June 24, 2017

කෑම රස කරන ඇඟට සුව ගෙනෙන ස්වාභාවික රස කාරක

“හොඳට දුරු මිරිස් තුනපහ රසට කෑම ටිකක් නැතුව මට නම් මොනව කෑවත් වැඩක් නෑ….”

මේ ලංකාවේ ජීවත් වන අය තුළ පමණක් නොව එහි සිට මෙහි පැමිණ සිටින බොහෝ දෙනෙකු තුළද තිඛෙන අදහසයි. කැනඩාව වැනි බටහිර රටක ජීවත් වුවත් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් තම ආහාර වේල පිස ගැනීමේදී ශ්‍රී ලංකාවටම ආවේණික ස්වාභාවික කුළුබඩු වර්ග යොදා ගන්නේ එයින් ලැඛෙන ප්‍රණීත රසය ප්‍රධාන කොට සලකමිනි. මහ මඟට බැස විනාඩි කිහිපයක් ගමන් කිරීමෙන් ලෝකයේ විවිධ වූ සංස්කෘතීන්ට අයත් විවිධ වූ ආහාරපාන ඕනෑ තරම් රස විඳිය හැකි රටක ජීවත් වුවත්, ඒ කුමන රසමසවුලක් කෑවත්, කුළුබඩු යෙදූ වෑංජනයක් සමග බත් ටිකක් කනවා තරම් සිතට මෙන්ම බඩට නොදැනෙන බව බොහෝ දෙනෙකු පවසන්නේ ඒ රසය අපට ඒ තරමටම සුපුරුදු හා ප්‍රිය වන හෙයිනි.

ශ්‍රී ලාංකිකයන් තම ආහාර වේල සකසා ගැනීමේදී ඈත අතීතයේ සිටම කුළුබඩු වර්ග භාවිතයට ගෙන ඇති බව ඒ සම්බන්ධ මූලාශ්‍රයන් විමසා බැලීමේදී අනාවරණය වෙයි. එකලද බොහෝ ආහාර වර්ග ප්‍රමාණවත් පරිදි කුළුබඩු සහ පදමට ලූණු ඇඹුල් යොදා පිස ආහාරයට ගෙන ඇත. එලෙස ආහාර රස ගැන්වීම සඳහා යොදාගත් කුළුබඩු අතර මිරිස්, දුරු, අබ, සිද්ධිඟුරු, වහපුල් ආදිය වූ බව ‘පූජාවලිය’ ග්‍රන්ථයෙහි සඳහන් වේ.

තුන්වන මිහිඳු රජු විසින් පාංශුකූලික භික්ෂූන් වහන්සේ හට ඛෙහෙත් පිණිස ගම්මිරිස්, තිප්පිලි, හිඟුරු, තිපල් ආදිය පාත්‍රයන් පුරවා දුන් බව ‘මහා වංශය’ සඳහන් කරයි. ආදියේ සිටම ශ්‍රී ලාංකිකයන් කුළුබඩු වර්ග ආහාර රසවත් කිරීමේදී මෙන්ම ඖෂධ වශයෙන්ද භාවිත කර ඇති බව මෙයින් පෙනී යයි.

අතීතයේදී දේශාටනයෙහි යෙදෙන්නන්ගේ හා විදේශ වෙළඳුන්ගේ අවධානයට ශ්‍රී ලංකාව පත්ව ඇත්තේද ඉතාමත් දුර්ලභ වටිනා අප රටටම ආවේණික වූ කුළුබඩු වර්ග ගණනාවක තිබූ නිසා විය හැකිය. අරාබි වෙළඳුන් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවෙන් කරාබුනැටි, කරදමුංගු, සාදික්කා, වසාවාසි හා ඉඟ=රුපියළි ආදිය ගෙන ගොස් ඇති බව ඒ පිළිබඳ සටහන්වල දැක්වේ.

අද ලෝකයේ ඇතැම් රටවල පැතිර පැවතුණත් කුළුබඩු අතර ප්‍රධානතම භෝගයක් ලෙස සැලකෙන කුරුඳු පැළයේ ජන්ම භූමිය ශ්‍රී ලංකාවයි. අපේ රටේ කුරුඳු ඈත පෙරදිග රටවල අදටත් ප්‍රසිද්ධ වී ඇත්තේ ලොව හොඳම කුරුඳු ප්‍රභේදය ලෙසිනි. ක්‍රිස්තු පූර්ව අවධියේදී ශ්‍රී ලංකාවෙන් පලස්තීනයට කුරුඳු අපනයනය කළ බව බයිබලයේද සඳහන්ව ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ කුළුබඩු සුළු අපනයන භෝගයක් ලෙස සැලකුවද අතීතයේදී මහා පරිමානයෙන් අපනයන කර ඇති බවට කොතෙකුත් සාක්ෂි ලක්දිවෙන් හමුවේ.

දකුණු ආසියාතිකයින්ගේ ඉවුම් පිහුම් රටාව තුළ කුළුබඩු යොදා සැකසූ ආහාර වර්ග බහුලව භාවිත වේ. බොහෝ දෙනෙකු ආහාර රසවත් කිරීමට හා සුවඳක් ලබා ගැනීම සඳහා කුළුබඩු යොදාගත්තද එයින් ලැඛෙන ඖෂධීය ගුණයද අතිමහත්ය. කුළුබඩුවල ඇති එන්සයිම විවිධ ආහාරවල ඇති විටමින් හා වෙනත් එන්සයිම කොටස් හා ක්‍රියාකාරී වීමෙන් එම ආහාර ජීර්ණය පහසු කරවීමේ ක්‍රියාවලියට ඍජුවම දායක වේ. කුළුබඩු යෙදූ පසු ඇතැම් ආහාර මෙලෙක් වන්නේත් (මස් මාංශ) ඇතැම් ආහාර තද ගතියෙන් (ඇතැම් එළවළු හා මාලු වර්ග) යුක්ත වන්නේත් මෙම ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵල ලෙසිනි. එලෙසින්ම ආහාර කල් තබාගැනීම සඳහාද කුළුබඩු මහෝපකාරී වේ.

ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ගැනීමෙන් අහිතකර ප්‍රතිඵල අත්වීම සාමාන්‍ය තත්ත්වයකි. එනිසා කුළුබඩු ආහාරයට එක් කර ගැනීමේදීත් පමණ දැන යොදා ගැනීමෙන් යහපත් ප්‍රතිඵලත් අධිකව යෙදීමෙන් ආමාශ තුවාල, අම්ල පිත්ත (ගැස්ට්‍රයිටීස්) ආදි රෝගී තත්ත්වයනුත් ඇතිවිය හැක.

තුනපහ

ආහාර පිසීමේදී කුළුබඩු වර්ග කීපයක් එකතු කර පිළියෙල කරගත් ‘තුනපහ’ ලාංකික මුළුතැන්ගෙය තුළ නැතිවම බැරි ප්‍රධානතම රසකාරකයකි. අතීතයේදී අපේ අත්තම්මලා අම්මලා ගෙදරදීම වේලා, බැද, කොටා පිළියෙල කරගත් තුනපහ භාවිත කළත් අද වෙළඳසැලට ගිය සැණින් තුනපහ පැකට් මිල දී ගත හැකි නිසා මේ තුන+පහ යන වචන දෙකේ අඩංගුව ඇත්තේ මොනවාද යන්නවත් බොහෝ ගෘහනියෝ නොදනිති.

තුන – ලුණු, ඇඹුල් සහ මිරිස් තුනට ඇතුළත් වේ. මෙහි මිරිස් සහ ලුණු විවිධ ආකාර නොවූවත් ඇඹුල් යන්න එක්කර ගත හැකි ක්‍රම කිහිපයක් ඇත. සියඹලා, ගොරකා සහ දෙහි එලෙස එක්කරගත හැකි ඇඹුල් වර්ග කිහිපය වේ.

පහ – සූදුරු, මහදුරු, කොත්තමල්ලි, කහ, උළුහාල් පහට අයත් වේ.

තුනපහ ලෙස පොදු ව්‍යවහාරයේ හැඳින්වුවද තුනපහ මිශ්‍රනය සෑදීමේදී ‘පහ’ ට අයත් ද්‍රව්‍ය පමණක් යොදා ගැනේ. ‘තුන’ ට අයත් ද්‍රව්‍ය වෙන වෙනම වෑංජනවලට අවශ්‍ය පදමට යොදා ගැනීම සිදුකරනු ලබයි.

තුනපහට අයත් කුළුබඩුවල ගුණාගුණ මෙසේයි.

සූදුරු හා මහදුරු

පුරාණ ආයුර්වේද ග්‍රන්ථවල ‘දුරු’ මිනිසාගේ උපතේ සිට මරණය දක්වාම ඇති සියලූම රෝගාබාධ සඳහා ගුණදායක බව සඳහන් වේ.

ඊජිප්තුවේ මමි සකස් කිරීම සඳහාද යොදාගෙන ඇතැයි පැවසෙන සූදුරු, රෝම සහ ග්‍රීක යුගයටත් පෙර සිට භාවිත කර ඇති බවට සාක්ෂි හමුවී ඇත. ආහාර දිරවීමට උපාකාරී වීම නිසා සංස්කෘත බසින් සූදුරු හඳුන්වන්නේ ‘ජීරක’ යනුවෙනි. සූදුරුවල පවතින කුළුබඩුවකට පමණක් සීමා නොවූ ගුණය නිසාම ‘සිහදුරු’ ලෙසත් මෙය හඳුන්වයි. සිහදුරු යනු ‘සිහළයාගේ දුරු’ යන්නයි.

රූපලාවන්‍යයේදීද සූදුරු යොදාගනු ලබන අතර ඇඟ දැවිල්ල, පතුල් දැවිල්ල, අසාත්මිකතා, ඇෙඟ් බිබිලි, ඇඟ කැසීම ආදි ශරීරයේ බාහිර රෝග සඳහාත් ආහාර අජීර්ණය, ගර්භාෂගත රෝග, ආහාර අරුචිය, ආමාශගත රෝග, ඇදුම, කැස්ස, පීණස වැනි පෙණහලූ ආශ්‍රිත රෝග වැනි අභ්‍යන්තර රෝග සඳහාත් ගුණ දෙන ඖෂධීය කුළුබඩුවක් ලෙස සූදුරු හැඳින්විය හැක.

සූදුරු, මහදුරු ආදි සෑම දුරු වර්ගයකම ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක අඩංගුව ඇති නිසා ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කෙරෙන අතර එයින් බොහෝ රෝග බෝ වීම පහසුවෙන්ම වළක්වා ගැනීමට හැකි වේ.

කොත්තමල්ලි

වසර දහසකට අධික ඉතිහාසයක් සහිත ‘චරක සංහිතාව’ නමැති ආයුර්වේද ග්‍රන්ථයේ කොත්තමල්ලි ගුණ පිළිබඳ සඳහන් කර තිඛෙන අතර දේශීය ආයුර්වේදය තුළ කොත්තමල්ලිවලට ඉතාමත් වැදගත් තැනක් හිමිව තිඛෙන බවද කිව යුතුව ඇත. දේශීය වෛද්‍ය ක්‍රමයේදී ‘කුස්තුම්බුරු’ යනු කොත්තමල්ල හැඳින්වෙන වචනයකි. සංස්කෘත වචනයක් වන එහි සිංහල තේරුම ‘රෝග පළවා හරින්නා’ යන්නයි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රෝග පළවා හරින්නෙක් වන කොත්තමල්ලි පානයක් ලෙස ගැනීමෙන් වාත, පිත්ත, කළු ලෙස සිරුරේ ඇති තුන් දොස් සමනය වන බව ආයුර්වේදයේ සඳහන් වේ. ශරීරයේ දැවිල්ල නැති කරන, පිපාසය නැති කරන, ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවන, මුත්‍ර පිටවීම විධිමත් කරවන ආදි විවිධ වූ අභ්‍යන්තර හා බාහිර රෝග ගණනාවක් සඳහා කොත්තමල්ලි ගුණ දේ.

දැන හෝ නොදැන මව්කිරි නොමැති දරුවන් හට කොත්තමල්ලි ලබාදීමට අපේ රටේ ඇතැම් අය පුරුදුව ඇතත් එය ළදරුවාට පෝෂණය ලබාගත හැකි මහඟු ආහාරයකි. මන්ද යත්, කොත්තමල්ලිවල ප්‍රෝටීන් සහිත අහිතකර නොවන තෙල් පදාර්ථ සෑහෙන ප්‍රමාණයක් අඩංගු වන හෙයිනි.

කහ

ප්‍රිය වර්ණයකින් සහ ඊටම ආවේණික සුවඳකින් යුතු ‘කහ’ ප්‍රබල විෂබීජ නාශකයකි. කහ ආයුර්වේදයේදී විවිධ නම්වලින් හඳුන්වන අතර ‘හරිද්‍රා’ යනු ඉන් එක් නමකි. සංස්කෘත බසින් හරිද්‍රා යනු කහ පැහැයයි.

හන්දිපත් වේදනා, තුවාල, කුෂ්ඨ වැනි බාහිර ශාරීරික රෝගවලට මෙන්ම හිසරුදාව, ඉරුවාරදය, ශ්‍රවණාශ්‍රිත රෝග, ඇදුම කැස්ස, අක්මාව ආශ්‍රිත රෝග ආදියට ප්‍රතිකාර කිරීමේදී කහ යොදාගනු ලැබේ. දේශීය වෙදකමේදී ඖෂධ මැල්ලුම්, පත්තු ආදිය සඳහා කහ භාවිත කෙරේ. රූපලාවන්‍ය කටයුතුවලදී බහුලව යොදා ගැනෙන ඖෂධයක් ලෙස කහ සැලකිය හැක. සිසිල් ගුණයෙන් යුතු ඖෂධයක් වන කහ හොඳ වේදනා නාශකයක් ලෙසද ක්‍රියා කෙරේ.

ඇතැම් ආසියාතික රටවල සංස්කෘතික වශයෙන්ද බොහෝ අවස්ථාවල ‘කහ’ යොදාගනු ලැබේ. ග්‍රහ පූජා, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, නූල් ජප කිරීම් ආදියේදී කහ බහුලව යොදා ගැනේ. බාරහාර වීමේදී ප~ුරක් ගැට ගැසීමට පෙර එය කහ වතුරෙන් සෝදා පිරිසිදු කර ගැනීම සිරිතකි. මළ ගෙයක් වූ විට දේහය ඉවත් කිරීමෙන් පසු එය තිබූ ස්ථානයට කහ දියර ඉසීම සිදුකරනු ලබන්නේ චාරිත්‍රයක් වශයෙන් වුවත් එයින් විෂබීජද යම් තරමකට නැසෙන බව අතීතයේ සිටම මිනිසුන් දැන සිටින්නට ඇත.

1.jpg

උළුහාල්

දේශීය වශයෙන් බහුලව වගා නොකෙරෙන එහෙත් බහුලව කුළුබඩුවක් ලෙස ආහාරයට එක් කරගන්නා තුනපහවල අඩංගු ප්‍රධාන අංගයකි උළුහාල්.

උළුහාල්වල ප්‍රෝටීන, විටමින් සී, විටමින් බී12 සහ පොටෑසියම් යහමින් අඩංගුව ඇත. ආයුර්වේදයේදී උළුහාල්වලට ප්‍රධාන තැනක් හිමිවන අතර ‘හිස සහ කය ආරක්ෂා කරන’ ඉතා වටිනා ඖෂධයක් ලෙස එය හඳුන්වනු ලබයි. තිත්ත රසයකින් සහ ප්‍රියජනක සුවඳකින් යුත් උළුහාල් වෑංජන සඳහා එක් කර ගැනීමෙනුත් පානයක් ලෙස සකසා භාවිත කිරීමෙනුත් සිරුරට ගුණ ලබාගත හැක.

දියවැඩියා රෝගීන්ට, කොලෙස්ටරෝල් රෝගීන්ට එම රෝග පාලනය කර ගැනීම උළුහාල්වලින් සිදුකරගත හැක. ඉන්සියුලින් ස්‍රාවය කිරීම සඳහා උළුහාල්වලට බලපෑම් කළ හැකි බව මෑතකදී සිදුකළ පර්යේෂණවලින් තහවුරු වී ඇත. රුධිරයේ ඇති අනවශ්‍ය මේදය අඩුකිරීමෙන් කොලෙස්ටරෝල් පාලනයක්ද උළුහාල්වලින් සිදු වේ.

උළුහාල් සහ සුදුළුෑණු තම්බා බීමෙන් වාත රෝග සමනය වන බව අතීතයේ සිටම ගැමියන් දැන සිටි අත්වෙදකමකි. ශරීරයේ ඉදිමුම්, රතුවීම්, වේදනා වැනි ප්‍රදාහ ලක්ෂණත් උළුහාල් අඹරා ගෑමෙන් සුව වේ. කිරි දෙන මවුවරුන්ට ඉතාමත් ගුණ දේ. රූපලාවන්‍යයේදී විශේෂයෙන්ම හිස් හොරි ඉවත් කර ගැනීමටත් උළුහාල් භාවිත කෙරේ.

තුනපහවලට අයත් නැති කුළුබඩු ගුණ

ගම්මිරිස්

කළු ගම්මිරිස්, කොළ ගම්මිරිස්, සුදු ගම්මිරිස් යනුවෙන් ගම්මිරිස් වර්ග රාශියක් වෙළඳපොළේ දක්නට ඇත. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි උෂ්ණ කලාපීය රටවල ගම්මිරිස් වගාව වැඩි වශයෙන් දක්නට ලැබේ.

අතීතයේදී ග්‍රීක ජාතිකයන් ගම්මිරිස් ඇට මුදල් වෙනුවට භාවිත කර ඇති බව පැවසේ.

ගම්මිරිස්වල වටිනා ඖෂධීය ගුණ රැසක් පවතින බව ඒ පිළිබඳව සිදුකළ පර්යේෂණ තහවුරු කොට ඇත. පිළිකා නාශකයක් ලෙසද, ආහාර ජීර්ණය පහසු කරවන්නක් ලෙසද, සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස සුවකිරීමේ ඖෂධයක් ලෙසද, ශරීරයේ බර අඩුකර ගැනීමටද සම පැහැපත් කර ගැනීමට මෙන්ම මානසික අවපීඩනය දුරු කර ගැනීමටද ගම්මිරිස් යොදාගත හැකි බව දේශීය මෙන්ම බටහිර වශයෙන්ද සිදුකර ඇති පර්යේෂණ මගින් තහවුරු වී ඇත. ගම්මිරිස් ප්‍රබල බැක්ටීරියා නාශකයක් ලෙසද සැලකෙන අතර එහි පිළිකා නාශක ගුණයද පවතී. ස්වශන පද්ධතිය ආශ්‍රිත රෝග, සෙම් රෝගවලට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස එය ආයුර්වේදයේදී යොදා ගැනේ.

කුරුඳු

ලොව ඉස්තරම්ම කුරුඳු නිෂ්පාදකයා ශ්‍රී ලංකාවයි. මේ වන විට ලෝක වෙළඳපොළට වැඩි වශයෙන්ම කුරුඳු සපයන රටද ශී්‍ර ලංකාව වේ. වාණිජ කුරුදු ලෙස ලෝකයේ ජනප්‍රිය වී ඇති කුරුඳු වර්ග දෙක වන්නේ සත්‍ය කුරුඳු (Ceylon cinnamon) සහ කැසියා කුරුඳුය (Cassia cinnamon).

ඇමරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් රැසක් විසින් කුරුඳු පිළිබඳ පර්යේෂණ සිදුකොට ඇති අතර ඒ සෑම අවස්ථාවකම කුරුඳු පොත්තේ ගුණ පිළිබඳ නොයෙකුත් වාර්තා නිකුත් කර ඇත. ප්‍රධාන වශයෙන්ම රුධිරගත කොලෙස්ටරෝල්වල ඇති හිතකර කොලෙස්ටරෝල් (HDL) මට්ටම වැඩිකිරීමට කුරුඳුවල අඩංගුව  ඇති සංඝටක සමත් වන බවත් කුරුඳුවල ඇති පොලිපීනෝල් සංයෝගය අයහපත් කොලෙස්ටරෝල් (LDL) රුධිර නාළවල තැන්පත් වීම වැළැක්වීමට කටයුතු කරන බවත් එම පර්යේෂණ තහවුරු කොට ඇත. මීට අමතරව දියවැඩියාව පාලනය කිරීමටත් කුරුඳු ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස භාවිතයට ගත හැකි බවද පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. එහිදී කුරුඳුවල ඇති ඇතැම් සංයෝග මගින් ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය වැඩි කර ඉන්සියුලින් අප්‍රිය කරන සාධක යටපත් කරනු ලබයි.

මේ හේතූන් නිසාම බටහිර රටවල බොහෝ දෙනෙකු අද වන විට තම ආහාර වේල සඳහා යහමින් කුරුඳු එක් කරගැනීමට පෙළඹී සිටී.

ඇතැම් රෝගවලට ගුණ වූ පමණින් මෙවැනි ඖෂධීය ආහාර හිතු මතේ යහමින් ආහාරයට ගතහොත් වකුගඩු, අක්මාව ආදි ශරීරාංගයන්ට හානි සිදුවිය හැකි බවද සිහිතබා ගත යුත්තකි. එනිසා දිනකට කුරුඳු ග්‍රෑම් 2 ක ප්‍රමාණය ඉක්මවා ආහාරයට නොගැනීමට සැලකිලිමත් විය යුතුයි.

අබ

බුද්ධ කාලයේ පටන් අබ භාවිතයට ගෙන ඇති බව කිසාගෝතමී කතාව දෙස බැලීමේදී පෙනී යයි. ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම වගා කෙරෙන අබ ශ්‍රී ලංකාවේද ඇතැම් ප්‍රදේශවල දක්නට ලැබේ. ඇසට පෙනෙන නොපෙනෙන තරම් සියුම් අබ ඇටයේ කාබෝහයිඩ්‍රේට්, සීනි, මේදය, ප්‍රෝටීන, සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම් ආදි පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වේ.

ආහාර රස ගැන්වීමට මෙන්ම අච්චාරු සඳහාද අබ යොදා ගැනේ. තරබාරුව මට්ටු කිරීමට අබ තෙල්වලින් පිසූ ආහාර ගැනීම සුදුසු බව ආයුර්වේද මතයයි. රූපලාවන්‍යයේදී අබ තෙල්වලට හිමිවන්නේ ප්‍රධාන තැනකි. අබ තෙල් ඇඟ ගැල්වීමෙන් සුමුදු දීප්තිමත් සමක් ලබාගත හැකි බව පුරාණ ඉන්දියානු ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වී ඇත. අබ ඇට පමණක් නොව අබ කොළද ආහාරයට ගනී.

අබ ආහාර රුචිය ඇති කරවන අතර වා, සෙම් සමනය කරන ඔසුවක් ලෙස සඳහන් වේ. රුධිරය වඩන ආහාරයක් ලෙසද දැක්විය හැක. එහෙත් අබ මඳක් ඌෂ්ණ ගුණයෙන් යුක්ත වන හෙයින් ඌෂ්ණාධික රෝගවලින් පෙළෙන්නන්ට එතරම් ගුණදායී නොවිය හැක. විශේෂයෙන්ම අම්ල ගතිය සහිත ගැස්ට්‍රයිටීස්, ආමාශගත රෝග, බඩේ දැවිල්ල, වකුගඩු ආබාධ සහිත අය අබ ආහාරයට එක් කර ගැනීමේදී ඉතාමත් මඳ වශයෙන් ගැනීම සුදුසු වේ.

කරදමුංගු, කරාබු නැටි, සාදික්කා, ඉඟුරුපියළි

ආහාර රසවත් කිරීමට විවිධ ආකාරයෙන් යොදාගන්නා ඉහත ද්‍රව්‍ය ඖෂධීය ගුණවලින් අනූන වේ. කරදමුංගු ආහාර රුචිය ඇති කරන අතර මුත්‍රාබාධ සෙම්රෝග ආදියට ගුණ දේ. කරාබුනැටි වේදනා නාශකයක් ලෙස ප්‍රකටය. දත් කැක්කුමට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. පණු රෝගවලදී භාවිතයට ගැනේ. සාදික්කා මගින් මුඛ දුර්ගන්ධය නැති කරයි. සමේ රෝග, පණු රෝග, ප්‍රදාහ තත්ත්ව සමනය කරයි. ඉඟුරුපියළි මුඛ දුර්ගන්ධය වළකන අතර විදුරුමස්, දත් රෝග සඳහා භාවිත කෙරේ. අතීසාරය වැනි රෝගවලදී භාවිතයට ගැනෙන අතර සෙම් රෝග සමනය කිරීමේ ගුණයෙන්ද යුක්තයි.

ඉහත කුළුබඩු වර්ග බුලත් විට සඳහාද බහුලව යොදා ගැනේ. විශේෂයෙන්ම ඉහත සියල්ලෙන්ම මුඛ දුර්ගන්ධය වළකන හෙයින් ඒවා බුලත් විටට එක්කර ගත්තා වන්නටද පුළුවන.

 

ශ්‍රී ලංකාවේ ඇති අප කවුරුත් ආහාරයට එක් කර ගන්නා කුළුබඩු වර්ග තවත් විශාල ප්‍රමාණයක් පවතින අතර ඉදිරි ලිපිවලින් ඒවා පිළිබඳවද තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අදහස් කරමු.

 

සටහන – චමරි අබේසිංහ

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*