නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී ඇත. ඔහියෝ හි ක්ලෙව්ලෑන්ඩ්හිදී ඊයේ (19 දා) පැවති රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සමුළුවේදී මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.

ඇමරිකානු ජනාධිපතිවරණ සටනට රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පසුගිය මාස කීපය පුරා ඇමරිකාවේ ප්‍රාන්තවල ජනමත විමසුම් පවත්වන ලද අතර ඊට ඉදිරිපත් වූ සෙසු අපේක්ෂකයන් අබිබවා ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරමුණ ගැනීමට සමත් විය. මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමග රිපබ්ලිකන් පක්ෂයෙන් අපේක්ෂකයන් 16 දෙනෙකු තරඟ වැදී තිබුණි.

මෙවර ක්ලේව්ලෑන්ඩ්හිදී පැවති පක්ෂ සම්මේලනය උණුසුම් ස්වභාවයක් ගත් අතර එහිදී ජනාධිපති අපේක්ෂකයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණි.  එම ඡන්දයේදී රිපබ්ලිකන් පාක්ෂිකයන් වැඩි දෙනෙක් තම කැමැත්ත පළ කොට තිබුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බවටයි.

එහෙත් පක්ෂයේ ඇතැම් අය ප්‍රකාශ කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු නොවන්නෙකු බවයි. ඔහුගේ අන්තවාදී අදහස් පිළිබඳව ඇතැම් අය දැඩි ලෙස විවේචන එල්ල කර තිබුණි.

ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව විවිධ මතවාද ගැටුම් කෙතෙක් තිබුණත් ඒ සියල්ල මඳකට පසෙකට දමා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ට්‍රම්ප් වටා එක් වන ලෙස මෙම සමුළුවේදී අදහස් දැක්වූ පක්ෂයේ කතානායක පෝල් රයන් ඉල්ලා සිට ඇත.

මෙහිදී ඇමරිකානු ජනපති සටනේ ප්‍රධානම කඩඉම ජය ගත් ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහු ලද එම ජයග්‍රහණය පිළිබඳ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ තමාව රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා පත් කර ගැනීස තමාට කළ විශාල ගෞරවයක් ලෙස සලකන බවයි. ඇමරිකාව නැවතත් විශිෂ්ටත්වයට පත් කිරීමට තමා කටයුතු කරන බවද ඔහු පවසා ඇත.

නියම ජනාධිපතිවරණ සටන මෙතැන් සිට ඇරඹෙන බව මේ පිළිබඳව අදහස් පළ කරන බොහෝ දෙනෙකුගේ අදහස වේ. නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් හා තරඟ වදින්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ය.

Share this Post