October 22, 2017

සැත්කමකට ඔබ සූදානම්ද….?

රජෙකු වුණත් ගිලන් වෙලා

එක්තැන් වූ දා 

හිතනවාට සැකයක් නෑ

නිරෝගි කම හැර සැපයක් ලොවේ කොයින්දා….

යන්න කෙතරම් නම් සත්‍යයක්දැයි වැටහෙන්නේ කුමන ආකාරයක හෝ අසනීපයක් සෑදුණු විට පමණි. එය හෙම්බිරිස්සාවක් වුවත් ඊට වැඩි දරුණු රෝගී තත්ත්වයක් වුවත් එහි අමාරුව දන්නේ එය විඳින්නාම පමණි. මේ ආකාරයෙන් අපට වැළෙඳන රෝගාබාධ හෝ සිදුවන හදිසි අනතුරු නිසා ඇතිවන ඇතැම් සංකුලතාවන් සුවපත් කර ගැනීම සඳහා ශල්‍යකර්ම කරා යා යුතු අවස්ථාද නැත්තේ නොවෙයි.

“ශල්‍යකර්මයක් සිදුකිරීමට ඇත” යන්න වෛද්‍යවරයකු විසින් පැවසූ සැණින් කළ යුතු ශල්‍යකර්මයේ තරාතිරම කුමක් වුවත් අප කා තුළත් හටගන්නේ භීතියකි. ඒ ශල්‍යකර්මයක් යනු අපගේ සිරුරෙහි බාහිර හෝ අභ්‍යන්තර කුමන හෝ ස්ථානයක් කපා කොටා සිදුකරන්නක් බව අප දන්නා හෙයිනි.

එහෙත් ශල්‍යකර්මයන්ට අප කොපමණ බිය වුවත් ශල්‍යකර්ම නොකරම බැරි අවස්ථාද අපට උදා වේ. දරු ප්‍රසූතියක් යනු එවැනි අප කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනිවාර්යයෙන්ම ශල්‍යකර්මයකට මුහුණ දිය යුතු අවස්ථාවකි. මීට අමතරව පිළිකා, හෘද රෝග හෝ වෙනත් එවැනි බරපතල රෝගී අවස්ථාවලදීද බොහෝ විට ශල්‍යකර්මයන්ට මුහුණ දීමට අපට සිදුවේ.

මෙවැනි අවස්ථාවලදී මානසිකව ඇද නොවැටී ශක්තිමත්ව ශල්‍යකර්මයට මුහුණ දීමට අප කටයුතු කළයුතු ආකාරය සහ ඊට සූදානම් විය යුතු ආකාරය පිළිබඳව මෙම ලිපියෙන් ඔබව දැනුවත් කිරීමට අපි අදහස් කළෙමු.

බිය සැක

fffකිසියම් රෝගාබාධයක් නිසා රෝගියකුට සැත්කමක් කිරීමට අවශ්‍ය බව තීරණය කිරීමෙන් පසු වෛද්‍යවරයා විසින් ඒ පිළිබඳව සියලූ තතු රෝගියා වෙත පැහැදිලි කිරීම කැනඩාව ඇතුළු බොහෝ බටහිර රටවල පිළිවෙතයි. නමුත් මෙම තත්ත්වය ශ්‍රී ලංකාව තුළදී ඇතැම් විට වෙනස් වන අතර එහිදී රෝගියා වෙත සිදුකළ යුතු සැත්කම සහ එයින් රෝගියාට සිදුවිය හැකි අතුරු ප්‍රතිඵල පිළිබඳ තොරතුරු කතාබස් කිරීම රෝගියාගේ කිට්ටුමතමයකු හා සිදු කෙරේ. මෙම ක්‍රම දෙකෙහි හොඳ නරක සංසංදනය කිරීම තරමක් අපහසු කරුණක් වන අතර එය තනිකරම පුද්ගල තත්ත්වයන් මත තීරණය කළ යුත්තක් වේ. කෙසේ වුවත් තම රෝගය පිළිබඳ සැබෑ තතු රෝගියා විසින් දැන සිටීමත් ඒ සඳහා සිදුකරන ප්‍රතිකාර පිළිබඳ දැනුවත්ව සිටීමත් වැදගත් බව නම් කිව යුතුව ඇත.

සිදුකරන සැත්කම පිළිබඳව රෝගියා දැනුවත් කිරීමේදී පළපුරුදු වෛද්‍යවරයකුගේ පළමු කාර්යය විය යුත්තේ සැත්කම කෙරෙහි රෝගියා තුළ ඇතිවන බිය සැක දුරු කරලීම සඳහා සැත්කමේ තරාතිරම පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීමයි. එහිදී වෛද්‍යවරයා ඒ පිළිබඳ වැඩි තොරතුරු හෙළිදරව් නොකරයි නම් සැත්කමට යොමුවන තැනැත්තාගේ සිතෙහි ඇති ගැටලූ සියල්ල වෛද්‍යවරයා වෙත යොමු කිරීම තුළින් රෝගියා තුළ ඇති සැක සංකා දුරු කර ගැනීම සුදුසු වේ. එමගින් සැත්කම පිළිබඳ කිසියම් හෝ බියක් ඇති වී තිබුණේ නම් එයින් අත්මිදී නිදහස් මනසකින් යුතුව සැත්කමට මුහුණ දීමේ යම්තාක් හෝ ශක්තියක් රෝගියාට ලබාගත හැකි වනු ඇත.

පෙර සූදානම

සැත්කමක් සිදු කිරීමට කලින් ඒ සඳහා රෝගියාව පෙර සූදානමක් කිරීම සෑම විටම සිදු කෙරේ. එහිදී හදිසි අනතුරකදී සිදුකෙරෙන හදිසි ශල්‍යකර්මයකදී හැර අනෙකුත් සෑම ශල්‍යකර්මයකදීම රෝගියා පැය හයක කාලයක් නිරාහාරව තැබීම සිදුකරනු ලැබේ. මෙම නිරාහාරව තැබීම ඇතැම් වෛද්‍ය පරීක්ෂණවලදීද සිදුකරනු ලබන ක්‍රියාවකි. සැබවින්ම ශල්‍යකර්මයකට පෙර මෙලෙස නිරාහාරව තබන්නේ ඇයි? සැත්කමකදී රෝගියකු නිර්වින්දනය කරනු ලබන අතර එලෙස නිර්වින්දය කිරීමෙන් පසු රෝගියකුගේ බඩවැල් නිසි පරිදි ක්‍රියා නොකිරීම නිසා මෙලෙස පැය හයක් නිරාහාර වන ලෙස උපදෙස් දෙනු ලබයි. සිහි නැති කිරීම සඳහා භාවිත කරන ඖෂධ හා විවිධ ක්‍රමවේදයන් නිසා බඩවැල්වල ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදු නොවේ. එම ඖෂධ හා ක්‍රම නිසා බඩවැල් පිම්බීමකට ලක්විය හැකි අතර එවැනි විටක සිහිසුන් රෝගියාගේ කුස තුළ ආහාර හෝ දියරමය ද්‍රව්‍ය පිරී පැවතුනහොත් ඒවා වමනය යාමේ තත්ත්වයකට පැමිණිය හැක. එසේ වුවහොත් ඒවා පෙණහලු තුළට යාමෙන් නියුමෝනියා වැනි මාරාන්තික තත්ත්වයකට වුවත් රෝගියකු ගොදුරු විය හැක.

මේ නිසා රෝහල්ගතව සිට සැත්කමට මුහුණ දෙන්නන් පමණක් නොව එක්දින සැත්කම් (day surgery) සඳහා නිවසේ සිට යන්නන්ද සැත්කමට යොමුවීමට පෙර පැය හයක කාලයක් නිරාහාරව සිට යාම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් වේ. විශේෂයෙන්ම ඝන ආහාර නොගැනීමට තරයේ කටයුතු කළ යුතු අතර ආහාරයක් නොමැතිව සිටීමට අපහසුම අයෙකු නම් උකු නැති දියර ආහාර, පළතුරු යුෂ ආදිය ඉතාමත් ස්වල්පයක් පමණක් ගැනීම සිදුකිරීමට සිහි තබා ගත යුතු වේ. මෙයද සැත්කම කිරීමට පැය 2 කට පෙර සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කළ යුතු වේ.

කුඩා දරුවන් සම්බන්ධයෙන්ද මෙම තත්ත්වය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම සුදුසු වන අතර කිරි හා ඝන ආහාර දීමෙන් වැළකී සිටීම සුදුසු වේ. එහෙත් මව්කිරි බොන ළදරුවන් සැත්කම්වලට භාජන කිරීමේදී නිරාහාරව සිටිය යුතු කාලය පැය 4 ක් ලෙස දක්වා ඇත. සැත්කම්වලට භාජන වන මේ සෑම වයස් කාණ්ඩයකම පිරිස් සැත්කමට පැය 2 කට පෙර සියලූම පාන වර්ගද නවතා දැමීමට කටයුතු කළ යුතු වේ.

එමෙන්ම ඇතැම් ශල්‍යකර්මයන්හි ස්වභාවය අනුව නිරාහාරව සිටිය යුතු කාලය වෙනස් වනු ලබයි. බඩවැල් ආශ්‍රිත ශල්‍යකර්මයකට යොමු කරනු ලබන රෝගීන් සැත්කමට පෙර පැය 8 ක් හෝ ඊට වැඩි කාලයක් නිරාහාරව සිටිය යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කළ හැකියි. මේ කුමන ආකාරයේ වුවත් වෛද්‍යවරුන් විසින් සැත්කමට පෙර දෙනු ලබන වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැදීමට රෝගියා කටයුතු කළ යුතුයි. එසේ නොමැති වුවහොත් ඇතැම් විට සැත්කම පමා කිරීමට හෝ වස්ති ආදිය ලබා දීම මගින් ආමාශය හිස් කිරීමට වෛද්‍යවරුන්ට සිදුවිය හැක.

සැත්කමකට සූදානම් වන සෑම රෝගියකු තුළම යම් බියක් පැවතීම සාමාන්‍ය තත්ත්වයක් වුවත් ඇතැම් අය මේ සම්බන්ධයෙන් දැඩි ආකූල ව්‍යාකූල හා කලබල ස්වභාවයක් දක්වනු ලබයි. මෙහිදී වෛද්‍යවරුන් විසින් මෙම තත්ත්වය හඳුනාගත යුතු අතර තමන් සැත්කම පිළිබඳ දැඩි වික්ෂිප්ත භාවයකින් පසුවන බව වෛද්‍යවරයාට දැන්වීමට රෝගියාද වගබලා ගත යුතුයි. එහිදී යම් ඖෂධ භාවිතය තුළින් රෝගියා සංසුන් කර එම තත්ත්වය පාලනය කිරීමට වෛද්‍යවරුන් කටයුතු කරනු ඇත. බොහෝ විට මෙහිදී නියම කරනු ලබන්නේ සුව නින්දක් ලැබිය හැකි ඖෂධ වර්ගයකි. එලෙස සුවදායි නින්දකින් පසු බොහෝ දුරට රෝගියාගේ මනස සංසුන් වී පැවතිය හැකි අතර නිරවුල් මනසකින් යුතුව සැත්කමට මුහුණ දීමට රෝගියාට හැකිවනු ඇත.

ඒ වගේම සැත්කම්වලට භාජන වන ඇතැම් රෝගීන් විවිධ වූ රෝගයන් සඳහා ක්‍රමානුකූලව දිනපතා ඖෂධ භාවිත කරන්නන් විය හැකියි. මෙහිදී ඔබ එලෙස භාවිත කරන ඇතැම් ඖෂධයන්හි මාත්‍රාව අඩු කිරීමට හෝ තාවකාලිකව සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ඔබගේ වෛද්‍යවරයා නිර්දේශ කළ හැක. උපත් පාලන පෙති හා ලේ කැටි ගැසීම සඳහා භාවිත කරනු ලබන පෙති වර්ග මෙලෙස ශල්‍යකර්මයට මුහුණ දීමට සතියකට හෝ මාසයකට පමණ පෙර නවත්වා දැමීමට වෛද්‍යවරයා තීරණය කළ හැකි ඖෂධ ලෙස දැක්විය හැක. එය සිදුකරන සැත්කමෙහි ආකාරය සහ ඒ ඒ ඖෂධයන්හි ආකාරය අනුව වෛද්‍යවරුන් විසින් තීරණය කරනු ලබයි. මේ නිසා ඔබ ලබාගන්නා උපත් පාලන පෙත්තේ සිට සියලූම ඖෂධ වර්ග පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කර තිබීම ඉතාමත් වැදගත් වේ. මෙහිදී කිසි සේත්ම නැවැත්විය නොහැකි ඖෂධයන්ද ඇතැම් රෝගීන් විසින් ගනු ලබයි. අධි රුධිර පීඩනය, දියවැඩියාව, ඇදුම වැනි රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයින් විසින් ලබාගන්නා ඛෙහෙත් වර්ග එලෙස සැත්කම දක්වාම නොනවත්වාම ගත යුතු ඖෂධ අතර වෙයි. ඇතැම් දියවැඩියා රෝගීන් සඳහා සැත්කමට පෙර දියවැඩියාව වඩාත් හොඳින් පාලනය කිරීම සඳහා ඉන්සියුලින් එන්නත ලබාදීමටද වෛද්‍යවරුන් කටයුතු කළ හැක.

uu7නිර්වින්දනය

සැත්කම් සිදුකිරීමේදී රෝගියකු තාවකාලිකව නිර්වින්දනයකට ලක් කිරීම සාමාන්‍ය තත්ත්වයකි. එලෙස නිර්වින්දනය කරන්නේ ඇයි? ශල්‍යකර්මයකදී සිහි නැති කිරීම තුළින් සැත්කම අතරදී වේදනාවකින් තොරව එය සිදුකිරීම ප්‍රධාන වුවත් ශල්‍යකර්මයට අත්‍යවශ්‍ය සාධක කීපයක්ද නිර්වින්දය කිරීමෙන් බලාපොරොත්තු වේ. ඒ අතර ශල්‍යකර්මය සිදුකිරීම සඳහා මාංශ පේශි ලිහිල් කිරීම, රෝගියාට සැත්කම අතරතුරදී ඇතිවන හදිසි තත්ත්වයන් (උදාහරණ ලෙස කැස්ස, කිඹුහුම් යාම වැනි) වළක්වා ගැනීමත්, රෝගියා දැඟලීම, කලබල කිරීම කිසියම් වේලාවකට නවතා දමා සැත්කම සාර්ථකව නිම කර ගැනීමත් ආදිය ප්‍රධාන වේ.

නිර්වින්දනය කිරීම රෝගය හා කරනු ලබන ශල්‍යකර්මය අනුවත් පුද්ගලයා අනුවත් වෙනස් වේ. එමෙන්ම නිර්වින්දනය කිරීමේ කාල සීමාවන්ද ඒ ඒ සැත්කම අනුව වෙනස් වේ. විනාඩි කිහිපයක සිට දිනක්, දින එකහමාරක් දක්වාත් ඇතැම් නිර්වින්ද කාල සීමාවන් නිර්ණය කරනු ලැබේ.

මෙහිදී නිර්වින්දය සිදුකරන ආකාරය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කර ඇත.

  • සම්පූර්ණ නිර්වින්දනය – General anesthesia
  • එක් ප්‍රදේශයක් පමණක් නිර්වින්දනය – Regional Anesthesia
  • සැත්කම සිදුකරන ස්ථානයේ පමණක් සිදුකරන නිර්වින්දනය – Local anesthesia

මෙම ආකාර තුන සරලව විස්තර කළහොත් සම්පූර්ණ නිර්වින්දනයේදී රෝගියකුගේ සම්පූර්ණ සිරුරම සිහි නැති කරනු ලබයි. යම් බරපතල රෝගී තත්ත්වයකදී හෝ කාලය වැඩියෙන් වැය වන සැත්කමකදී රෝගියා මෙලෙස තාවකාලිකව සම්පූර්ණ නිර්වින්දනයකට ලක් කරනු ලබයි. මෙහිදී රෝගියාගේ හුස්ම ගැනීම පවා කෘත්‍රිමව සිදුකෙරෙයි.

සිරුරේ කොටසක් පමණක් නිර්වින්දනය කිරීම යනුවෙන් අදහස් කරන්නේ සැත්කමට ලක් කරන ප්‍රදේශය ඇතුළත් කොටස පමණක් නිර්වින්දනයට ලක් කිරීමයි. උදාහරණයක් ලෙස උදරයෙන් පහළ කොටසේ සිදුකරන සැත්කමකදී නම් එම කොටස පමණක් නිර්වින්දනය කරනු ලබයි.

සැත්කම සිදුකරන ස්ථානයේ පමණක් කරනු ලබන නිර්වින්දනය සුළු සැත්කම්වලදී කරනු ලබයි. මෙහිදී විනාඩි කිහිපයක් ඇතුලත සැත්කම සිදුකර අවසන් කරන අතර සැත්කම සිදුකරන ස්ථානය පමණක් නිර්වින්දනගත කරනු ලැබේ. මෙය හිරිවැට්ටීම යනුවෙන්ද ඇතැම් අවස්ථාවලදී හඳුන්වනු ලබයි.

නිර්වින්දනය කිරීම සඳහා විශේෂයෙන්ම පුහුණුව ලත් වෛද්‍යවරුන් සිටින අතර ඔවුන් එම කාර්යය සඳහාම විශේෂඥ පුහුණුව ලැබූ පිරිසක් වේ. එම නිසා සැත්කමකට පෙර නිර්වින්දය ලබා ගැනීමේදී එම කාර්යය පිළිබඳ රෝගීන් තුළ අනියත බියක් ඇති කර ගත යුතු නැත. ඇතැම් අය සිහි නැති කිරීමෙන් පසු නැවත සිහිය නොලැබේවි යයි බියකින් පෙළෙතත් නිර්වින්දන වෛද්‍යවරයා සහ ශල්‍ය වෛද්‍යවරයා විසින් ඔබට දෙනු ලබන උපදෙස් නිසි ආකාරයෙන් පිළිපැද්දේ නම් එය කිසි සේත් බියක් ඇතිකර ගත යුත්තක් නොවන බව කිව යුතුය.

සෑම නිර්වින්දනයක්ම ශල්‍යකර්මයක් සිදුකර අවසන් වනතුරු පමණක් පිහිටන ලෙස සිදුකරනු ලබන තාවකාලික ඒවා වේ. වෛද්‍යවරුන් විසින් ඉතාම ක්‍රමානුකූලව සිදුකරනු ලබන මෙම ක්‍රියා පටිපාටිය සඳහා රෝගියාගෙන් ඉටුවිය යුතු කාර්යභාරය ඉතාමත් වැදගත් වේ. මෙහිදී නිසි ලෙස ඉතාමත් ආරක්ෂිතව රෝගියා නිර්වින්දය කිරීම සඳහා නිර්වින්දන වෛද්‍යවරයා විසින් රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ දැනුවත්ව සිටිය යුතුයි. දිවැඩියාව, අධිරුධිර පීඩනය, ඇදුම, අසාත්මිකතා ආදි රෝගී තත්ත්වයන් හෝ වෙනත් රෝගී තත්ත්වයන් ඔබ වෙත ඇත්නම් ඒවා පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කළ යුතුයි. එහිදී එම රෝගියාට සුදුසු නිර්වින්දන ක්‍රමය හා භාවිත කරන ඖෂධ වර්ග පිළබඳ නිවැරදි තීරණයක් ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වේ. මෙහිදී කලක් පවතින හා පැවති රෝග ගැන මෙන්ම ශල්‍යකර්මයට යොමුවන වර්තමාන රෝගී තත්ත්වය කෙරෙහිත් නිර්වින්දන වෛද්‍යවරයාගේ අවධානය යොමු වේ.

එහිදී රෝගීයාව පූර්ණ පරීක්ෂාවකට ලක් කර හදවතේ ක්‍රියාකාරිත්වය, පෙණහලූ තුළ ඔක්සිජන් තත්ත්වය, රුධිරගත සීනි ප්‍රමාණය, කොලෙස්ටරෝල් ප්‍රමාණය, වයස ආදිය පරීක්ෂා කොට රෝගියා සිහි නැති කිරීමට සුදුසු තත්ත්වයක ඇත්දැයි නිර්ණය කරනු ලැබේ. ඊට අමතරව රුධිර පරීක්ෂාවක් මගින් රුධිරයේ ලවණ තත්ත්වය මැන බැලීමත් ඊ.සී.ජී. පරීක්ෂාවකින් රෝගියාගේ හදවතේ තත්ත්වයන් මැන බැලීමත් සිදුකරනු ලැබේ. විශේෂයෙන්ම හෘදයාබාධයන්ගෙන් පෙළෙන පුද්ගලයන් නිර්වින්දනය කිරීමේදී වැඩි අවධානයක් යොමු කරනු ලැබේ.

මේ සියල්ල සිදුකෙරෙතත් රෝගියාගේ කැමැත්ත නොමැති නම් කිසි විටෙකත් එම තැනැත්තා නිර්වින්දනය කරනු නොලැබේ. මෙහිදී රෝගියා කැමැත්ත ලබාදීමට තරම් සුවපත් තත්ත්වයක හෝ මානසික මට්ටමක නොසිටින්නේ නම් නිර්වින්දනය කිරීමට පෙර ඔවුන්ගේ සමීපතම ඥාතියකු හෝ එසේ සමීපතමයකු බව පිළිගත හැකි අයකු විසින් මෙම පුද්ගලයාව නිර්වින්දන කිරීමට හා සැත්කමට අවසර දෙන බවට වූ සහතිකයක් ලබා දීම අනිවාර්යය වේ.

 

සටහන – චමරි අබේසිංහ

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*