ජෙනරල් මෝටර්ස් සමාගමට අයත් ලන්ඩන් ඔන්ටේරියෝහි පිහිටි එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ සේවකයන් 625 කගේ රැකියා අහිමි වීමේ අවදානමක් මතුව තිබේ. එම කර්මාන්ත ශාලාව තුළදී සිදුකරන එකලස් කිරීමේ කාර්යයන් මැක්සිකෝහි පිහිටි ජෙනරල් මෝටර්ස් සමාගමේ කර්මාන්ත ශාලාවක් වෙත රැගෙන යාමට කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය මතුව ඇතැයි පැවසේ. ජෙනරල් මෝටර්ස්හි කම්කරු සංගමයේ ප්‍රකාශකයකු මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, මැක්සිකෝවේ ශ්‍රමිකයන්ගේ සේවාව අඩු වැටුපකට ලබාගැනීමට හැකි වීම නිසා ආයතනය විසින් මෙබඳු පියවරක් ගෙන ඇති බවයි.
මෙවැනි වැඩ පිළිවෙළවල් නිසා කැනේඩියානුවන් සිය ගණනකට රැකියා අහිමි වන බවත් උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම (NAFTA) පිළිබඳව යළි සලකා බැලිය යුතු බවට මෙය හොඳ උදාහරණයක් බවත් මේ පිළිබඳව අදහස් දැක්වූ කම්කරු සංගම් නායකයින් පවසා තිබුණි. සෑම තැනකම සිදුවන මෙවැනි සිද්ධීන් නිසා කැනඩාව තුළ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කිරීමට අවශ්‍ය වෘත්තීය නීති ගෙන එ්ම අනිවාර්ය කාරණයක් වී ඇති බව එම සංගම් පෙන්වා දේ.
ඔන්ටේරියෝ ලන්ඩන්හි පිහිටි මෙම කර්මාන්ත ශාලාව තුළ Chevrolet Equinox සහ the GMC Terrain යන මෝටර් රථ එකලස් කිරීම සිදුකෙරුණි. මේ වන විටත් GMC Terrain රථය එකලස් කිරීමේ කටයුතු මැක්සිකෝවේ සිදුකිරීමට සියල්ල සූදානම් කර ඇති බව ජී.එම්. ආයතනය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
කැනේඩියානුවන් 141,000 කට අධික සංඛ්‍යාවක් වර්තමානයේදී මෝටර් රථ කර්මාන්තය කේන්ද්‍ර කර ගත් රැකියාවල නිරතව සිටින බව සඳහන් වේ.

Share this Post