යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා එක්සත් රාජධානිය විසින් ගනු ලැබූ තීරණය මේ දිනවල ලෝක දේශපාලනය මෙන්ම ලෝක ආර්ථීකයද උණුසුම් කිරීමට සමත් වී ඇත.

ඔටාවා පාර්ලිමේන්තු සංකීර්ණ ගොඩනැගිල්ල ආසන්නයේම පිහිටුවා ඇති විනිමය හුවමාරු මධ්‍යස්ථානය තුළ පසුගිය දිනවල දක්නට ලැබුණු උස් පහත් වීම් තුළින් එම උණුසුම කැනඩාවටද යම් තරමකින් හෝ දැනී ඇති බව පෙනී ගිය යයි.

බි්‍රතාන්‍යයේ යටත් විජිතයක් නොවූවද කැනඩාව තවමත් බි්‍රතාන්‍ය රැජිනගේ පාලනයෙහි සෙවණැල්ල යට පවතින බව නොරහසකි. එනිසා උතුරු ඇමරිකාව තුළ පවතින රටක් වුවත් කැනඩාවට යුරෝපයේ බලපෑම්වලින් වෙන්ව කටයුතු කිරීම තරමක අපහසු කටයුත්තකි.

ලෝක ආර්ථීකය පිළිබඳ විශාරදයන් පවසන ආකාරයට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බි්‍රතාන්‍ය ගත් මෙම තීරණය එතරම් සුදුසු නොවන්නකි. ඔවුන්ගේ එම තීරණය හමුවේ ලෝක වෙළඳපොළ තුළ එංගලන්ත පවුමේ ගණුදෙනු කටයුතු අධික වට්ටමක් සහිතව පසුගියදා සිදුකරන ආකාරයක් දැකගන්නට ලැබුණි. මෙය සංචාරකයින්ට ලැබුණු වරප්‍රසාදයක් ලෙස දැක්විය හැකි වුවත් කැනඩාව ඇතුළු ලොව පුරා රටවල් රැසක ආර්ථීකය සහ දේශපාලනයට බලපෑම් ඇතිකරවන ප්‍රශ්න රැසක මුල පිරීමක් විය හැකි බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

යුරෝපා සංගමයේ නවතම තත්ත්වය පිළිබඳව පසුගියදා පණිවිඩ නිකුත් කළ කැනඩා අගමැති ටෘෘඩෝ මෙන්ම ඔහුගේ ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරුද කැනඩා රාජ්‍ය බැංකුවේ ගවනර්වරයාද පවසා සිටියේ, කැනේඩියානුවන්ට මේ අවස්ථාවේදී කළ හැක්කේ සන්සුව සිට තම සුපුරුදු කාර්යයන් කරගෙන යාම පමණක් බවයි.

පසුගියදා ක්‍යුඛෙක්හි පැවති උත්සව අවස්ථාවකදී අගමැතිවරයා පවසා තිබුණේ ඉදිරියේදී ඇතිවෙතැයි පැවසෙන ගෝලීය අවිනිශ්චිතභාවයට ඔරොත්තු දීමට හැකි යහපත් ස්ථානයක කැනඩාව පවතින බවයි. කැනඩාව හා යුරෝපයත් විශේෂයෙන්ම එක්සත් ජනපදයත් අතර පවතින හවුල් ඉතිහාසයත් පොදු සාරධර්මත් පිළිබඳව සැලකීමේදී මෙම නව තීරණයත් සමග වෙළඳ පාර්ශ්වකරුවන් ලෙස දෙපාර්ශ්වයම සමග එක්ව කටයුතු කිරීමට කැනඩාවට සිදුවන බව අගමැතිවරයා මෙහිදී පෙන්වා දුනි.

මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර ඇති කැනඩා මුදල් අමාත්‍ය Bill Morneau, නව තත්ත්වය යටතේ යම් වෙළඳ හා ආර්ථීක අස්ථාවරත්වයක් අපේක්ෂා කිරීමට කැනේඩියානුවන්ට සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇති නමුත් කැනඩාවේ බැංකු මූල්‍යමය අතින් ස්ථාවර ලෙස  ගෝලීය වෙළඳපොළෙහි විචල්‍යයන්ට ඔරොත්තු දෙන ලෙස ක්‍රමවත්ව පවත්වාගෙන යන නිසා කලබල වීමක් අවශ්‍ය නොවන බවත් පවසා තිබුණි.

Share this Post