කාලයේදී ගුවන් මගීන් මිලියන 9.6 ක් පියසන් හරහා ගමන් කරනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇත.

‍මේ වන විට වාර්තාගත වී ඇති අන්දමට 2015 වසරට වඩා දිනකට මගීන් 10,000ක් වැඩි වී ඇති බව පැවසේ.

“මෙවැනි වැඩිවීමකට ඔරොත්තු දී කටයුතු කරන ආකාරය ගැන අපට අත්දැකීම් තියෙනවා. ඇත්තටම මෙය නගරයේ ආර්ථිකය පිළිබඳ සුබ නිමිත්තක්” මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රකාශිකාව සබීනා හනිෆා පැවසීය.

සිය ගුවන් ගමන් පිළිබඳව පූර්ව පරීක්ෂාවක් නිවසේ සිටම කර ගුවන් ගමන්වල වෙනස්කම් සිදුවී තිබේදැයි දැනගෙනම ගුවන් තොටුපොළට ඒම මෙවැනි කාර්යබහුල වේලාවකදී මගීන්ට පහසුවක් විය හැකි බවද හනීෆා පැවසීය. එසේම චෙකින් විය හැකි ගුවන් මාර්ගයක ගමන් ගන්නේ නම් ඒ සඳහාද අන්තර්ජාල පහසුකම් නිවසේ සිටම උපයෝගි කරගැනීම තදබද අඩුකර ගැනීමේ ප්‍රායෝගික ක්‍රමයක් බවද ඇය පවසයි.

සාමාන්‍ය දින හා සසඳා බැලීමේදී මේ දිනවල අභ්‍යන්තර ගුවන් මගීන්ට පැය 2 ක පමණ පමාවකටත් අන්තර්ජාතික ගුවන් මගීන්ට පැය 3 ක පමණ පමාවකටත් මුහුණ පෑමට සිදුවිය හැකි බැවින් කුඩා දරුවන් හා මහලු, රෝගී තැනැත්තන් ගුවන් තොටුපොළට රැගෙන යාමේදී ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය පවසා සිටී.

Share this Post