August 23, 2017

මුහුණු පොතටත් අන්තිම කැමති පත්‍රයක්

අන්තර්ජාල සේවා ව්‍යාප්ත වීමෙන් පසුව බිහි වී මේ වන විට ලෝකයේ අංක එකේ පුවත් වපුරන්නා බවට පත්ව සිටින්නේ ‘ෆේස් බුක් සමාජ ජාලය’ යි. මිතුරු ඇසුර ඇති කර ගැනීමේ සිට සමාජයේ නොයෙකුත් කුදු මහත් ඇද පළුදු, හොඳ නොහොඳ සියල්ල සාකච්ඡා කෙරෙන ස්ථානයක් බවට අද මුහුණු පොත පත් වී හමාරය.

මුහුණුපොතේ වර්තමානය

2004 වසරේදී මාර්ක් සකර්බර්ග් ඇතුළු මිතුරන් තිදෙනෙකු විසින් හුදෙක් විනෝදය සඳහා තනා ගනු ලැබූ ‘මුහුණු පොත’ ලොව පුරා මෙතරම් ජනප්‍රිය වෙතැයි එදා ඔවුන් සිතන්නටවත් නැත. බිලියන 7.35 ක් පමණ වන ලෝක ජනගහනයෙන් බිලියන 1.65 ක්ම මුහුණු පොතෙහි ගිණුමකට හිමිකාරිත්වය දරණ අතර සෑම විනාඩියකදීම අලූත්ම ගිණුම් රැසක් එයට එකතු වීමද සිදුවෙමින් පවතී. මේ සාමාජිකයන් අතරින් බිලියන 1.09 ක් දිනපතාම මුහුණු පොතට ඇතුළු වෙමින් (logging) එතුළ සැරිසරමින් ක්‍රියාකාරී වීම තුළින්ම මෙය කෙතරම් සක්‍රීය මාධ්‍යයක් වී ඇත්දැයි යන්න පිළඳව අටුවාටීකා පැවසීම අවශ්‍ය නැත.

මේ වසර ආරම්භයේදී මුහුණු පොතේ ප්‍රගතිය පිළිබඳව දැක්වුණු සටහනක් පවසන්නේ මුහුණු පොතට ගොඩ වන පිරිස අතරින් බහුතරයක් ජංගම දුරකථන හරහා එයට එක් වන බවයි. ඒ අනුව මුළු සාමාජිකයන් අතරින් බිලියන 1.51 ක්ම ජංගම දුරකථන හරහා එක්වන බව ඔවුන් පවසා ඇත. මුහුණු පොතට ඇතුළු වන්නන් දිනපතාම Like සහ Share බොත්තම් භාවිත කරමින් විවිධ වෙබ් අඩවි මිලියන 100 ක පමණ තොරතුරු හුවමාරු කර ගැනීමත් ඒවාට කැමැත්ත පළකිරීමත් සිදුකරනු ලබති. එක් දිනකදී මුහුණු පොතට එකතු කරන (upload) ඡායාරූප සංඛ්‍යාව මිලියන 300 ක් පමණ වෙතැයි පැවසේ. සෑම විනාඩියක් තුළදීම අලුත් අදහස් දැක්වීම්, ප්‍රතිචාර දැක්වීම් අවම වශයෙන් (comments) 500 ක් පමණ මුහුණු පොතට එක්වන බවත් පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කිරීම්(statuses update) 293,000 ක් සිදුවන බවත් පැවසේ.

මේ වන විට මිලියන 742.5 ක් වන සමස්ත යුරෝප ජනගහනයෙන් මිලියන 307 කට වැඩි පිරිසක් මුහුණු පොතේ සාමාජිකයෝ වී සිටිති. තනි රටක් ලෙස ගත් කල මුහුණු පොතෙහි ගිණුම් වැඩිම රට ලෙස දැක්වෙන්නේ අමෙරිකාfbවයි. එහි මුහුණු පොත් ගිණුම් හිමියන් මිලියන 160 කට ආසන්න සංඛ්‍යාවක් වෙසෙති. ඉන් පසුව වැඩිම මුහුණු පොත් පරිශීලකයන් සංඛ්‍යාවක් සිටින්නේ ඉන්දියාවේය. එරටින් මුහුණු පොතට එක් වී ඇති සාමාජික සංඛ්‍යාව මිලියන 108.9 කි. ශ්‍රී ලංකාවේ ජනගහනය අතරින් මිලියන 4.5 ක් පමණ මේ වන විට අන්තර්ජාලය පරිහරණය කරන බව පැවසෙතත් නිශ්චිත මුහුණු පොත් සාමාජික සංඛ්‍යාව පිළිබඳ දත්තයන් මෙතෙක් හෙළිදරව් වී නොමැත.

දිනපතා මුහුණු පොතට පිවිසෙන්නන් පිළිබඳව කරන ලද තවත් අධ්‍යයනයක් හෙළි කර ඇත්තේ වයස අවුරුදු 18-24 ත් අතර පසුවන්නන් මෙය ඇබ්බැහියක් කරගෙන ඇති බවයි. කාන්තා පාර්ශ්වය අතර ෆේස්බුක් භාවිත කරන්නන් වැඩි බව පැවසෙන අතර එම සාමාජිකත්ව සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ගත් කල කාන්තාවන් 76% ක් හා පිරිමින් 66% ක් ලෙස දැක්වේ. මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් අය පවසන්නේ නොයෙකුත් අයථා ක්‍රියාකාරකම් සඳහා පිරිමි පාර්ශ්වයම විවිධ වූ කාන්තා නම්වලින් පෙනී සිටීමෙන් මෙලෙස කාන්තා ගිණුම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. දිනපතාම මුහුණු පොත සම්බන්ධයෙන් අසන්නට දකින්නට ලැඛෙන ඇතැම් පුවත් නිසා මෙහිද කිසියම් සත්‍යතාවක් ඇති බව සිතිය හැක. දෛනික රාජකාරියක් මෙන් මුහුණු පොතට ගොඩ වන බොහෝ දෙනෙකු කිසිදු වග විභාගයකින් තොරව ඉවක් බවක් නොමැතිව එහි හැසිරීමට ගොස් දමාගන්නා කරදර පිළිබඳව නොයෙකුත් අවස්ථාවල අපට අසන්නට ලැබේ.

මුහුණු පොත තුළ සැබෑ සාමාජිකයන් මෙන්ම ව්‍යාජ සාමාජිකයන්ද  (fake profiles) මිලියන ගණනක් සිටින බව ඔබ දැන සිටියාද? මේ වන විට හෙළිදරව් වී ඇති ආකාරයට මුහුණු පොතේ සිටින ව්‍යාජ සාමාජික සංඛ්‍යාව මිලියන 83 ඉක්මවන බව කීවත් ඇතැම් විට මේ සංඛ්‍යාව මීටත් බොහෝ වැඩි විය හැක. මුහුණු පොතට ගොඩ වන බහුතරයක් සාමාජිකයන් අවම වශයෙන් එහි විනාඩි 20 ක් හෝ ගත කරන බව ඒ පිළිබඳ දත්තයන් පෙන්වා දේ.

මේ වන විට ව්‍යාපාර ක්ෂේත්‍රය තුළද මුහුණු පොත ඉහළම ස්ථානයක් හිමිකරගෙන ඇති අතර ලෝක වෙළඳ අධිකාරිය තුළ 42% ක පමණ තොරතුරු මුහුණු පොත හරහා හුවමාරු වෙමින් පවතී. 2013 වසර වන විට මුහුණු පොත තුළ ව්‍යාපාර සඳහා විවෘත වී තිබුණු පිටු සංඛ්‍යාව මිලියන 16 ක් බව වාර්තාවල සඳහන් වී ඇත.

අනාගත ඉරණම

මුහුණු පොත පිළිබඳව මේ සියලූ කතාබහ අතර එහි අනාගත ඉරණම සහ පැවැත්ම පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකු සැක පහළ කරමින් සිටිති.

මේ වන විට බිලියන 1.6 ඉක්මවා ඇති සියලූම ෆේස්බුක් ගිණුම් සත්‍ය ඒවා ලෙස සැලකුවහොත් මෙලොව වෙසෙන සෑම 13 දෙනෙකුගෙන් එක් අයෙකු ෆේස්බුක් සාමාජිකයකු වී සිටිති. සාමාන්‍යයෙන් ෆේස්බුක් ගිණුමක් ඇරඹිය හැකි අවම වයස් මට්ටම අවුරුදු 13 ක් ලෙස දැක්වෙන අතර අද ගිණුමක් අරඹන ඒ වයසේ දරුවාගේ පටන් ඔබ මා ඇතුළු වර්තමානයේ ෆේස්බුක් භාවිත කරන සියල්ලන්ම කිසියම් දිනෙක මරු තුරුලට යෑම අරුමයක් නොවන සත්‍යයකි. මෙලෙස මෙලොවින් සමුගන්නන්ගේ මුහුණු පොත් ගිණුම් නිතැතින්ම අක්‍රිය වූවත් ඒවා මුහුණු පොතෙන් ඉබේ මැකී නොයති. එසේ වීමෙන් අනාගතයේදී ෆේස්බුක් තුළ ජීවත්ව සිටින්නන්ට වඩා මළවුන් වැඩි විය හැකි වෙතැයි යන සැකයක් දැන් දැන් එහි අයිතිකරුවන් තුළ හටගෙන තිඛෙන බව ඒ පිළිබඳව පළවන පුවත් දෙස බැලීමෙන් පෙනී යයි. මේ පිළිබඳව පැවැත්වූ සමීක්ෂණයක් පසුගියදා දක්වා තිබුණේ, 2098 වසර වන විට අක්‍රිය ගිණුම් රැසක් සහිතව ක්‍රියාත්මක වන ෆේස්බුක්, සොහොන් අඩවියක් බවට පත්වීම නොවැළැක්විය හැක්කක් වනු ඇති බවයි.

වාර්ෂිකව ෆේස්බුක් පරිහරණයට එක් වන පිරිස වැඩි වූවත් ඊට සාපේක්ෂව ෆේස්බුක් සාමාජිකයන් මරු හා යාමද වැඩි වී ඇති නිසා මේ ගැටලූව පැන නැඟී තිබේ. ජනගහන ව්‍යාප්තියත් සමග එක් දිනකදී ලොව පුරා සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දෙදහසක් පමණ වී ඇති අතර මෙසේ මිය යන්නන් අතරින් තිස් දහසකට අධික පිරිසක් මුහුණු පොතේ සාමාජිකයෝ වෙති. ඒ අනුව වාර්ෂිකව මෙලොවින් සමුගන්නා මුහුණු පොතේ සාමාජිකයින් සංඛ්‍යාව එක් කෝටි දහසය ලක්ෂ අසූ දහසකි. මුහුණු පොතේ සාමාජිකයන් දිනපතා මෙලෙස මරු සමග ගියද එතරම් කඩිනමකින් මුහුණු පොතට අලූතින් සාමාජිකයන් එක්වීම සිදු නොවන බව මෙම සමීක්ෂණ කණ්ඩායම පෙන්වා දී තිබේ. මෙය තවත් ලෙසකින් කිවහොත්, ලොව සිදුවන මරණ අනුපාතිකයට සමගාමිව ෆේස්බුක් ගිණුම් ආරම්භ වීමක් සිදු නොවේ. ඒ අනුව 2098 වසරෙහි ෆේස්බුක් සම්බන්ධව පළකොට ඇති ‘සොහොන් අඩවි’ අනාවැකිය සත්‍ය වන ලකුණු දැනටමත් පහළ වී ඇත.

මේ සඳහා කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ෆේස්බුක් වැඩකරුවන්ගේද අවධානය දැන් යොමු වී ඇති අතර තම සාමාජිකයන්ගේ ගිණුම් ආවට ගියාට වසා දැමීමටද ඔවුහු කැමැත්තක් නොදක්වති. එහෙත් අනාගතයේදී වැඩි විය හැකි අප්‍රාණික ගිණුම් සංඛ්‍යාව සීමා කිරීම සඳහා වහ වහා පියවර ගත යුතු බවද බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත. මේ සඳහා ගත හැකි මූලිකම පියවර ලෙස දිගු කලක් අක්‍රියව පවතින සියලූම ගිණුම් මකා දැමීමත් යම් අයෙකු මිය ගිය බව තහවුරු කරගත හැකි වුවහොත් එම ගිණුම් වසා දැමීමට කටයුතු කිරීමත් කළ යුතු බවට පසුගියදා යෝජනා වී තිබුණි.

එහෙත් මේ සම්බන්ධව දිගින් දිගටම සාකච්ඡා කළ ෆේස්බුක් කණ්ඩායම අවසානයේදී මීට පිළියමක් ලෙස සෑම ෆේස්බුක් සාමාජිකයකුටම භාවිත කළ හැකි අන්දමේ අපූරු ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කර තිබුණි. 2015 වසරේදී හඳුන්වා දුන් මේ ක්‍රමය Legacy Contact ලෙස හඳුන්වනු ලබයි. ‘කොතැන වුවත් නැත මරු හට බාධා’ යන සනාථන දහම පිළිගන්නා බොහෝ දෙනෙකු තමන් සතු නිශ්චල චංචල දේපළ අන්තිම කැමති පත්‍රයක් මගින් තමන්ගේ ළබැඳියන් වෙත උරුම කර දීම සිදු කෙරේ. මුහුණු පොතේ ඛැට්ජහ ක‍දබඒජඑ එසේත් නැතිනම් ‘උරුම සබඳතා’ තුළින්ද සිදුකෙරෙන්නේ එක්තරා ආකාරයක ‘අන්තිම කැමති පත්‍රයක්’ සැකසීමකි. ඕනෑම ෆේස්බුක් සාමාජිකයකුට තමන් ජීවතුන් අතර සිටියදී මේ අන්තිම කැමති පත්‍රය සකස් කොට තැබිය හැක.

තමා මියගිය පසු තමා සතු ෆේස්බුක් ගිණුමට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ජීවත්ව සිටියදීම තීරණය කිරීමේ අවස්ථාව Legacy Contact මගින් ෆේස්බුක් ගිණුම් හිමිකරුවන්ට දැන් ලැබී ඇත. ඒ සඳහා ක්‍රම දෙකක් හඳුන්වා දී ඇති අතර ඉන් පළමු ක්‍රමය ‘සමරු ගිණුම’ (Memorialized Account) හා දෙවැන්න ‘සදහටම මැකූ ගිණුම’ (Permanently Deleted Account ) වේ. fb 4

මෙම සමරු ගිණුම මගින් සිදුවන්නේ මරණයෙන් පසු තම ගිණුම වෙනත් අයෙකුට හැසිරවීමට බලය ලබාදෙන ලෙස කැමැත්ත ලබාදීමයි. එහිදී ගිණුම පැවරීමට නම් කරනු ලැබූ උරුමක්කාරයා විසින් එම ගිණුමෙහි හිමිකරු මිය ගිය බව සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීම මගින් ගිණුමේ භාරකරත්වය ලබාගත හැක. උරුමක්කාරයාට එම ගිණුම හැසිරවීමේදී යම් යම් කොන්දේසිවලට යටත් වීමට සිදුවන අතර කිසිදු ලෙසකින් මියගිය පුද්ගලයාගේ ගිණුමට ඇතුළු වීමට (log) කිසිදු ඉඩක් මේ උරුමකරුවාට වුවද නොලැබේ. මරණකරුවාගේ පෞද්ගලිකත්වය රැකෙන ආකාරයට ගෞරවනීයව ගිණුම පවත්වාගෙන යෑමේ අවස්ථාව පමණක් මෙයින් ලබා දී තිබේ. මෙහිදී මිය ගිය පුද්ගලයා සතුව තිබූ පෞද්ගලික පණිවිඩ කියවීමේ, බැලීමේ අවස්ථාව මෙන්ම මියගිය පුද්ගලයාගේ පණිවිඩ හුවමාරු ජාලය භාවිත කරමින් අලූත් පණිවිඩ යැවීමේ අවස්ථාවද අසුරා ඇති අතර අතර මිය ගිය පුද්ගලයා විසින් එම පිටුවට එකතු කර තබා ගිය කිසිදු පින්තූරයක්, අදහසක් වෙනස් කිරීමට හෝ මිතුරු එකතුවෙහි ඇති මිතුරු මිතුරියන් මකා දැමීමට හෝ බලයක් නොමැත. එහෙත් එම ගිණුමෙහි profile picture, cover photo ආදිය අලුතින් වෙනස් කිරීමේ බලය, friend requests අනුමත කිරීමේ බලය ගිණුමේ උරුමය ලබාගන්නා තැනැත්තා වෙත ලැබේ. Memorialized accounts ගිණුමකට කැමැත්ත ලබා දුන් පුද්ගලයකු මරණයට පත්වීමෙන් පසු එම ගිණුමෙහි නමට ඉහළින් අනිවාර්යෙන්ම Remembering යන්න යෙදෙනු ඇත. මිය ගිය ගිණුම් හිමිකරුවා ජීවතුන් අතර සිටියදී ඔහුගේ හෝ ඇයගේ ෆේස්බුක් වෝල් එක මත වෙනත් අයගේ පණිවිඩ ලිවිය නොහැකි ලෙස සකසා තිබුණේ නම් මරණින් පසු එයද වෙනස් වන ලෙස ඉබේම සැකසී (Unlock) ශෝකය පළ කිරීම සඳහා ෆේස්බුක් වෝලය විවෘත කෙරෙන ක්‍රමවේදයද මෙයට ඇතුළත් කොට ඇත. ෆේස්බුක් පැවරීම සඳහා උරුමක්කාරයෙකු තේරීමේදී ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම ඔබගේ මිතුරු හවුලේ සිටින්නකු විය යුතු අතර පරිභාහිර පුද්ගලයකුට එම අයිතිය පැවරිය නොහැක.

Legacy Contact මගින් අන්තිම කැමති පත්‍රය ලිවිය හැකි අනික් ආකාරය නම් මරණයෙන් පසු තම ගිණුම සදහටම අක්‍රිය කරවීමට කැමැත්ත ලබා දීමයි. එහෙත් මෙහි තරමක අපහැදිලි බවක් ඇත්තේ යම් ගිණුම් හිමිකරුවකු මියගිය බව ෆේස්බුක් ජාලය වෙත දැන්වීමෙන් පසුව මෙය කළ හැක්කක් වන හෙයිනි. එහිදී නම් කළ අයෙකු නොමැති නිසා මෙම අන්තිම කැමැත්ත ලියූ සියල්ලන්ගේම ගිණුම් ස්ථීර වශයෙන්ම සදහටම ඉවත් වේදැයි යන්න සැක සහිත වේ. යම් විදියකින් කිසියම් අයෙකු විසින් එම තැනැත්තාගේ අන්තිම කැමැත්ත දැන සිටියේ නම් එම ගිණුමෙහි අයිතිකරු මියගිය බවට තහවුරු කෙරෙන සාක්ෂි ෆේස්බුක් වෙත ඉදිරිපත් වුවහොත් ඔහුගේ හෝ ඇයගේ අන්තිම කැමැත්ත ක්‍රියාවට නැංවෙනු ඇත.

ඔබත් ෆේස්බුක් පිටුවක හිමිකරුවකු නම් එහි අන්තිම කැමැත්ත ලිවීමට කැමැත්තක් දක්වන්නේ නම් කළ යුත්තේ ඉතාමත් සුළු දෙයකි. ඔබගේ ෆේස්බුක් settings තුළට ගොස් එහි ඇති legacy contact තුළට ගොඩ වීමෙන් අන්තිම කැමති පත්‍රයක් සූදානම් කර තැබීමට ඔබටත් හැකිවෙනු ඇත.

මේ වන විට legacy contact හා දායක වීමට දහස් ගණනින් සාමාජිකයන් එකතු වන බව ෆේස්බුක් ප්‍රකාශ කර ඇතත් අනාගතයේදී ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තුළ පවතින මළවුන්ගේ ගිණුම් සංඛ්‍යාව අඩුකිරීම නම් කෙසේවත් කළ නොහැක්කක් වනු ඇත. මන්ද යත්, මිය යන තැනැත්තන් බොහොමයකට මුහුණු පොතට වඩා වටිනා දේවල් දමා යෑමට සිදුවන හෙයින් මෙය එතරම්ම අත්‍යවශ්‍ය වූවක් ලෙස නොපෙනෙන, නොහැඟෙන බැවිනි.

 

සටහන – චමරි අබේසිංහ

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*