බාල, තරුණ, මහලූ අපි කවුරුත් ජීවිතයේ එකම අවස්ථාවකදී හෝ කුමන හෝ ලෙඩකින් ව්‍යාදියකින් පීඩාවට පත්වූවෝ වෙමු. ඇතැම් ලෙඩ රෝග තදබල ඒවා නොවිය හැකි වුවත් අසනීප ගතියක් දැනුණු විට වෛද්‍යවරයෙකු වෙත යෑම අප කවුරුත් සිදුකරන සාමාන්‍ය කටයුත්තකි.

කැනඩාවේදී නම් රෝගී බවක් දැනුණු විට පවුලේ වෛද්‍යවරයා වෙත හෝ තාවකාලික වෛද්‍ය මධ්‍යස්ථානයක් (Walk-in Medical Clinics) වෙත හෝ යෑම සිදුකරන අතර අප පෙළෙන රෝගාබාධය අනුව මූලික ප්‍රතිකාර ලබා දීම එම ස්ථානවලින් සිදුකෙරේ. එහෙත් අපගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාදීම එම වෛද්‍ය මධ්‍යස්ථානයට සිදුකළ නොහැක්කක් නම් එතැනින් අපව විශේෂඥ වෛද්‍ය සේවාවන් සඳහා යොමු කරනු ලබයි.

මෙහිදී අපගේ රෝගාබාධයට අදාළ වූ විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍ය භාවිතය තුළදී විවිධ නම් රැසකින් හඳුන්වනු ලැබේ. මේ ඇතැම් නාමයන් නිතර ඇසීම නිසා අපගේ කටට, දිවට, කනට හුරුපුරුදු මුත් ඇතැම් වෛද්‍ය විශේෂඥ නාමයන් නම් කුමන රෝගයක් සඳහා නියම කළේද යන්නවත් සොයාගත නොහැකි තරමට ඇතැම් විට අපි විපිළිසර වෙමු. එම නිසාම එවැනි වෛද්‍ය විශේෂඥ නාමයන් පිළිබඳව සොයා බැලීමට මෙවර අපි අදහස් කළෙමු.

වෛද්‍ය විශේෂඥ නාමලේඛනය සහ ඔවුන් සිදුකරන කාර්යයන්

A List of Medical Specialists and What They Do

ghhyhy

Cardiologist – treats heart disease

හෘද ආශ්‍රිත රෝග සඳහා විශේෂඥවරු වෙති. පපුවේ කැක්කුම, රුධිර වාහිනී රෝග, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය ආදි තත්ත්වයන්, හද ගැස්මේ විවිධ ආබාධ, හෘදයාබාධ ආදියට ප්‍රතිකාර කිරීමට නිපුණත්වයක් ලත් විශේෂඥ වෛද්‍යරු වෙති.

Dermatologist – treats skin diseases, including some skin cancers

සමේ රෝග සඳහා ප්‍රතිකාර කරනු ලබයි. සමේ ඇති වන දද, කුෂ්ඨ, වණ, හොරි, අළුහම් ආදියට ප්‍රතිකාර සිදුකෙරෙන අතර සම මත ඇතිවන පිළිකා රෝගී තත්ත්වයන් සඳහාද මොවුහු විශේෂඥ උපදෙස් ලබාදෙති.

Gastroenterologist – treats stomach disorders

ආමාශ හා අන්ත්‍ර රෝගාබාධ සඳහා විශේෂඥයෝ වෙති. ආමාශ හා අන්ත්‍රවල හට ගන්නා වණ, බඩ පිපුම, බඩ පපුව දැවිල්ල මෙන්ම ආහාර ජීර්ණයේදී ඇතිවන විවිධ ගැටලූ සඳහා මෙවැනි වෛද්‍ය විශේෂඥවරුන් වෙත යාම සුදුසු වේ.

Hematologist/Oncologist – treats diseases of the blood and blood-forming tissues (oncology including cancer and other tumors)

රුධිරය ආශ්‍රිත රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥවරුන් ‘හෙමටෝලොජිස්ට්’ ලෙසින් හැඳින්වෙන අතර නීරක්තය වැනි රෝගාබාධයන්හිදී මොවුන් වෙත යොමු කරනු ලැබේ. ‘ඔන්කොලොජිස්ට්’ වෛද්‍ය විශේෂඥවරුන් වෙත විශේෂයෙන්ම පිළිකා රෝගී තත්ත්වයන්හිදී උපදෙස් ලබාගැනීමට යොමු කරනු ලබයි. පිළිකා රෝගී ලක්ෂණ ලෙස සැලකෙන සුව නොවන තුවාලයක්, දීර්ඝ කාලීන කැස්සක්, කටහඬ වෙනස් වීමක්, අසාමාන්‍ය ලේ වහනයක්, අජීර්ණ තත්ත්වයක්, පියයුරු හෝ වෙනත් ස්ථානයක මතුවන ගැටිත්තක්, අසාමාන්‍ය ලපයක් වැනි අවස්ථාවලදී ඔන්කොලොජිස්ට් වෛද්‍ය විශේෂඥයකු වෙත යොමු කෙරේ.

Internal Medicine Physician – treats diseases and disorders of internal structures of the body

ශරීර අභ්‍යන්තරයේ ඇතිවන රෝගාබාධ සඳහා යොමුකෙරෙන වෛද්‍ය විශේෂඥවරයෙකි. විශාල පරාසයක් ආවරණය වන පරිදි විහිදී පවතින මෙම විශේෂඥ සේවාව තුළින් සිරුර අභ්‍යන්තරයේ ඇතිවන රෝගාබාධ ගණනාවක් පිළිබඳව සොයා බලනු ලැබේ. එහිදී අසාත්මිකතාවල සිට හෘද රෝග, හෝමෝන ආශ්‍රිත රෝග, රුධිර සම්බන්ධිත රෝග, ආසාදන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ සොයා බැලේ.

Nephrologist – treats kidney diseases

වකුගඩු ආශ්‍රිත රෝග සඳහා වන වෛද්‍ය විශේෂඥවරුන් මෙලෙස හැඳින්වේ. වකුගඩු ආබාධ පිළිබඳ පරීක්ෂා කිරීම, වකුගඩු අකරණය, වකුගඩු ප්‍රදාහය ඇතුළු සියලූම වකුගඩු රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා දීමට සුදුසුකම් ලැබූවෙකි.

Neurologist – treats diseases and disorders of the nervous system

ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යරුන් මෙලෙස හැඳින්වේ. මොළය, සුසුම්නාව ඇතුළුව මධ්‍ය ස්නායු පද්ධතිය සම්බන්ධ රෝග තත්ත්වයන්හිදී මෙම විශේෂඥවරුන් වෙත යොමු කෙරේ.

Neuro surgeon – conducts surgery of the nervous system

අංශභාගය, මොළයේ ඇතිවන ස්නායුමය ආබාධ, ස්නායු පද්ධතියේ වෙනත් උපද්‍රව ආදි තත්ත්වයන්හිදී ශල්‍යකර්ම සඳහා යොමු කරනු ලබන ශල්‍ය වෛද්‍ය විශේෂඥයින් මෙනමින් හැඳින්වේ.

Oncological Surgeon – It focuses on the surgical management of tumors, especially canceroustumors.

පිළිකාමය ශල්‍යකර්ම සඳහා විශේෂිත ශල්‍ය වෛද්‍යවරු මෙසේ හැඳින්වෙති. මොළයේ පිළිකාමය තත්ත්වයකදී සිදුකරන ශල්‍යකර්මයකදී නම් Neurosurgeon විශේෂඥවරයකුද Oncological ශල්‍ය විශේෂඥවරයා සමග කටයුතු කිරීම බොහෝ විට සිදුවේ.

Obstetrician and Gynecologist  – treats women during pregnancy, childbirth and diseases of the female reproductive system and genital tract

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරුන් මේ ආකාරයෙන් හඳුන්වනු ලැබේ. Obstetrician විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රසව කාර්යයන් සඳහා විශේෂිත වන අතර Gynecologist වෛද්‍ය විශේෂඥවරුන් විසින් ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ, ගර්භාෂගත රෝගාබාධ ආදියට ප්‍රතිකාර කරනු ලබයි.

Ophthalmologist – treats eye defects, injuries, and diseases

විවිධ අක්ෂි ආබාධ සඳහා විශේෂඥවරුන් මෙසේ හැඳින්වේ. ඇසට සිදුවන තුවාල සහ රෝගාබාධ ආදි ඕනෑම ආකාරයක අක්ෂි රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාදේ.

Oral and Maxillofacial Surgeon – surgically treats diseases, injuries, and defects of the hard and soft tissues of the face, mouth, and jaws

දන්ත හා මුඛ හනුක රෝගාබාධ පිළිබඳ විශේෂඥතාවක් ලද ශල්‍ය වෛද්‍යවරු වෙති. ඉදිරියට නෙරා ආ දත් යළි සකස් කිරීම ඇතුළුව හනු හා මුඛය තුළ ඇති වන සංකීර්ණ ගැටලූ යථා තත්ත්වයට පත් කිරීමට නිපුණතාවක් දක්වන්නෝ වෙති. දන්ත ස්නායු පිරවීම, බිඳුණු දත් යළි සවි කිරීම, විදුරුමස් රෝග සුව කිරීම ඇතුළු මුඛ සෞඛ්‍ය ගැටලු රාශියක් මොවුන් වෙත යෑමෙන් විසඳා ගත හැක.

Orthopaedic Surgeon – preserves and restores the function of the musculoskeletal system

විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥවරු මෙසේ හැඳින්වෙති. කටට හුරු විදියට කිවහොත් මොහු ‘කැඩුම් බිඳුම් වෛද්‍යවරයා’ ලෙසින්ද හැඳින්විය හැකියි. අතක්, පයක්, කොන්දක් කැඩුණු විට හදිසි අනතුරකදී ඇටකටු ආශ්‍රිතව කැඩුමක් බිඳුමක් වූ විට, කොඳුඇට පෙළ ආශ්‍රිත ආබාධයක් මතුවූ විට, ස්නායු පද්ධතියේ යම් රෝගාබාධයන් මතු වූ විට, සන්ධි, අස්ථී ආදියට හානි හෝ රෝග ඇති වූ විට හමුවිය යුතුම විශේෂඥ වෛද්‍යවරයෙකි.

Otolaryngologist (Head and Neck Surgeon) – treats diseases of the ear, nose, and throat,and some diseases of the head and neck, including facial plastic surgery

සාමාන්‍ය ව්‍යවහාරයේදී E.N.T වෛද්‍යවරුන් ලෙස හැඳින්වෙන්නේද මෙම ශල්‍ය විශේෂඥවරු වෙති. කන, නාසය හා උගුර ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ සඳහා මොවුන් වෙත යොමුකිරීම සිදු කෙරේ.

Pathologist – diagnoses and treats the study of the changes in body tissues and organs which cause or are caused by disease

ව්‍යාධිවේද විශේෂඥවරුන් ලෙස හැඳින්වෙන මෙම විශේෂඥ සේවාව තුළින් සිරුරෙහි පටක සහ ෙසෙල ආශ්‍රිතව සිදුවන ව්‍යාධීන් හඳුනාගැනීම සිදු කෙරේ. පැතලොජි විශේෂඥයින් විසින් පර්යේෂණාගාර තුළ සිදුකෙරෙන සියුම් පරීක්ෂණ මගින් මෙම සේවාව ඔබ වෙත ලබාදෙනු ලැබේ. පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් පුරා පැතිර ඇති පැතලොජිස්ට්, සායනික ව්‍යාධිවේදය හා විච්ඡේදක ව්‍යාධිවේදය ලෙස ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. සායනික ව්‍යාධිවේදයේදී රසායන විද්‍යාත්මකව පර්යේෂණ මගින් රෝගාබාධ හඳුනාගැනීමට සහාය දේ. විච්ඡේදක ව්‍යාධිවේදය තුළින් මිනිස් සිරුරේ ඉන්ද්‍රියයන් හා පටක, සිරුරු කොටස් (මරණ පරීක්ෂණ වැනි අවස්ථාවලදී) පරීක්ෂා කොට රෝගය හෝ එම සිදුවීමට හේතු වූ සාධකය සොයා ගැනේ.

Pediatrician – treats infants, toddlers, children and teenagers

ළමුන් සඳහාම වූ රෝගාබාධ සඳහා පුහුණුව ලත් විශේඥ වෛද්‍යවරු මෙසේ හැඳින්වේ. ළමයින් සඳහා වූ සර්වාංග වෛද්‍යවරයෙකු ලෙස මෙම වෛද්‍යවරයා නිපුණත්වය ලබා ඇති අතර ළදරුවන් සඳහාද ප්‍රතිකාර සිදුකිරීමට සුදුසුකම් ලබා ඇත. දරුවන් තුළ ඇතිවන විවිධ සංකුලතා සහ හදිසි අනතුරු ආදිය සඳහා ශල්‍යකර්ම සිදුකරන ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් Pediatric Surgeons ලෙස හැඳින්වේ.

Plastic Surgeon – restores, reconstructs, corrects or improves in the shape and appearance of damaged body structures, especially the face

ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥවරුන් විසින් සිරුරේ බාහිරව පවතින විවිධ විකෘතිතා සඳහා පිළියම් යෙදීම සිදුකරනු ලබයි. ලප, කැලැල් ඉවත් කිරීම, විවිධ රූපලාවණ්‍ය ශල්‍යකර්ම, පිළිස්සීම් හා වෙනත් හදිසි අනතුරු නිසා සිදුවන විකෘතිතා ප්‍රකෘතිමත් කිරීම ආදිය සිදුකර ගැනීමට මෙවැනි ශල්‍ය වෛද්‍යවරුන් වෙත යාමෙන් හැකියාව ලැබේ.

Podiatrist – provides medical and surgical treatment of the foot

පාදවල ඇතිවන රෝගාබාධයන් සඳහා ප්‍රතිකාර කරනු ලබන විශේෂඥවරයා මෙලෙස හැඳින්වේ. විශේෂයෙන්ම දියවැඩියාව ආශ්‍රිත රෝග පවතින විට මෙවැනි විශේෂඥවරයකු වෙත යොමු කිරීම සිදු කෙරේ. පාද නිරෝගීව තබා ගැනීම පිළිබඳව උපදෙස් ලබාදීමත් ඒ වෙනුවෙන් විවිධ ප්‍රතිකාර හා පරීක්ෂණ සිදුකිරීමත් මොවුන් විසින් සිදුකරනු ලබයි.

Psychiatrist – treats patients with mental and emotional disorders

මානසික රෝග සඳහා වන මනෝ චිකිත්සක විශේෂඥ වෛද්‍යවරු මෙසේ හැඳින්වෙති. මනසේ ඇතිවන විවිධ විපර්යාසයන් නිසා සිදුවන ආබාධ සඳහා ප්‍රතිකාර ලබාදීම, මෙන්ම ඖෂධ ලබාදීමේ හැකියාව මනෝ චිකිත්සකයන් වෙත පවතී. මනෝ වෛද්‍ය සේවාවටම අයත් මනෝ විද්‍යාඥ (Psychologist) හා මනෝ උපදේශක (Psychological Counselor) යන සේවාවන්ද මෙහිදී සඳහන් කළ යුතු අතර මෙම සේවාවන්හි නිරත වන විශේෂඥයින් හට ඖෂධ නියම කිරීමට බලයක් නොමැති බවද කිව යුතුය. එහිදී මනෝ උපදේශක සේවාව තුළින් මානසික සහනය වැඩිදියුණු කිරීම සඳහා උපදෙස් ලබා දීමත් මනෝවිද්‍යාඥ සේවාව තුළින් ඖෂධ ලබා දීම හැරුණු කොට මනෝ චිකිත්සක සේවාවෙන් සිදුකෙරෙන බොහෝ කාර්යයන් සිදුකිරීමත් දක්නට ලැබේ.

Pulmonary Medicine Physician – diagnoses and treats lung disorders

පෙනහළු ආශ්‍රිත රෝගාබාධ සඳහා ප්‍රතිකාර සිදුකරන විශේෂඥ වෛද්‍යවරු මෙනමින් හැඳින්වෙති. ඇදුම, පෙනහළු පිළිකා, ක්ෂය රෝගය ඇතුළු පෙනහළු ආශ්‍රිත රෝගාබාධ රැසක් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමේ නිපුණතාව මෙම විශේෂඥයින් සතු වේ.

Rheumatologist – treats rheumatic diseases, or conditions characterized by inflammation, soreness and stiffness of muscles, and pain in joints and associated structures

රක්තවාතවේදය සම්බන්ධ වෛද්‍ය විශේෂඥයින් වන මොවුන් විසින් ආතරයිටීස්, රූමැටිසියාව මෙන්ම සන්ධි, පේෂි ඇතුළු රෝග සඳහා ප්‍රතිකාර කරනු ලැබේ. අතපයෙහි ඇතිවන වේදනා, ඉදිමුම් ආදි අවස්ථාවලදී මෙන්ම හදිසි අනතුරකින් පසු රෝගියකු පුනරුත්ථාපනය කිරීමේදීද රක්තවාතවේද විශේෂඥවරුන්ගේ උපදෙස් ලබාගනු ලැබේ. මෙහිදී මෙම වෛද්‍යවරු භෞත චිකිත්සක වරුන්ගේද (Physiotherapist) ආධාර ඇතිව භෞත චිකිත්සක ප්‍රතිකාර සහ ඖෂධ ප්‍රතිකාර ලබාදීම සිදුකරනු ලබති.

Urologist – diagnoses and treats the male and female urinary tract and the male reproductive system

වකුගඩු, මුත්‍රා මාර්ගය, මුත්‍රා වාහිනිය, මුත්‍රාශය ඇතුළු මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අප යා යුතු වෛද්‍ය විශේෂඥවරයා යුරොලොජිස්ට් ලෙස හැඳින්වේ. මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත ශල්‍ය කර්ම සඳහා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා Genito – urinary Surgeon ලෙස හැඳින්වේ.

Occupational Medicine Physician – diagnoses and treats work-related disease or injury

වෘත්තීය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු මෙනමින් හැඳින්වෙති. රැකියාවේ නිරත වීමේදී ඇතිවන රෝග තත්ත්වයන්හිදී (ඉඳගෙන සිටින පුටුව, භාවිත කරන මේසය, ආශ්වාස කරන වාතය, වටපිටාවේ ශබ්ද වැනි හේතු නිසා) ඇතිවන රෝගාබාධයන් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ඔබ යොමුවිය යුත්තේ මොවුන් වෙතයි.

Anesthesiologist – treats chronic pain syndromes; administers anesthesia and monitors the patient during surgery

නිර්වින්දක වෛද්‍ය විශේෂඥයෝ මෙනමින් හැඳින්වෙති. ශල්‍යකර්මයක් සිදුකිරීමේදී රෝගියා සිහිමුර්ජා කිරීමේදී හෝ තාවකාලික හිරිවැටීමකට ලක් කිරීමේදී අනිවාර්යයෙන්ම නිර්වින්දක වෛද්‍යවරයකුගේ සේවය ලබා ගැනේ. මෙම වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්මයට පෙර රෝගියා පිළිබඳ තක්සේරු කිරීමක් සිදුකරන අතර එහිදී රෝගියාගේ රුධිර පීඩනය, රෝගියා පෙළෙන විවිධ රෝගාබාධ (උදා. ඇදුම, දියවැඩියා, වකුගඩු ආබාධ ආදිය) පිළිබඳ අවධානය යොමු කෙරේ.

සටහන – චමරි අබේසිංහ

 

Share this Post