May 1, 2017

යකඩ අඩු වෙනකොට මොළේ අඩු වෙනවාද?

“බලන්නකො ඔයා සුදුමැළි වෙලා තියෙන තරම… ඇඟේ යකඩ අඩුයි වගේ…. දොස්තර කෙනෙක් ළඟට යන්න…”

“දරුවෙකුත් ලැඛෙන්න ඉන්න එකේ අනිවාර්යයෙන්ම යකඩ පෙති ගන්න…”

“දරුව හෝන්දු මාන්දු වෙලා වගේ. යකඩ වඩන කෑම දෙන්න වෙයි…”

මේ එදිනෙදා ජීවිතයේ අපට ඇසෙන සුලභ සංවාද කීපයක්.

යකඩ නෑ…. යකඩ මදි… මොනවද මේ යකඩ.

යකඩ යනු

අපේ ශරීරයේ පැවැත්ම සඳහා අත්‍යශ්‍ය ඔක්සිජන් සිරුරේ නොයෙක් කොටස් වෙත ගෙන යාම සඳහා උපකාරී වන හිමොග්ලොබින් සෑදීමට අවශ්‍ය වූ පෝෂණ සංඝටකය ‘යකඩ’ නමින් හඳුන්වයි. යකඩ හා ප්‍රෝටීන්වලින් සැදි හිමොග්ලොබින් පෙනහලූ තුළදී ඔක්සිජන් සමග සම්බන්ධ වී ශරීරයේ මාංශ පේශි හා ඉන්ද්‍රියයන් ආදි ඔක්සිජන් අවශ්‍ය ස්ථානවලට මුදා හැරීම සිදුකරයි.

මීට අමතරව ශරීරයේ මයෝග්ලොබින් වැනි වෙනත් සංඝටක සෑදීමටද යකඩ දායක වේ.

යකඩ අවශ්‍ය ඇයි?

සිරුරෙහි ඔක්සිජන් සංසරණය සඳහා දායක වනවාක් මෙන්ම වෙනත් ක්‍රියාකාරකම් රැසක් සඳහාත් යකඩ අපට මහෝපාකාරී වේ.

මේ අතරින් ස්නායු පද්ධතිය රැක ගැනීම සඳහා යකඩ ලබා දෙන දායකත්වය ඉතා විශාලය. ස්නායු පද්ධතියේ වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට, ස්නායු ෙසෙලවල ශක්තිය සංයෝගයට, ස්නායු සම්ප්‍රේශකයන්හි පරිවෘත්තීය (metabolism) ක්‍රියාකාරිත්වයට වැනි සෑම අවස්ථාවකදීම යකඩ අත්‍යවශ්‍ය වේ. මේ අනුව යම් හෙයකින් යකඩ ඌනතාවක් ඇති වුවහොත් ස්නායු පද්ධතියේ වර්ධනය පවා අඩාල විය හැක.

එමෙන්ම ශාරීරික හා මානසික වර්ධනය නිසි පරිදි සිදු වීමටත්, රෝග වැළඳීම වැළැක්වීමේදී ප්‍රතිශක්තිය ලබා දීමටත්, මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කර මතක ශක්තිය හා අවධානය වැඩි කිරීමටත්, ක්‍රියාශීලී දිවි පැවැත්මක් සඳහාත් යකඩ අප සිරුරට අත්‍යවශ්‍ය වේ.

කුඩා දරුවාගේ පටන් මහලූ වියේ පසුවන වැඩිහිිටියා දක්වා සිරුරේ නිසි පැවැත්මක් තබා ගැනීමට සිරුරට අවශ්‍ය යකඩ පිළිබඳ දැන සිටීම ඉතාමත් වැදගත් වේ.

යකඩ ඌනතාව

විශේෂයෙන්ම ගැබිණි සමයේ පසුවන මවුවරුන් තම සිරුරෙහි යකඩ අඩංගුතාව පිළිබඳව ඉතාමත් දැඩි අවධානයක් යොමු කළ යුතුයි. ගැබිණි සමයේදී ඇතිවන විවිධ සංකුලතා අවම කර ගැනීමට යකඩ ඉතාමත් උපකාරී වේ. ගැබිණි මවක් යකඩ ඌනතාවයට ගොදුරු වූයේ නම්, අඩු බර දරුවන් බිහිවීම, දරුවාගේ වර්ධනය හීන වීම, අවධානය හා මතක තබා ගැනීමේ ශක්තිය අඩු වීම, නොයෙකුත් ලෙඩ රෝගාදියට පහසුවෙන් ගොදුරු වීම, කාර්යක්ෂමතාව හා ක්‍රියාශීලිත්වය අඩුවීම වැනි විවිධ ගැටලුවලට දරුවා මුහුණ පෑ හැක.

දරුවකු පිළිසිඳගත් අවදියේ සිටම මවක් තම ආහාර වේල යකඩ අඩංගු ආහාරවලින් සමන්විත කර ගැනීමට වග බලා ගත යුතුයි. එය උපදින දරුවාගේ මෙන්ම මවගේද සෞඛ්‍ය තත්ත්වය මනාව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වන්නකි. විශේෂයෙන්ම ගැහැනු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳ මවුවරුන් විමසිලිමත් විය යුතු අතර තරුණ වියේ පසුවන දැරියන් හට යකඩ අඩංගු ආහාර ලබා දීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

කාන්තාවක මවක වීමට සූදානම් වීම සඳහා ගර්භණී සමයට පෙර සිටම පුරුදු පුහුණු වීම සුදුසු වේ. නිසි පෝෂණයෙන් යුතුව පසුවීම නිරෝගිමත් බුද්ධිමත් දරුවකු මෙළොවට දායද කිරීමේ මූලිකම පියවරයි.

දරුවකු පිළිසිඳ මුල් මාසය ඉක්ම යාමත් සමග මවකගේ සිරුරෙහි යකඩ අවශ්‍යතාව ඉහළ යයි. මවගේ සිරුරේ ඉහළ යන රුධිර ෙසෙල ප්‍රමාණය නිෂ්පාදනයට, කුස තුළ වැඩෙන කලලයේ වර්ධනයට හා ගර්භාෂ පටක හා කලල බන්ධනය (වැදෑමහ) වර්ධනයට මෙම යකඩ අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ගර්භණී සමයේ අවසාන කාලයේදී උපරිම යකඩ ප්‍රමාණයක් ලැබිය යුතුය. යම් විදියකින් ගර්භණී මවක් යකඩ ඌනතාවෙන් පෙළුනහොත් ඇයට නිරක්තිය වැනි රෝගී තත්ත්වයක් ඇතිවී එයින් කලලයේ වර්ධනයට දැඩි බලපෑම් එල්ල විය හැක.

ගර්භණී මවකගේ රුධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය ඩෙසිලීටර ග්‍රෑම් 11.0 ක් පැවතිය යුතු අතර ගර්භණී නොවන වයස අවුරුදු 15 ට වැඩි සෑම කාන්තාවක් තුළම රුධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය ඩෙසිලීටර ග්‍රෑම් 12.0 ක් විය යුතුයි. මෙම ප්‍රමාණයට වඩා අඩු වුවහොත් රුධිරයේ හිමොග්ලොබින් අඩු වී නීරක්ති තත්ත්වය ඇති විය හැක.

ගර්භණී මවුවරුන් මෙන්ම කිරිදෙන මවුවරුන්ද යකඩ අඩංගු ආහාර වේලක් ගැනීමට සෑම විටම සිහිතබා ගත යුතුයි.

ගර්භණී මවක යකඩ ඌනතා නීරක්ති තත්ත්වයට පත් වුවහොත් පහත දැක්වෙන අවදානම්වලට පත්විය හැක.

  • මාතෘ මරණ ඇතිවීම
  • මාතෘ සංකූලතා ඇති වීම
  • ගබ්සා වීම
  • නොමේරු දැරු ප්‍රසූතිය
  • කලලයේ ස්නායු පද්ධතියේ ආබාධ ඇතිවීම
  • අඩු බර දරු උපත්
  • දරුවාගේ වර්ධනය බාල වීම
  • දරුවා බිහිවීමෙන් පසු මව තුළ විවිධ රෝගී තත්ත්වයන් ඇතිවීම සහ නිතරම සිරුරෙහි කෙඩෙත්තු ගතියක් මතුවීම

කැනඩාව වැනි දියුණු රටවල දරුවන් අතර යකඩ ඌනතාව එතරම් දක්නට නොලැබුණත් තුන්වන ලෝකයේ රටවල දරුවන් අතර යකඩ ඌනතාව හා එයින් මතුව ඇති සංකුලතා බහුලව දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ දරුවන් අතරද මෙම තත්ත්වය සෑහෙන දුරට දක්නට ලැඛෙන බව ඒ පිළිබඳව වන පර්යේෂණ වාර්තා පෙන්වා දේ.

දරුවන් යකඩ ඌනතාවෙන් පෙළෙන විට සිරුරෙහි වැඩීමට එය ඍජුවම බලපෑම් ඇති කරයි. විශේෂයෙන්ම නිසි උසක් හා බරක් පවත්වා ගැනීමටත් නිසි ආකාරයෙන් මාංශපේෂි වර්ධනය වීමටත් හිසකෙස් ආදියේ වැඩීමටත් යකඩ අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂකයක් ලෙස ක්‍රියා කරනු ලබයි. ළමා අවදියේදී යකඩ හිඟ කමින් පෙළෙන දරුවන් ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අඩු කමින් පෙළෙයි. එහිදී ප්‍රතිශක්තිකරණය අඩු වීම නිසා ඔවුන් පහසුවෙන් ලෙඩ රෝගවලට ගොදුරු වීමද දක්නට ලැබේ. යකඩ ඌනතාව නිසා මතක ශක්තිය හීන කරන අතර එයින් දරුවන්ගේ පාසල් වැඩ කටයුතු අඩාල වීමද සිදුවිය හැක.

යකඩ ඌනතා නීරක්තියෙන් පෙළෙන දරුවකු පහත සඳහන් රෝගී ලක්ෂණ පෙන්නුම් කරයි.

  • නිතර නිදිමත ගතියෙන් පෙළීම
  • අලස බව
  • ද්වීතියික ලිංගික ලක්ෂණ පහළ වී ප්‍රමාද වීම
  • ආහාර ගැනීමේ විෂමතා ඇති වීම
  • මතක ශක්තිය දුර්වල වීම සහ ගණිතමය හැකියාව මඳ වීම මෙන්ම ඉගෙනීමේ කුසලතාව අඩු වීම
  • පන්ති කාමරය තුළ ක්‍රියාකාරිත්වය අඩු වී දරුවාට පාසල ප්‍රිය නොවීම
  • විෂය බාහිර ක්‍රියාකාරකම්වල නොයෙදීම

ළදරු අවදියේ සිටම සියල්ලන් වෙතම යකඩ අත්‍යවශ්‍ය පෝෂකයක් ලෙස ක්‍රියා කරන බව ඔබට පැහැදිලි වන්නට ඇත. ගැහැනු දරුවන් පමණක් නොව පිරිමි දරුවන්ද යකඩ ඌනතාවෙන් පෙළිය හැකි අතර දරුවකු ඉහත අන්දමේ අලස ගති පෙන්වයි නම් වෛද්‍යවරයකු වෙත යොමු කර නිසි ප්‍රතිකාර ලබා දීම සුදුසු වේ.

ආහාර හා යකඩ116

නිර්මාංශ ආහාර ගන්නන් අතර යකඩ ඌනතාව වැඩිපුර දක්නට ලැඛෙන බව කිව හැකියි. මස්, මාලු, කරවල ආදියෙහි අඩංගු යකඩ ශරීරයට පහසුවෙන් උරාගත හැකියි.  විශේෂයෙන්ම රතු පැහැති මස් ආහාරයට එක් කර ගැනීමෙන් යකඩ ඌනතාව බොහෝ දුරට මගහරවා ගත හැක.

කිරි සහ බිත්තර ආහාරයට එක්කර ගැනීමෙන් සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් පදාර්ථ ලැබුණත් යකඩ අවශ්‍යතාව එයින් සපිරෙන්නේ නැත. එම ආහාරයන්හි ඇති යකඩ ශරීරයට උරා ගැනීම එතරම් පහසු නොවන නිසා ප්‍රමාණවත් යකඩ පෝෂණයක් එයින් ලබාගත නොහැක.

තද කොළ පැහැති පළා වර්ග, විශේෂයෙන්ම නිවිති වැනි පළා වර්ගවලත්, එළවළුවලත් යකඩ පෝෂකය බහුලව අඩංගු වුවත් එම යකඩ ශරීරයට උරා ගැනීමේ හැකියාව අඩු බව මතක තබා ගත යුත්තකි. එම නිසා කොළ පැහැති එළවළු හා පළා වර්ග පිසීමේදී ගොරකා, සියඹලා, තක්කාලි හෝ දෙහි ඇඹුල් එක් කර විටමින් සී බහුල කර ගැනීම මගින් ඒවායේ අඩංගු යකඩ පෝෂකය ශරීරයට උරා ගැනීම පහසු කරගත හැක.

බෝංචි, සෝයාබෝංචි, මුං ඇට, කව්පි, උළුඳු, පරිප්පු වැනි ධාන්‍යමය ආහාරවල114 බහුලව ඇති යකඩද ශරීරයට උරා ගැනීම මඳ වශයෙන් සිදුවෙතත් එම ආහාර ‘බීජ’ මට්ටමින් පිළියෙල කර ආහාරයට එක්කර ගැනීමෙන් එම පෝෂකය යහමින් ලබාගත හැක.

ශාකමය ආහාර වේලක් ගැනීමෙන් අනතුරුව දෙහි, දොඩම්, නෙල්ලි, පේර වැනි විටමින් ‘සී’ බහුලව අඩංගු ආහාරයක් ගැනීමෙන් ශරීරයට අවශ්‍ය යකඩ ප්‍රමාණය අවශෝෂණය කර ගැනීම පහසු කරගත හැක. අහාර වේලකින් පසු අප ලබාගන්නා අතුරුපසට මෙවැනි පළතුරක් එක් කර ගැනීමෙන් මෙම අවශ්‍යතාව සපුරා ගත හැකියි.

විශේෂයෙන්ම නිර්මාංශ ආහාර ලබාගන්නා තැනැත්තන් තම සිරුරේ යකඩ අවශ්‍යතාව පිළිබඳ විශේෂ සැලකිල්ල යොමු කළ යුතු වේ. මෙවැනි අය වෛද්‍ය උපදෙස් මත සිරුරෙහි හිමොග්ලොබින් ප්‍රමාණය පරීක්ෂා කොට බාහිරව යකඩ අඩංගු පෙති ලබා ගැනීමට සැලකිලිමත් වීම සුදුසු වේ.

113ආහාර වේලක් ලබා ගැනීමට පැයකට පමණ පෙර හෝ ආහාර ලබාගෙන පැයක් ගත වීමට පෙර තේ හෝ කෝපි පානය කිරීමෙන් ඔබ ලබාගත් ආහාරයේ ඇති යකඩ සිරුරට අවශෝෂණය කර ගැනීමට බාධා පැමිණිය හැක. යකඩ අවශෝෂණයට බාධා කරන සංඝටක සහිත ආහාර ලෙස අධික කෙඳි සහිත ආහාර, ෆයිටේට්, කැෆේන් සහිත ආහාර හා කැල්සියම් වැනි ඛනිජ බහුලව අඩංගු ආහාර දැක්විය හැක.

 

 

සටහන – චමරි අබේසිංහ

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*