December 12, 2017

ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමග පිළිසඳරක්

අද අප මේ ඉටුකරන්නේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ‘දසත’ කලාපයෙන් පාඨකයන් වෙත ලබාදුන් පොරොන්දුවකි. එම කලාපයේ අප මෙසේ සඳහන් කරනු ලැබුණි.

‘ජාත්‍යන්තර සිනමා උළෙලකදී ‘හොඳම නළුවා’ වශයෙන් මනෝරත්නයන් ලබාගත් මෙම සම්මානය පිළිබඳව ශ්‍රී ලංකාව තුළදී කතාබහ කිරීම මෙතරම් පමා වීම පිළිබඳව (සිනමා උළෙල පවත්වා ඇත්තේ 2014 දෙසැම්බර් 12 වන දිනයි) ඇතැම් සිනමා විචාරකයින් විවිධ අදහස් පළකර තිබූ අතර ඒ පිළිබඳව නිවැරදි තොරතුරු ඉදිරියේදී කැනඩාවට පැමිණීමට නියමිත ජයලත් මනෝරත්නයන්ගෙන්ම අසා දැනගැනීමට ‘දසත’ අදහස් කරමු.’

ඔව්… ඒ කියූ දින වකවානුවලම නොවූවත් පසුගිය දිනෙක ජයලත් මනෝරත්න නම් වූ ඒ ශ්‍රේෂ්ඨ නිහතමානි කලාකරුවා කැනඩාවට පැමිණුනි. එහිදී ඔහු හමුවීමේ අවස්ථාව අප වෙත ලැබුණු අතර මේ ඒ රසවත් පිළිසඳරෙන් බිඳකි.

මනෝ අයියේ ඔබව මේ ආකාරයෙන් නැවත නැවතත් කැනඩාවේදී හමුවීමට ලැබීම ගැන ඇත්තටම අප ඉතාමත් සතුටට පත් වෙනවා.

පසුගිය දිනවල ඔබ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලකදී ඇගයුමකට ලක්වෙමින් හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය දිනාගනු ලැබුවා. ඒ ගැන වැඩි විස්තර දැනගැනීමට අප කැමතියි.

Untitled-3ඔව්… ඉන්දියාවේ පවත්වපු Bioscope Global Film Festival කියන සිනමා සම්මාන උළෙල මගින් 2014 දෙසැම්බරයෙදි තමයි මට මේ සම්මානය ප්‍රදානය කළේ. එම වතාවෙදි ඒ සිනමා උළෙලට විවිධ රටවල් නියෝජනය කරමින් චිත්‍රපට 41 ක් පමණ ඉදිරිපත් කර තිබුණා. ඒ චිත්‍රපට අතර තිබුණු ලංකාව නියෝජනය කරපු ‘සූවිසි විවරණ’ චිත්‍රපටයෙ මා කළ රංගනයට තමයි ‘හොඳම රංගන ශිල්පියා’ ලෙස මේ සම්මානය මට ලැබුණෙ. මේ සම්මාන උළෙල ගැනත් යමක් කියන්න ඕන. එය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක්. 2014 තමයි පළමුවන සම්මාන උළෙල පැවැත්වූවේ. යම් තේමාවක් ඉදිරිපත් කොට ඒ යටතේ වන චිත්‍රපට මෙම සම්මාන උළෙලට එක් කර ගන්නවා. ප්‍රංශය, ඉතාලිය, එංගලන්තය වැනි රටවල් මෙම උළෙල නියෝජනය කළා. ඉන්දියාවෙන් චිත්‍රපට ගණනාවක් ඉදිරිපත් කර තිබුණා.

‘සූවිසි විවරණ’ චිත්‍රපටය පිළිබඳව යමක් සඳහන් කළොත්….

 සූවිසි විවරණ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ දක්ෂ සිනමාකරුවෙකු වන සරත් ධර්මසිරිගේ නිර්මාණයක්. මේ චිත්‍රපටයේ කතා තේමාව ගොඩ නැගී ඇත්තේ වයස්ගත සාම්ප්‍රදායික උඩරට නැටුම් ශිල්පියෙකු වටායි. ඔහු ‘ගණිතසාර’ ගුරුන්නාන්සේ නමින් හැඳින්වෙනවා. සාම්ප්‍රදායික නැටුම් ශිල්පය ඉදිරියට ගෙන යෑමේදී ගණිතසාර ගුරුන්නාන්සේ වෙත එල්ල වෙන අභියෝග, පෞද්ගලික කුටුම්භය, අධ්‍යාත්මික නැඹුරුව, පරම්පරා ගැටුම ආදි විවිධ වූ සිද්ධි සමුදායක් වටා තමයි කතාව ගොනු වී තිඛෙන්නේ. ඒ ගණිතසාර ගුරුන්නාන්සේ චරිතය තමයි මම නිරූපණය කරන්නෙ. මේ චිත්‍රපටයේ මාත් සමග චාන්දනී සෙනෙවිරත්න, සනත් ගුණතිලක, ඩබ්ලිව්. ජයසිරි, දමිතා අබේරත්න, ඉන්දිකා උපමාලි, අජිත් ලොකුගේ වගේ දක්ෂ නළු නිළියන් විශාල පිරිසක් රංගනයේ යෙදුණා.

ඔබතුමා ක්ෂේත්‍රයට ඇවිත් දශක ගණනාවක්. ඒත් පළමු වරට ප්‍රධාන චරිත රංගනයක් දකින්න ලැඛෙන්නේ සූවිසි විවරණ තුළින්. ඇයි මේ පමාව….

මට ගැළපෙන මාව හරියන චරිතයක් තියෙන්න නැතුව ඇති නේද? (මේ මහා කලා ශිල්පියා නිර්ව්‍යාජව එසේ පවසමින් සිණාසුනි) ඇත්තටම මම ඉස්සෙල්ලම කැමරාවක් ඉස්සරහට යන්නෙ 1970 ගණන්වලදි. ඒ ධර්මසේන පතිරාජයන් කරපු වාර්තා චිත්‍රපටයක රඟපාමින්. ඒකෙ නම ‘අඳුරෙන් එළියට’. එහි මුල්ම දර්ශනය රූපගත කිරීම් කළේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් නිවසේ ගරාජය කාමරයක් විදියට පරිවර්තනය කරගෙන. එතකොට මම නුවරඑළියෙ රැකියාව කරමින් සිට කොළඹට ආපු අලුත. ඒ වෙනකොට නිශ්ශංක දිද්දෙණියයි මමයි එක කාමරයක නැවතිලා හිටියෙ. ඒ වාර්තා චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය රඟපෑවෙ නිශ්ශංක දිද්දෙණිය. ඊට පස්සෙ මම ටයිටස් තොටවත්තයන්ගෙ හඳයා, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙ සිරිබෝ අයියා, අමරනාත් ජයතිලකගෙ තිලක හා තිලකා වගේ චිත්‍රපටවල රඟපෑවා. මට හරියටම මතක නෑ බොහෝ විට මගේ පළවෙනි චිත්‍රපටය අමරනාත් කරපු තිලක හා තිලකා වෙන්න ඕන. පසු කාලෙදි චිත්‍රපට රැසක විවිධ උප ප්‍රධාන චරිත නිරූපණය කරමින් සම්මානයටත් පාත්‍ර වුණා. ඒත් මෙහෙම දෙයක් කියන්න ඕන. චිත්‍රපට රඟපෑමේදී මම චරිත තෝරා බේරාගෙන රඟපෑවයි කිව්වොත් නිවැරදියි. ඇත්තටම මේ තෝරා බේරා ගන්නවා කියන වචනය අදාළ වෙන්නෙත් ලංකාවෙ කලා ශිල්පීන්ට විතරමයිද කියල මට හිතෙනවා. කලාව ඇතුළෙ එහෙම දෙයක් තියෙන්න බෑ. ඒත් අද ලංකාවෙ සිනමාව තුළ විතරක් නෙවෙයි සෑම කලා මාධ්‍යක්ම මුදල්, සිවිල් බලය, දේශපාලනය, ජනප්‍රියත්වය කියන දැඩි හස්තවලට හසු වෙලා. ඉතිං මේ වගේ පසුබිමකදි තෝරා බේරා ගැනීමක් කරන්න අපට සිදුවෙනවා. මගේ චිත්‍රපට දායකත්වය ගැන මට වුණත් සෑහීමකට පත්වන්න බෑ. ඒත් ලැබුණු ඉඩකඩෙන් මම යමක් කරල තියෙනවා. ඒ ගැන මම සතුටුයි. මම රඟපාපු උප ප්‍රධාන චරිත කිහිපයකටම හොඳම සහාය නළුවා ලෙස සම්මාන ලබාගෙන තිඛෙනවා.

ලංකාවෙන් ලබාගත් ඒ සම්මානත් ජාත්‍යන්තරයෙන් හිමිවූ සම්මානයත් අතර වෙනසක් ඔබ දකිනවාද?

යම් කෙනෙක් කැප වී කළ කාර්යයක් වෙනුවෙන් යම් ඇගයීමක් ලැඛෙනවා නම් එය කොහෙන් ලැබුණත් ඉතාමත් වටිනවා. ඒ නිසා ලංකාවෙන් මට ලබා දුන්න සම්මානවලත් අන්තර්ජාතිකව හිමිවුණු සම්මානයෙත් විශේෂ වෙනස්කමක් මා දකින්නේ නෑ. සම්මානයක වටිනාකම තියෙන්නෙ ඒකෙ තියෙන ප්‍රමිතිය තුළයි. විශේෂයෙන්ම අන්තර්ජාතිකව ලැඛෙන සම්මානයක වැදගත්කම වන්නේ එය අපව නොදන්නා අප ගැන අසා නැති ජූරියක තේරීමකින් ලැඛෙන නිසා. ඔවුන් එතනදි සලකා බලන්නෙ අපගේ දක්ෂතා පිළිබඳව පමණක්මයි. තවත් පැත්තකින් බැලූවොත් එවැනි ජාත්‍යන්තර උළෙලවල් සඳහා වෙනත් රටවල් නියෝජනය කරමින් දියුණු නිර්මාණ විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කෙරෙනවා. එවිට අපව තෝරන්නේ එම නිර්මාණ සියල්ල අතරිනුයි. මෙහෙම කියන එකෙන් අපේ රට ඇතුළෙන් ලැඛෙන සම්මාන වැදගත් නෑ කියන එක නොවෙයි මා අදහස් කරන්නෙ.

අපි නැවතත් සූවිසි විවරණ ගැන කතා කරමු. මේ චිත්‍රපටය වෙනත් ජාත්‍යන්තර උළෙල නියෝජනය කරල තියෙනවද?

ඔව්…. සූවිසි විවරණ මේ වන විට ලෝකයේ සිනමා උළෙල හතරක් පමණ නියෝජනය කරල තියෙනවා. 2014 දී පැවැත්වූ සිව්වැනි සාක් චිත්‍රපට උළෙලේදී එය හොඳම චිත්‍රපටය ලෙස සම්මාන හිමිකර ගත්තා. චීනයේ පැවති උළෙලකුත් රුසියාවේ පැවති උළෙලකුත් නියෝජනය කරල තියෙනවා.

සූවිසි විවරණ ලංකාවේ ප්‍රදර්ශනය කළාද?Untitled-2

නෑ… තාම නෑ…. ඇත්තටම ඒක පුදුම කණගාටු දායක තත්ත්වයක්. මේ චිත්‍රපටය නිපදවලා වසර හයකුත් ඉක්ම ගිහින්. ඒත් තාම චිත්‍රපටය ප්‍රදර්ශනය කරගන්න බැරි වෙලා තියෙනවා. එය චිත්‍රපටයේ දුර්වලතාවක් නොවෙයි. ලංකාවේ තියෙන ක්‍රමය තුළ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරගන්නවා කියන්නෙ විශාල යුද්ධයක්.

මෙය ජාත්‍යන්තර ඇගයුමට ලක්වූ චිත්‍රපටයක්. එහෙම චිත්‍රපටයක් ප්‍රේක්ෂකයා වෙත ඉක්මනින් ගෙන යෑමේ ක්‍රමවේදයක් ලංකාවේ නැද්ද?

නෑ… කිසිම ක්‍රමයක් නෑ. ඒක තමයි මම කිව්වෙ මේක හරිම කණගාටුදායක තත්ත්වයක් කියලා. ලංකාව ඇතුළෙ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට කිසිම විධිමත් යාන්ත්‍රණයක් නෑ. රජය පැත්තෙනුත් මේවට මැදිහත් වෙලා සොයා බලන්නෙ නෑ. චිත්‍රපට ඛෙදා හැරීම පිළිබඳව කිසිදු පාලනයක් හෝ ඇඟිලි ගැසීමක් රජය එඒ කියන්නෙ චිත්‍රපට සංස්ථාව කරන්නෙ නෑ. සියල්ල සිදුකෙරෙන්නේ පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන මණ්ඩල කිහිපයකට අවශ්‍ය පරිදියි. එහිදී වාණිජමය වාසි ලැඛෙන පැත්ත කෙරෙහි තමයි ඔවුන් හැමෝම අවධානය යොමු කරන්නේ. ඒ වගේ තත්ත්වයකදි කලාත්මක නිර්මාණවලට සිදුවන ඉරණම තමයි මේ. සිනමාව හෝ වේවා වෙනත් ඕනෑම දෙයක් හෝ වේවා පිළිවෙළකට නිසි ලෙස සිදුවීමට නම් ඊට නිසි යාන්ත්‍රණයක් ප්‍රමිතිකරණය කළ වැඩ පිළිවෙළක් අත්‍යවශ්‍යයි. ඒත් අවාසනාවට අපේ රටේ එහෙම දේවල් නෑ. අතීතයේ ඉඳල අද වෙනකනුත් අපි දියුණු වෙමින් පවතින ජාතියක් මිස දියුණු වුණු ජාතියක් නොවේ. අපි එහෙම පුරුදු වෙලා නෑ. එහෙම තැනක සිට දියුණු සිනමාවක් පිළිබඳව සිහින දැකීම පවා මායාවක් විදියටයි මට දැනෙන්නෙ.

සිනමාවෙන් මඳක් මිදී ඔබගේ කැමතිම නිර්මාණ ඉසව්වට යමු. මේ වෙනකොට වේදිකාව මත රඟදැක්වෙන ඔබගේ අලුත්ම නිර්මාණ ගැන යමක් කීවොත්…

මම අලූතින්ම කරපු වේදිකා නාට්‍ය ‘හඬ නිහඬ’ කියල නම් කරල තියෙනවා. ඒක මේ ගිය මාසෙ-මාර්තුවෙ තුන හතර යන දින දෙකේ තමයි මුල් වරට වේදිකා ගත කළේ. එය සංගීත පරපුරක කතාවක්. ඒ කියන්නෙ 1900, 1925-30 අතර කාලයේ තිබූ ග්‍රැමෆෝන් ගී යුගය, 60-65 පමණ වන විට වික්ටර් රත්නායක, සනත් නන්දසිරි වැන්නන්ගේ යුගය සහ නූතන යුගය. මෙන්න මේ කාල පරිච්ඡේදයන් තුළ කටයුතු කළ සහ කරන පිරිස මුහුණ දුන් සහ දෙන අභියෝගයන් සහ ඔවුන්ගේ වෘත්තාන්ත අළලා තමයි මම  ‘හඬ නිහඬ’ නිර්මාණය කළේ. මේ වේදිකා නාට්‍යට ප්‍රවීණ නළුනිළි 15 දෙනෙක් පමණ රංගනයෙන් දායක වෙලා සිටිනවා. මෙහි සංගීතය මෙහෙයවීම සිදුකරන්නේ නවරත්න ගමගේ.

ඔබ පසුගිය කාලයේ පුවත්පතකට කියා තිබුණා ඔබගේ සියලුම වේදිකා නාට්‍ය දර්ශන වාර තාවකාලිකව නවතා දැමූ බව. ඇත්තෙන්ම එහෙම දෙයක් සිදුවුණාද?

ඔව්…. නැවැත්තුවා. 2015 ජනවාරි 01 වෙනිදා ඉඳලා 2015 දෙසැම්බර් 31 වෙනිදා වෙනකම් මම මගේ සියලූම වේදිකා නාට්‍යවල දර්ශන වාර නැවැත්තුවා. ඒ සියලුම නාට්‍යවලට හොඳ ඉල්ලුමක් තිබුණ කාලෙදි තමයි මම ඒ තීරණය ගත්තෙ.

හේතුව?

ලංකාවේ වේදිකා නාට්‍යක් ප්‍රදර්ශනය කිරීමේදී මතුවෙන දුෂ්කරතා එන්න එන්නම වැඩිවෙනවා. නිර්මාණාත්මක අතිනුත් අවර ගණයේ නිර්මාණවලට වැඩි ඉඩක් ලැඛෙන ආකාරයක් දක්නට ලැඛෙනවා. විශේෂයෙන්ම පසුගිය කාලයේ නිර්මාණය වූ බොහෝ නාට්‍ය තුළ තිබුණේ ප්‍රේක්ෂකයින් සිනහ ගැන්වීමේ අරමුණ පමණමයි. ඒ හාස්‍යත් ඉතාමත් බාල බොළඳ ආකාරයෙන් සිදුවුණේ. මේ වගේ රැළි කලබල අස්සේ පිඹගෙන යාමට නිර්මාණ මෙහෙයවීමක් සිදුකිරීම මට අපහසුයි. ඒ වගේම රටේ තියෙන ආර්ථීක වටාපිටාවත් එක්ක නාට්‍යය සඳහා දායක වන පිරිස වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමත් මා විසින් කළ යුතුම දෙයක්Untitled-4. ඔවුන්ට සරිලන වටිනාකම මා ලබා දිය යුතුයි. මේ සියල්ල අතර නාට්‍යය හොඳම ප්‍රමිතියෙන් තබා ගැනීමත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඇත්තටම මේ දේවල් ඔක්කොම කරන්න හරිම අමාරුයි. අපේ රටේ නාට්‍ය කලාව මේ වන විට අඩ සියවසක් ඉක්මවලා ගිහින්. මම මේ අවුරුදු පනහෙම වැඩ කරල අත්දැකීම් තියෙනවා. තවමත් වැඩ කරනවා. ඒ නිසා මට මේ දේ බය නැතිව වගකීමකින් පවසන්න පුළුවන්. නාට්‍ය ශිල්පීන්ට ඒ මුල් කාලයේ තිබුණු අවහිරතා තාමත් ඒ විදියටමයි. ආණ්ඩු කොච්චර මාරු වුණත් ඒ දුෂ්කරතා එහෙමමයි. අපි අනන්තවත් මේව ගැන කතා කරනවා, ලියනවා. කෑ ගහනවා. ඒත් කිසිම පළක් ප්‍රයෝජනයක් නෑ. අදටත් අපි උදේ පාන්දර බස් එකේ කූඩු වෙලා ලට්ට ලොට්ට පටවගෙන නාට්‍ය දර්ශන තියෙන තැන්වලට යනවා. එතන ගියාම වතුර නෑ, ටොයිලට්ස් නෑ, ඇඳුමක් මාරු කරගන්න නිසි තැනක් නෑ… පුදුම දුෂ්කර ක්‍රියාවන් මැද්දෙ තමයි අපි අදටත් නාට්‍යයක් පෙන්ව ගන්නෙ. මේ හැම දෙයක්ම නිසා තමයි මම තීරණය කළේ ටික කාලයක් ඉඳල හුස්මක් අරන් නැවත පටන් ගන්නවා කියලා. ඒ හුස්මත් සමග තමයි මා මේ ‘හඬ නිහඬ’ අලුත්ම නිර්මාණය කළේ. දැන් ඉතිං අහන්න එපා ඔබ දැන් නාට්‍ය පටන් ගත්තෙ අර කියපු කාරණා සංසිඳිලා නිසාද කියල. නෑ. අපේ රට ඇතුළෙ ඒ වගෙ හීන හැබෑ වෙන්නෙ නෑ. ඒත් මේකෙන් ඈත් වෙලා දුරු වෙලා ඉන්නත් අපට අමාරුයි. ඒ නිසා අර අසීරුතා මැද්දෙම අපිත් නිර්මාණ කරනවා.

අවසාන වශයෙන් විශේෂයෙන් සඳහන් කළ යුතු යමක් තියෙනවද?

ඇත්තටම…. මට හොඳම නළුවා විදියට සම්මාන ලබන්න පුළුවන් වුණේ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ සරත් ධර්මසිරි මාව ඔහුගේ සූවිසි විවරණ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස තෝරා ගත්ත නිසයි. සරත් ධර්මසිරි නිර්මාණය කළ  ගිනි කිරිල්ලී, භේරුණ්ඩ පක්ෂියා යන චිත්‍රපටවලත් මම රඟපෑවා. ඒ වගේම මෙහි රඟපෑව සියලුම දෙනා උපරිමයෙන් මගේ චරිතය ගොඩ නගා ගැනීම සහයෝගය ලබා දුන්නා.

අචාර්ය ජයලත් මනෝරත්න මහතාණෙනි, කැනඩාවෙහි ගත කළ දින කිහිපය නිමා කොට ගුවන් තොටුපොළ කරා යෑමට ආසන්නව තිබියදීත් අප වෙත ලබාදුන් මේ ඉඩහසර පිළිබඳව ඔබට ස්තූතිය පිරිනමන අතරම ඔබගේ සියලුම ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

 

සාකච්ඡාව මෙහෙයවීම සහ සංවාද සටහන – චමරි අබේසිංහ

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*