මෙලොව ජීවත් වන බොහෝ දෙනෙකු මරණයට දැඩි බියක් දක්වති. ඒ පිළිබඳ සිතීම පවා අකැප යයි සිතති. මරණය කිසිදා අප වෙත නොඑතියි සිතා ජීවත් වන්නෝද බොහෝය. එහෙත් කෙසේ කොහොම අප සිත් රවටාගෙන සිටියත් ‘මරණය’ යන නියතය අප සොයා ඒම වැළැක්විය නොහැක්කකි. එය එකිනෙකා වෙත ළඟා වන අන්දමේ වෙනසක් මිස සෑම අයෙකුම මුහුණ දෙන මරණය එකම ආකාර වේ.

මරණයට අපි කොතරම් බිය වුවත් එය සිහි නොකළත් තදබල රෝග පීඩාවකට ගොදුරු වූ විට හෝ තද සිත් වේදනාවකට ලක් වූ විට, “අනේ මාව මැරිලවත් යන්නෙ නෑනෙ…” , “මේ කරුමෙ විඳින්නෙ නැතිව මට මැරෙන්න ඕනෑ….” යයි අප මුවින් පිටවූ වාරද නැතිවා නොවේ. එහෙත් සිතුණු සිතුණු විට මරණය වෙත අපට ළඟා විය හැකිද?

බොහෝ ආගමික විශ්වාසයන් අනුව නම් ‘පර පණ’ නැසීම මෙන්ම ‘සිය පණ’ නසා ගැනීමත් මහා පාපයකි. ‘පණ මගේනෙ… ඉතිං පවත් මට වුණාම කාටවත් මොකද?’ යි පණ හානි කර ගැනීමට සැරසෙන්නෙකු සිතත හැක. එසේ සිතීමේ අයිතිය ඔබට ඇති බවට තර්කයක් නැති නමුත් එහිදී පරහට හිටින කරුණක්ද ඇත. එය නම් නීතියයි. ලොව බොහෝ රටවල ඇති නීති සංග්‍රහවලට අනුව සිය පණ හානි කර ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. එනිසා පණ නසා ගැනීමට ගොස් නොමැරී බේරුණොත් නීතියෙන් ගැළවී සිටීමට ඔබට නොහැකි වනු ඇත. මේ සියල්ල දෙස බැලීමේදී පෙනී යන්නේ ඔබේ පණට අයිතිවාසිකම් කීම ඔබට පමණක් අයත් දෙයක් නොවන බවයි.

එහෙත් දැන් දැන් සිය පණ හානි කර ගැනීම සඳහා කැමැත්තක් ඇති වුන් වෙත නොයෙකුත් ‘සහන’ සේවාවන් ලොව පුරා ක්‍රියාත්මක වෙමින් පවතී. සිය කැමැත්තෙන් දිවි තොර කර ගැනීම පාපයක් මෙන්ම සදාචාරයට පටහැනි වුවත් නීත්‍යනුකූල ලෙස ක්‍රියාත්මක වන ක්‍රම මෙන්ම කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රමද මේ වෙනුවෙන් ලොව පුරා ක්‍රියාත්මක වේ.

විශේෂයෙන්ම ත්‍රස්තවාදීන් විසින් ගෙන යන මරාගෙන මැරෙන ප්‍රහාරයන් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වන්නන් මෙලෙස සිය පණ හානි කර ගැනීමේ වීර ක්‍රියාවේ (මෙය තනිකරම ම්ලේච්ඡ ක්‍රියාවක් වුවත් ඔවුන් මෙය දකින්නේ වීරත්වයක් මෙනි) යෙදෙන ප්‍රමුඛයන් වී සිටී. එහිදී වෙනස වන්නේ ඔවුන් සමග තවත් පිරිසකගේ දිවි තොර වී යාමය. මෙවන් පුද්ගලයින් කිසිදු ශාරීරික රෝග පීඩාවකින් නොපෙළුනද දැඩි මානසික රෝග ව්‍යාධීන් සහිත වූවන් ලෙස හඳුන්වා දිය හැක. මෙවැනි පුද්ගලයෝ තම තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ සඳහා මෙන්ම පොදු සමාජ ගැටලූ නිසාද මෙවැනි සාපරාධී ක්‍රියාවලට පෙළඹෙති. මොවුන් මෙහෙයවන බලවේග විසින් සිය පණත් සමග තවත් ජීවිත රැසක් හානි කිරීම සඳහා ඔවුන්ගේ මානසික තත්ත්වය සූදානම් කිරීමෙන් මෙවැනි පුද්ගලයින් දරුණු මානසික රෝගීන් බවට පත්වී සිටින්නන් ලෙස හැඳින්විය හැක. එලෙස පණ නසා ගැනීමට සිතන මානසික රෝගියාට එහි වරදක් නොපෙනුණත් කිසිදු රෝ පීඩාවකින් නොපෙළෙන දහසකුත් අනාගත බලාපොරොත්තු සහිතව ජීවිතයට මුහුණ දෙන අහිංසකයන් රැසක්ද මොවුන්ගේ පීඩාකාරී මානසිකත්වයට බිලි වීම සමාව දිය නොහැකි වරදකි.

මීට අමතරව ලොව පුරා තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිය පණ හානි කර ගැනීමට පෙළඹෙන්නේ සම්පූර්ණයෙන්ම තම තමන්ගේ පෞද්ගලික අරමුණු මුදුන්පත් කරගැනීමේදී සිදුවන යම් යම් අතපසු වීම් හා අපහසුතා නිසාය. ආදරය, විරැකියාව, දරිද්‍රතාව, දූදරු ප්‍රශ්න, අඹුසැමි ආරවුල් වැනි මෙකී නොකී දහසකුත් දේවල් නිසා දිනකට දිවි නසාගන්නා පිරිස අපමණය. මෙහිදී දිවි නසාගන්නවුන් පිළිබඳව වන ලෝක දත්ත වාර්තා සටහන්හි ශ්‍රී ලංකාවද ඉහළින්ම සිටින බව කණගාටුවෙන් වුවද පිළිගත යුත්තකි. 

නීත්‍යනුකූල දිවි නසා ගැනීම

එහෙත් ඉහත සියලූම ක්‍රමවලට වඩා සභ්‍ය සියදිවි හානි කර ගැනීමේ ක්‍රමයක් මේ වන විට ලෝකයේ බොහෝ රටවල් විසින් අත්හදා බලමින් සිටී. සිය දිවි හානි කර ගැනීමට කැමැත්තක් දක්වන පුද්ගලයන් හට ඒ සඳහා නීත්‍යනුකූලව ඉඩකඩ ලබාදෙන මෙම ක්‍රමය Physician-assisted suicide ලෙස හැඳින්වේ. නමුත් මෙම ක්‍රමයේදී පෙම් හබ, පවුල් හබ හෝ වෙනත් පෞද්ගලික ගැටලූ ආදිය නිසා දිවි තොර කර ගැනීමේ අයිතිය පුද්ගලයන්ට හිමි නොවේ. මෙම සභ්‍ය මරණ මංචකය ඉල්ලූම් කළ හැක්කේ දරුණු කායික පීඩා සහිත රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට පමණි.

1973 වැනි ඈත කාලයේ සිට වෛද්‍ය සහායෙන් මරණය ලබා ගැනීම සඳහා ඇමරිකානුවන් ඉල්ලූම් කර ඇතත් කතෝලික සභාව ඇතුළු විවිධ ආගමික සංවිධානත්, මානව හිමිකම් සංවිධානත් ඇතැම් වෛද්‍යවරුනුත් දැක්වූ දැඩි විරෝධය මත ඒ සඳහා අනුමැතිය හිමිවී නොමැත.

එහෙත් ඇමරිකාවේ සුප්‍රකට ව්‍යාධිවේදී වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ ජැක් කෙවොර්කින් දරා ඇත්තේ මීට හාත්පසින්ම වෙනස් අදහසකි. මරණය ඉල්ලුම් කරන රෝගීන්ගේ අයිතීන් වෙනුවෙන් ප්‍රසිද්ධියේම පෙනී සිටී කෙවෝර්කින් එකල මාධ්‍ය මගින් හැඳින්වූයේ Dr. Death යන අනවර්ථ නාමයෙනි. ඔහු සෑම විටම පවසා සිටියේ මරණය සාපරාධී වරදක් නොවෙන බවයි. (Dying is not a crime) එපමණකින් නොනැවතුණු ඔහු මරණය ඉල්ලූම් කළ රෝගීන් 130 කට පමණ සාමකාමීව මරණය ළඟා කර ගැනීම සඳහා සහාය දක්වාද ඇත. කෙසේ වුවත් කෙවෝර්කින්ගේ මෙම වෛද්‍ය අළුගෝසු කාර්යභාරය නිමාවට පත්ව ඇත්තේ සිරගෙදරිනි. 1999 වසරේදී මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනුණු අතර මරණයට පත්වීමට සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ රෝගීන්ට ඒ සඳහා සහාය දැක්වීම පිළිබඳව වරදකරු වීම නිසා වසර ගණනාවක සිරදඬුවමකට යටත් කොට තිබුණි. පසුව 2007 වසරේදී ඔහුට නිදහස ලබා දුන්නත් එහිදී කොන්දේසි ගණනාවකට යටත් වී ප්‍රතිඥා ලබා දීමට ඔහුට සිදුවිය. යම් පුද්ගලයකු මරණය කරා යෑමට දිරි ගැන්වීම, ඒ සඳහා අනුබල දීම හෝ ඒ පිළිබඳව කතා කිරීම, එවැනි මරණ සඳහා සහාය දීම ආදි කරුණුවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින බව එම කොන්දේසි අතර විය. කෙවෝර්කින් 2011 වසරේදී වකුගඩු සහ ශ්වසන ආබාධයකට ගොදුරුව මිය ගිය අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 83 ක් විය.

පවතින ක්‍රමයට නීතියට විරුද්ධව කටයුතු කළ එවැනි පුද්ගලයින් නිසා මරණය ඉල්ලු ඇතැම් පිරිස් වෙත එම අවස්ථාව ලැබුණත් ඒවා අතිදුර්ලභ සිදුවීම් විය. එහෙත් බටහිර රටවල විශාල පිරිසක් ස්ව කැමැත්තෙන් මරණය හිමිකර ගැනීම සඳහා කරන ඉල්ලීම් වැඩිවීමත් සමග එම රටවල රජයයන් සහ සෞඛ්‍ය බලධාරීහුද මේ පිළිබඳව සිය අවධානය වැඩියෙන් යොමුකිරීමට පටන් ගති. මෙහිදී මරණාසන්න තත්ත්වයේ හෝ බොහෝ සෙයින් දුක් විඳින තත්ත්වයේ පසුවන රෝගීන් සඳහා පමණක් වෛද්‍යවරයකුගේ අනුදැනුමක් සහිතව මාරක ඖෂධ ශරීරගත කිරීමෙන් මරණය ලබාදීම සාහසික ක්‍රියාවක් නොවන බව ඇතැම් රටවල් විසින් පිළිගෙන තිබුණි.

මෙම තත්ත්වය ලොව පුරා කෙතරම් ආන්දෝලනාත්මක වූයේද යත්, ලෝකයේ රටවල් 15 ක් යොදාගනිමින් Economist අධිකාරිය සහ Ipsos MORI නම් ආයතන විසින් පසුගිය ජූනි මාසයේදී ජනමත විමසුමක්ද පවත්වා තිබුණි. එහිදී වෛද්‍ය සහායකයෙකු මගින් මරණය ලබා ගැනීම නීතිගත කිරීම කෙතෙක් දුරට ප්‍රායෝගික වේදැයි යන්න පිළිබඳව විමසනු ලැබුණි. කැනඩාව, ඕස්ටේ්‍රලියාව, ඛෙල්ජියම, ජර්මනිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, මහා බි්‍රතාන්‍ය, හන්ගේරියාව, ඉතාලිය, ජපානය, නෙදර්ලන්තය, පෝලන්තය, රුසියාව, ස්වීඩනය, ඇමරිකාව යන රටවල් අතර පැවති මෙම ජනතා මත විමසුමේදී රුසියාව සහ පෝලන්තය හැර සෙසු සෑම රටක්ම දරුණු රෝගාබාධවලින් පීඩා විඳින මහලූ වයසේ පසුවන්නන්ට වෛද්‍ය සහායෙන් මරණය ලබාගැනීමේ අයිතිය නීතිගත කොට හිමි කර දිය යුතු බව අනුමත කර තිබුණි.

ඛෙල්ජියම, නෙදර්ලන්තය, කොළොම්බියාව, ලක්ෂම්බර්ග්, ස්විස්ටර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්තයන් (ඔරිගන්, මොන්ටානා, වොෂින්ටන්, වර්මොන්ට්, කැලිෆෝර්නියා) මේ සඳහා ඒ වන විටත් අවසර ලබා දී තිබුණු අතර ස්ව කැමැත්තෙන් මරණය කරා යා හැකි ලෙස නීති සකස් වී ඒවා ප්‍රායෝගිකවද ක්‍රියාත්මක වෙමින්ද පැවතුණි.

ඒ සඳහා හොඳම උදාහරණයකි 2014 නොවැම්බරයේ මිය ගිය 29 හැවිරිදි බි්‍රට්නි මෙනාර්ඩ් නම් ඇමරිකානු තරුණිය. ඇය ‘වෛද්‍ය සහායයෙන් මරණය’ උරුම කර ගැනීම සඳහා සිය පදිංචිය පවා වෙනස් කළ තැනැත්තියකි. උපන් දා සිට කැලිෆොර්නියාවේ ජීවත් වූ බ්‍රිට්නි සිය කැමැත්තෙන් මරණය ලබා ගැනීම සඳහා තෝරාගෙන තිබුණේ ඔරිගන් ප්‍රාන්තයයි. ඒ ඇය ජීවත් වූ කැලිෆෝර්නියාව තුළ ඒ වන විටත් වෛද්‍ය සහායෙන් මරණයට පත්වීම සඳහා අවසර දී නොතිබුණු හෙයිනි. (මේ වන විට කැලිෆොර්නියාව තුළත් එම අයිතිය නීතිගත කොට ඇත) බ්‍රිට්නි ඉතාමත් දරුණු මොළයේ පිළිකා රෝගී තත්ත්වයකින් පීඩාවට පත්ව සිටියාය. ඇයගේ රෝගයේ ස්වභාවය මත ඉතාමත් සුළු කාලයක් පමණක් ජීවත් වන බව වෛද්‍යවරුන්ගේද තීරණය වුවත් ඒ සුළු කාලය හෝ ඉවසා සිටීමට නොහැකි ලෙස එම රෝගයෙන් ඇයව අතිශය පීඩාවට පත් කොට තිබුණි. රෝගය උග්‍ර වීමත් සමග සෑම දිනකම ඇය ප්‍රාර්ථනා කළේ දැඩි ශාරීරික වේදනාවලින් මිදී ඉක්මනින් මරණය වෙත යාමටයි. අතිශය වේදනාකාරී තම ජීවිතය කෙළවර කර ගැනීමෙන් සියල්ල අවසන් වේ යැයි ඇය නිගමනය කිරීමත් සමග ඒ සඳහා සුදුසු ප්‍රදේශයකට යාම හැර ඇයට වෙනත් විසඳුමක් තිබී නොමැත. ඒ අනුව ඔරිගන් ප්‍රාන්තය වෙත ගිය ඇය ඒ සඳහා නීතිමය අවසර ලබාගැනීමෙන් පසු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ඇය පැතූ ගෞරවනීය නිස්කලංක මරණයට ළඟා වී ඇත.

කැනඩාව තුළ නීතිය

කැනඩාව තුළද රෝග පීඩා නිසා දුක් විඳින්නන්ට කැමැත්තෙන් මරණය ලබා ගැනීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු බවට බොහෝ කලෙක සිට සංවිධාන රැසක් පෙන්වා දී තිබුණත් මෙතෙක් කැනඩාවේ කිසිදු ප්‍රාන්තයක නීත්‍යනුකූලව එම අයිතිය ලබා දී නොමැත.

2012 වසරේදී මෙය අධිකරණය වෙත ඉදිරිපත් වූ අවස්ථාවේදී සිය දිවි නසා ගැනීම සාපරාධී සංග්‍රහයේ නීතිරීතිවලට පටහැනි බව විනිශ්චයාසනය පෙන්වා දුනි. එහිදී විනිශ්චයකාරවරිය ලෙස කටයුතු කළ ලින් ස්මිත් පෙන්වා දුන්නේ කැනේඩියානු හිමිකම් සහ නිදහස පිළිබඳ ප්‍රඥප්තියේ (Canadian Charter of Rights and Freedoms) 7 වෙනි සහ 15 වෙනි වගන්තීන් මෙයින් උල්ලංඝනය වන බවත් මෙවැනි නීතියක් සම්මත කර ගැනීමට නම් එම නීති සංශෝධනය කළ යුතු බවත්ය. ඒ අනුව අදාළ නීති සංශෝධනය කිරීම සඳහා මාස 12 ක කාලයක් රජය වෙත ලබාදීමට ඇය කටයුතු කර තිබුණි. ස්මිත් විනිශ්චයකාරවරිය විසින් ගත් මෙම තීරණය පිළිබඳව රජය අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර බහුතරයකගේ කැමැත්ත මත අභියාචනය විභාග කිරීම සඳහා අධිකරණය අවසර ලබා දී තිබුණි. 2014 සිට කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ මෙම අභියාචනා නඩුවෙහි තීන්දුව 2015 පෙබරවාරි 06 වන දින ලබා දී තිබුණි. එහිදී ලබාදුන් තීන්දුව වූයේද වෛද්‍ය සහාය සහිතව මරණය තෝරා ගැනීමට අවසර දීම කැනේඩියානු හිමිකම් සහ නිදහස පිළිබඳ ප්‍රඥප්තියේ 7 සහ 15 වන වගන්ති උල්ලංඝනය කරන හෙයින් අපරාධ නීති සංග්‍රහයේ එම වගන්ති සංශෝධනය කිරීමට මාස 12 ක කාලයක් රජයට ලබාදෙන බවයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුව රජය විසින් අපරාධ නීති සංග්‍රහයේ ඉහත වගන්ති සංශෝධනය කරන්නේ නම් 2016 පෙබරවාරි 06 වන දින සිට Physician-assisted suicide වරප්‍රසාදය කැනේඩියානුවන්ටද හිමි වනු ඇත. 2015 පෙබරවාරි 06 වන දින මේ පිළිබඳව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පවසා සිටියේ කිසිවෙකුගේ සහායයෙන් හෝ තමා විසින්ම සිය දිවි නසා ගැනීම නීතිවිරෝධී වූවත් (කැනේඩියානු නීතියට අනුව යම් පුද්ගලයෙකුට සිය දිවි නසා ගැනීම සඳහා උපදෙස් දීම, අනුබල දීම හෝ ආධාර කිරීම වසර 14 කට අධික සිර දඬුවමකට යටත් කරවිය හැකි අන්දමේ සාපරාධී ක්‍රියාවකි) සුවිශේෂී තත්ත්වයන් යටතේ සිය ජීවිතය අවසන් කර ගැනීම සඳහා පුද්ගලයින්ට අවසර ලබා දීමට තීරණය කළ බවයි. එහිදී එම සුවිශේෂී තත්ත්වයන් සම්බන්ධයෙන් මෙලෙස විස්තර කර ඇත.

  • මරණයට පත් වන තැනැත්තා සිය ජීවිතය අවසන් කර ගැනීමට කැමැත්තක් දැක්වීම
  • බරපතල අසාධ්‍ය රෝගී තත්ත්වයක් ඇති බව සනාථ කළ හැකි වීම (මෙහිදී මෙම රෝගාබාධය කිසිදු ඖෂධයකින් හෝ වෙනත් ආකාරයකින් සුව කළ නොහැකි බව පිළිගත හැකි සාක්ෂි සහිතව ඉදිරිපත් කළ යුතු වේ)
  • රෝගියා යහපත් මානසික තත්ත්වයකින් පසුවීම (ඔහු හෝ ඇය සිහිමඳ, මන්දමානසික හෝ මනස ව්‍යාකූල වූ තත්ත්වයකින් පසු නොවන බව වෛද්‍යවරුන් සහතික කළ යුතුයි)

කැනේඩියානු වෛද්‍යවරුන්ගේ සංගමය

කෙසේ වුවත් මෙම Physician-assisted death law ක්අ පිළිබඳව කැනේඩියානු වෛද්‍යවරුන්ගේ සංගමයේ නම් එතරම් මනාපයක් ඇති බවක් නොපෙනේ. වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික සභාව පසුගිය අගෝස්තුවේ රැස්වූ අවස්ථාවේදීද මේ පිළිබඳව දීර්ඝ වශයෙන් විවාද වී ඇත. එහිදී බොහෝ වෛද්‍යවරුන් පවසා ඇත්තේ මේ සඳහා ඉදිරිපත් වීම තමන්ට ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවයි. තවද තමා සමග කටයුතු කරන රෝගීන් මරණය සඳහා වෙනත් වෛද්‍යවරයකු වෙත යොමු කරවීමද අපහසු කරුණක් බව මෙම වෛද්‍යවරුන්ගේ මතයයි.

සියලූම වෛද්‍යවරුන් බලාපොරොත්තු වන්නේ තමා වෙත රෝගියකු වශයෙන් පැමිණෙන පුද්ගලයෙකු සුවපත් වී යනු දැකීම හෝ එක් දිනක් හෝ වැඩියෙන් ජීවත් වීම මිසක් මරණය කරා යෑමට අනුබල දීම නොවන බවත් එය වෛද්‍යවරයකුගේ කාර්යභාරයක් ලෙස දැකීම කණගාටුවට කරුණක් බවත් වෛද්‍ය සභාවේ අදහසයි. සැබවින්ම මෙය වෛද්‍යවරයකු ලෙස දිවුරුම් දීමේදී ලබාදෙන හිපොක්‍රටීස් නීතියටද පටහැනිව ක්‍රියාකිරීමක් බව ලොව පුරා බොහෝ වෛද්‍යවරුන්ගේද අදහසයි. හිපොක්‍රටීස් දිවුරුමේදී කිසිදු විටෙක රෝගියකු වෙනුවෙන් මාරාන්තික ඖෂධ ලබාගැනීම උපදෙස් දීම හෝ ඒවා අනුමත කිරීම හෝ නොකරන බව පැහැදිලිවම ප්‍රකාශ කරනු ලබයි. “I will give no deadly medicine to anyone if asked, nor suggest any such counsel”

කැනේඩියානු වෛද්‍ය සංගමයේ උප සභාපතිවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණේ, අධිකරණයෙන් ලබා දී ඇති මෙම නීතිය ක්‍රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධයෙන් තම සාමාජිකයින් හට පැහැදිලිතාවක් නොමැති බවයි. ඉහත නීතිය ක්‍රියාත්මක වීමට නම් ෆෙඩරල් ව්‍යවස්ථාවට අනුව මෙන්ම පළාත්බද ව්‍යවස්ථාවන්ට අනුවත් සාපරාධී නීති සංග්‍රහ වෙනස් විය යුතු බව ඔහුගේ අදහසයි. එසේ නොවුණහොත් රට පුරාම මෙම නීතිය එක හා සමානව ක්‍රියාත්මක කළ නොහැකි බව උප සභාපතිවරයා පවසා සිටියි. ව්‍යවස්ථාව වෙනස් කරන පළාත් සඳහා එක නීතියකුත් අනික් පළාත් සඳහා එක නීතියකුත් ක්‍රියාත්මක කිරීමට සිදුවුවහොත් තත්ත්වය ව්‍යාකූල වීම වළක්වා ගැනීමට නොහැකි වන බව ඔහුගේ අදහසයි.

තවද මරණය ඉල්ලූම් කරන්නන් ඉදිරිපත් කළ යුතු බවට තීරණය කර ඇති සුදුසුකම් පිළිබඳවද වෛද්‍ය සංගමය සෑහීමකට පත් වී නොමැති බව ඔහු පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රතිකාර ක්‍රම නොමැතිව අසාධ්‍ය තත්ත්වයෙන් වේදනාකාරීව පසුවන්නන් වෙත මරණය දීම අනුමත කරන බව පවසා ලස්සන පුළුල් වපසරියක් චිත්‍රණය කර ඇතත් එය ඉතාමත් අපහැදිලි බව වෛද්‍ය සංගමයේ මතයයි. මෙහිදී ඉතාමත් අපහසු කාර්යය වන්නේ මරණය ඉල්ලා සිටින රෝගීන්ගෙන් ඒ සඳහා සුදුසු තැනැත්තන් කවුරුන්ද යන්න තෝරා ගැනීමයි.

ලෙඩක් සෑදුණු විට වේදනාකාරී බව සැමට පොදු වුවත් එම රෝගය නිසා අනිවාර්යයෙන්ම අසවල් කාලය තුළ මිය යතැයි නිවැරදිව නිගමනය කළ හැකි ක්‍රමවේදයක් වෛද්‍ය විද්‍යානුකූලව මෙතෙක් සොයාගෙන නොමැත. ඇතැම් විට අසවල් කාලසීමාව තෙක් ජීවත් වනු ඇතැයි පැවසූ රෝගියකු ඊට වඩා දිගු කළක් ජීවත් වීමටද ඇතැමෙකු කිවු කාලයට බොහෝ පෙර මිය යාමටද හැකිය. එහෙත් ඇතැම් රෝග ඉවසා සිටීමට බැරි තරම් පීඩාකාරී වන බවට තර්කයකුදු නැත. එවැනි අයෙකු, තමන් ඉක්මනින් මිය යෑම සැපතක් යැයි සිතීම වරදක් යැයි සිතීමටද නොහැක. ඇත්තෙන්ම මෙවැනි අති සංවේදී අවස්ථාවන්හි ඇති හොඳ නරක යුතු අයුතු කම් වාද විවාද තර්ක විතර්කවලින් ඔප්පු කිරීම කිසි විටෙකත් කළ නොහැක්කකි.

කරුණු කෙසේ වුවත් කැනඩාවේ බහුතරයකගේ මතය වී ඇත්තේ Physician-assisted death නීතිය බලාත්මක කළ යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධනයන් වහා ගෙනවිත් මරණය වැළඳ ගැනීමට සිටින්නන් සඳහා ගෞරවනීයව වේදනාවෙන් තොරව මරණයක් ලබා ගැනීමට උපකාරී වන ලෙස නොයෙකුත් සංවිධාන රජයට මේ වන විට බල කරමින් සිටී.

සටහන චමරි අබේසිංහ

Share this Post