August 23, 2017

මේ වෙනස ඔබටත් දැනුණාද?

දෙසැම්බර් 21 හෝ 22 යන දින දෙකෙන් එකක ආරම්භ වී මාර්තු මැද භාගය තෙක් පවතින ශීත ඍතුව වසරේ අභියෝගාත්මකම කාලය බව කැනඩාවේ වෙසෙන කවුරුත් අත්දැකීමෙන්ම දන්නා කරුණකිග ශ්වේත වර්ණයෙන් බබළන හිම දැකීම සතුටට කරුණක් වුවත් ඒ සමගම පැමිණෙන ඇටමිඳුළු කකියවන ශීතල දරා ගැනීම නම් තරමක් අපහසු වූවකි. ඇතැම් දිනවලදී කඩා වැටෙන හිම පතනයන් හිම කුණාටු දක්වා වර්ධනය වුවහොත් තත්ත්වය තවත් දරුණු අතට හැරේ. හිම වැටුණත්, කුණාටු ආවත් රැකියාවලට යාම අනිවාර්යයෙන් කළ යුතු නිසා හිමෙන් පිරී අනතුරුදායකව පවතින මාර්ගයන්හි ගමන් කිරීමට සිදුවීමද බියකරු අත්දැකීමකි. මෝටර් රථයකින් ගියත් පයින් ගියත් එම අනතුරෙන් මිදී ආරක්ෂිතව යාමට ගත යුත්තේ මහත් පරීශ්‍රමයකි. ටයර් ලිස්සා යාමෙන් වාහන එකිනෙක ගැටීම මෙන්ම පය ලිස්සා යාමෙන් මහ මග ඇද වැටී අනතුරට පත්වීමද මෙකල ඉතාමත් සුලභ දසුන් වේ.

ශීත කබාල උණුසුම් ඇඳුම් ඉහින් කනින් පොරවාගෙන, දනිස් උසට බූට්ස් සපත්තු දමාගෙන, අත්වැසුම් පැළඳගෙන විඳින හිරිහැරයේද නිමක් නොමැත. මේ වාර්ෂික සුඛ දුක්ඛය විඳින බොහෝ දෙනෙකුට අපේ සුන්දර මවුරට නිතැතින්ම මතක් වෙනවාටද සැකයක් නැත.

මෙලෙස වසරින් වසර ශීතල, අලංකාරය, ත්‍රාසය, භීතිය රැගෙන පැමිණෙන ශීත සමය මේ වන විට ඇරඹී ඇත. පෙර වසරවලදී මෙන් දරුණු හිරිහැරයක්, පීඩාවක් මේ වන තෙක් ශීත ඍතුව කැනඩාවේ අපට ගෙන නොදුන් බව සතුටෙන් සැනසුමෙන් යුතුව මෙවර අපට පැවසිය හැක.

එහෙත් ‘අපිට ශීතල අඩුයි. ඒ නිසා අපි සුවෙන්’ යන ආත්මාර්ථකාමි උද්දාමය ලොවේ පැවැත්මට කෙලෙස බලපා ඇත්දැයි යන්නත් මේ අසාමාන්‍ය ඍතු විපර්යාසයට හේතුව කවරේද යන්නත් සොයා බැලීම වටී.

සමකාසන්න නිවර්තන කලාපීය රටවලින් පැමිණ මෙහි මුල් බැස ගැනීමට තැත් කරන අප වැනි පිරිස් ශීත ඍතුව ප්‍රතික්ෂේප කළත් ශීත කාලයක් සහිත කැනඩාවක් යනු උතුරුදිග ආක්ටික් කලාපයට සම්පතකි.

කැනඩාවේ මෙවර දක්නට ලැඛෙන ශීත දේශගුණයේ වෙනස පිළිබඳ කාලගුණ විද්‍යාඥයින්ද අනතුරු අඟවා ඇති අතර මේ වසරේ ජනවාරි අග වන විටත් පවතින මෙම අසාමාන්‍ය උණුසුම් ශීත කාලය පිළිබඳ විවිධ අදහස් ඔවහු පළ කරමින් සිටිති.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති කාලගුණ විද්‍යා වෙබ් අඩවියක් පවසා ඇත්තේ, 2015-16 ශීත ඍතුව කැනඩාවේ උෂ්ණාධිකම ශීත ඍතුව (warmest winter) බවට මේ වන විට වාර්තා වී ඇති බවයි. මෙම තත්ත්වය සමස්ත කැනඩාව පුරාම දක්නට ලැඛෙන්නක් බවත් දක්වා ඇති එම වෙබ් අඩවිය ඉතිරිව ඇති මාස කීපයද මේ ආකාරයෙන්ම දරුණු ශීතලක් නොමැතිව ගත වී යා හැකි බව පවසා සිටියි.

දේශගුණ වෙනස හා එල් නිනෝ

මෙම දේශගුණ විපර්යාසය පිළිබඳ අදහස් දක්වන පරිසර විශේෂඥයින් පවසා ඇත්තේ මෙය එල්-නිනෝ (El Nino) තත්ත්වයෙහි බලපෑම නිසා සිදුවූ දෙයක් බවය. දේශගුණික තත්ත්වයක් උඩුයටිකුරු කිරීම සඳහා මෙතරම් බලපෑම් ඇති කරන එල් නිනෝ ක්‍රියාවලිය යනු කුමක්ද?

එල් නිනෝ තත්ත්වයක් යන්න සරලවම විස්තර කළහොත් ‘සාමාන්‍ය ප්‍රමාණයට වඩා සාගර ජලයෙහි උෂ්ණත්වය ඉහළ යාම’ බව කිව හැකියි. එහෙත් මෙය සාගරය පුරා සිදුවන ක්‍රියාවලියක් නොවේග ශාන්තිකර සාගරයේ (Pacific ocean) දකුණු ඇමරිකාවට අයත් රටක් වන පේරු ආශ්‍රිත මුහුදු තීරයේ වසර දෙකත් අටත් අතර කාල පරාසවලදී ඇතිවන මෙම සංසිද්ධිය අද වන විට ලොවටම බලපෑම් එල්ල කරන කාලගුණ විපර්යාස මැවීමට සමත් වී ඇත. සාමාන්‍යයෙන් නත්තල් සමය ආසන්න කාලයේදී පේරු මුහුදු කලාපයේ හටගන්නා මෙම අසාමාන්‍ය උණුසුම් ජල තීරය අවුරුදු සිය ගණනකට වඩා කාලයක සිට ඇති වන්නක් බව අතීතයේ එම සාගර කලාපයේ යාත්‍රා කළ නාවිකයන් තම අත්දැකීම් පිළිබඳ තබා ඇති සටහන් දෙස බැලීමේදී පෙනී යයි. ස්පාඤ්ඤ බසින් ‘එල්-නිනෝ’ යනු ‘ක්‍රිස්තු දරුවා’ යන්නයි. මෙම උණුසුම් ජල ප්‍රවාහය එල් නිනෝ යනුවෙන් හැඳින්වීමට දකුණු ඇමරිකානු පේරු වාසීන් කටයුතු කර ඇත්තේ එය නත්තල් සමය ආශ්‍රිතව හටගන්නා බැවින් විය හැකිය.

එල් නිනෝ තත්ත්වයක් ඇතිවීම කෙරෙහි මූලිකම බලපෑම් එල්ල කරන සාධක අතර සුළඟට සහ ජලයට ප්‍රධාන තැනක් හිමි වේග වෝකර් චක්‍රය (walker circulation)  නමින් හඳුන්වන අතිවිශාල චක්‍රීය ක්‍රියාදාමය පිළිබඳව හැදෑරීම මගින් මෙම සාගර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යෑම පිළිබඳව වටහා ගත හැක. නිවර්තන පැසිෆික් සාගරයේ බටහිරින් පිහිටි ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව ආශ්‍රිත කලාපයෙන් මෙම වෝකර් චක්‍රය ආරම්භ වේ. මෙය ඉතා පුළුල් ප්‍රදේශයක් ආවරණය කරමින් නැගෙනහිර පැසිෆික් කලාපයේ පිහිටි දකුණු ඇමරිකානු කලාපය දක්වා වායුගෝලයෙහි ක්‍රියාත්මක වේග මෙය ආරම්භ වන්නේ ඉන්දුනීසියාව හා ඕස්ට්‍රේලියාව අසළ මුහුද මතුපිට ජලය හිරු රශ්මියෙන් උණුසුම් වීමෙන් ඇතිවන ජල වාෂ්ප ඉහළ යෑමත් සමගිනි. සාමාන්‍යයෙන් පැසිපික් සමුද්‍ර තලයේ උෂ්ණත්ව රටාව විය යුත්තේ ඉන්දුනීසියාවට යාබද බස්නාහිර කොටස තරමක උණුසුමකින් හා දකුණු ඇමරිකාවේ පේරු ආශ්‍රිතව පැසිෆික් සමුද්‍රයේ නැඟෙනහිර කොටස සිසිල්ව පැවතීමයි. මෙම තත්ත්වය වෙනස් වෙමින් නැගෙනහිර පැසිෆික් සාගරයේ උෂ්ණත්වය මාස පහකට අධික කාලයක් එක දිගට උණුසුම්ව පවතිමින් එය සෙල්සියස් අංශක දශම පහට වැඩි තත්ත්වයක පැවතුනහොත් එල්නිනෝ තත්ත්වයක් ඇතිවිය හැකි බව කියවේ. මෙය වසර කීපයකට වරක් පැසිෆික් ජල තරංගවල සිදුවන සාමාන්‍ය සංසිද්ධියක් ලෙස සැලකෙන අතර බොහෝ වසරවල එල්නිනෝ ලොවට දැඩි බලපෑමක් එල්ල නොකරම එම ක්‍රියාවලියේ නිරත වෙයි. එහෙත් පේරු ආශ්‍රිත පැසිෆික් කලාපයේ මුහුද අධික උණුසුමකින් යුක්ත වීමෙන් ලොවට බලපාන දැඩි එල්නිනෝ තත්ත්වයන් ඇති වීමද සිදුවේ.

එල් නිනෝ තත්ත්වය දැඩිව හටගැනීමෙන් ඈත එපිට රටවල පවා කාලගුණික හා දේශගුණික රටාවන් වෙනස් වී යාම සිදුවේ. ඒ අනුව නියඟ, ගංවතුර, සුළිකුණාටු සහ ශීත දේශගුණයේද වෙනස් වූ ආකාරයන් ගෙන ඒමට එල් නිනෝ සමත් වේ. 1997-98 එල් නිනෝ බලපෑම වඩාත් දරුණු ලෙස ලෝකයට දැනුණු වසර ලෙස සැලකෙන අතර ලෝක වනසත්ව අරමුදල විසින් එය හැඳින්වූයේ ‘ලොව ගිනිගත් වසර’ (The year the world caught fire)   නමිනි. එම කාලයේදී ලෝකයේ ප්‍රදේශ රැසක ලැව්ගිනි හටගත් අතර දැඩි නියඟය පෘථීවියෙන් වැඩි කොටසක් වෙළා ගනු ලැබුණි.

එල් නිනෝ බලපෑම ඉතාමත් ප්‍රබලව බලපාන වසරක් ලෙස 2016 වසර හැඳින්වෙන අතර එයින් ලොව ඇතැම් ප්‍රදේශවලට දැඩි නියං තත්ත්වයන් මෙන්ම තවත් ප්‍රදේශවලට මහා ජල ගැලීම්ද ඇතිවිය හැකි බව නාසා ආයතනයේ විද්‍යාඥයින් පසුගියදා පෙන්වා දී තිබුණි. ඒ පිළිබඳව අදහස් දක්වන එම ආයතනය පවසා ඇත්තේ පෙර කවර වතාවකටත් වඩා වෙනස් වූ ආකාරයකින් මෙවර ඇති වන ප්‍රබල එල් නිනෝ තත්ත්වය චන්ද්‍රිකා ඡායාරූපවලද සටහන් වී ඇති බවයි. මේ අනුව 2016 වසරේදී මිලියන ගණනක පිරිසක් සාගත හා රෝ බිය වැනි අනතුරුදායක තත්ත්වයන්ට ගොදුරු විය හැකි බව අනතුරු අඟවා ඇත.

එල් නිනෝ බලපෑම මෙවර කැනඩාව ඇතුළු රටවල් ගණනාවක ශීත දේශගුණ තත්ත්වය වෙනස් කිරීමටද බලපා ඇති බව විවිධ විශ්ලේෂණයන් තුළින් පැහැදිලිව පෙන්නුම් කර ඇත. විශේෂයෙන්ම පසුගියදා ඇමරිකාවේ පළාත් කීපයක හටගත් අසාමාන්‍ය හිම පතනයද මෙම එල් නිනෝ ප්‍රතික්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් බව ඒ පිළිබඳ වූ වාර්තා පෙන්වා දේ.

ගෝලීය උණුසුම හා ග්ලැසියර

ගෝලීය උණුසුමද කාලගුණ විපර්යාසයන් මැවීමට ප්‍රධාන වශයෙන්ම බලපාන සාධකයක් බව ජගත් කාලගුණ විද්‍යා සංවිධානය පවසා සිටියි. දේශගුණ වෙනස් වීම් නිසා හටගන්නා විපත් වැළැක්වීම සඳහා කාබන් වායුව නිකුත් නොකරන හරිත තාක්ෂණය දියුණු කිරීම තුළින් ගෝලීය උණුසුම පාලනය කළ යුතු බව මේ වන විට ලෝක බලවතුන්ගේ අවදානයට යොමු වී ඇත. මේ පිළිබඳව පුළුල් කථීකාවතක් මේ වන විට ආරම්භ වී ඇති අතර දේශගුණ විපර්යාසයන් නිසා සිදුවන හානි පිළිබඳව සොයා බැලීමටත් ඒවාට පිළියම් යෙදීමටත් පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවරදී එක්වූ පරිසර සමුළුවේදීද කතාබහට ලක් වී ඇත.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ලෝකයම දැඩි අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබේ. විශේෂයෙන්ම ආක්ටික් කලාපයෙහි අයිස් පර්වත (glaciers) දිය වී විනාශ වී යාම මේ වන විට ආරම්භ වී ඇති අතර ලොව උත්තර හා දක්ෂිණ ධ්‍රැව ආශ්‍රිතව පැවති අයිස් කඳු මේ වන විට මහා පරිමාණයෙන් විනාශයට පත් වෙමින් පවතී.   gg

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා හා ඇල්බර්ටා ආශ්‍රිතව පවතින  අයිස් ග්ලැසියර රැසක්ද මේ වන විට දියවීමට ලක්වෙමින් පවතින අතර දිනකට ඝන සෙන්ටිමීටරයක ප්‍රමාණයකින් එම දියවීම සීඝ්‍ර වී ඇති බව ග්ලැසියර නිරීක්ෂකයින් පෙන්වා දී ඇත. නව අධ්‍යයන වාර්තාවලට අනුව මෙම ප්‍රදේශවල ග්ලැසියර 2100 වසර වන විට සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වී යා හැකි බව හෙළි කොට ඇත. 2005 වසර සමග සංසංදනය කරද්දී බ්‍රිටිෂ් කොළොම්බියාහි සහ ඇල්බර්ටාහි ග්ලේසරයන්හි ධාරිතාව 60% සිට 80% දක්වා විනාශ වී ගොස් ඇති බව එම අධ්‍යයනය පෙන්වා දේ.

ග්ලැයිසරයක් නිර්මාණය වීමට වසර දහස් ගනණක් ගත වන අතර පෘථීවියේ ජෛව පද්ධතිය පණ ගසා තබා ගැනීමට මෙම ග්ලැයිසර ඇතුළු අයිස් කඳු ලබා දෙන්නේ මහත් රුකුලකි. මේ ආකාරයෙන් සුනුවිසුණු වී යන අයිස් පර්වත නැවතත් යථා තත්ත්වයට පත්වීමක් ගැන සිතිය නොහැකි අතර දිනෙන් දින පිරිහෙන පරිසර තත්ත්වයන් යටතේ එයද අයිස් මෙන්ම දියවී යන බලාපොරොත්තුවක් පමණක් වේ. මේ වන විට වසරකට මුහුදු ජල මට්ටම මිලි මීටර 2 කින් ඉහළ යෑම සිදුවන අතර ඒ සඳහාද ප්‍රධාන වශයෙන් මේ ග්ලැසියර දියවීම බලපා ඇති බව විශේෂඥයින් පෙන්වා දී ඇත.

මුහුදු ජල මට්ටම ඉහළ යෑමේ බරපතලම අවදානමට ලක්ව ඇත්තේ කුඩා දූපත් රාජ්‍යයන් වන අතර මෙයට හොඳම උදාහරණයක් ලෙස මාලදිවයින් රාජ්‍යය පෙන්වා දිය හැක. සෙසු රටවල ජනතාවට විවිධ දුෂ්කරතා මධ්‍යයේ හෝ ජීවිත් වීමට රටක් තිබුණත් කුඩා දූපත් රටවල වෙසෙන ජනතාව මුහුදු මට්ටම ඉහළ යාමත් සමග රටක් නොමැති පිරිසක් බවට පත්වීමේ භයානක තත්ත්වයට මුහුණ පා සිටී. ඊට අමතරව ලෝකයේ 15% ක පමණ වූ පිරිසක් මුහුදු කලාප අවට ජීවත් වන අතර මුහුදු ජල මට්ටම ඉහළ යෑමත් සමග මේ පිරිසද අවතැන් වූවන් බවට පත්වීම නිරුත්සාහයෙන්ම සිදුවන්නකි.

Oregon State University මගින් ග්ලැසියර දියවීම පිළිබඳව කරන ලද පර්යේෂණයන්ට අනුව දියවී යන ග්ලැසියරයන් හා මුහුදු ජල මට්ටමේ ඉහළ යාම සමග වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඍජුව සම්බන්ධතා දක්වන බව සොයාගෙන ඇත. ඒ අනුව දිනෙන් දිනම වායුගෝලයේ වැඩිවන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය නිසා ග්ලැසියර ලක්ව ඇති අවදානම අඩුකර දැමීම කළ නොහැක්කක් බවට පත්ව තිබේ.

කාබන්ඩයොක්සයිඩ් මුදා හැරීම මුළුමනින්ම නවතා දැමීම තුළින් පෘථීවියේ උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයට සාපේක්ෂව සෙන්ටිග්‍රේඩ් අංශක එකයි දශම හයකින් ඉහළ ගොස් පෘථීවි වායුගෝලය ස්ථාවර විය හැකි වුව ඒ සඳහා ෆොසිල ඉන්ධන දහනය නතර කර විකල්ප බලශක්ති ප්‍රභව වෙත යාම ඉතා ඉක්මනින් කළ යුතු වෙයි. මෙම ස්ථාවරය ඇති කර ගැනීමට නම් 2030 වසර වන විට ලෝකය 100% ක්ම පුනර්ජනනීය බලශක්ති භාවිතයට යොමුවිය යුතු බවත් එසේ නොකළ හොත් මේ සියවස අවසානයේදී පෘථීවියෙහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක පහත් හතත් අතර ප්‍රමාණයකින් ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය පෙන්වා දී ඇත.

වායුගෝලයට කාබන් මුදා හැරීම හිතුමතේ කිරීමට නොහැකි අන්දමේ දරුණු ව්‍යසන තත්ත්වයකට අද සමස්ත පෘථීවි තලයම මුහුණ දී ඇත. වායුගෝලීය උණුසුම අංශක දෙකේ සීමාවේ තබා ගැනීම සඳහා මුළු මහත් ලෝකවාසීන්ටම වායුගෝලයට මුදා හැරීමට අවසර ඇත්තේ තවත් කාබන් ගිගා ටොන් 1000 ක් පමණිග මෙම ගණනය 2011 දක්වා වූ දත්ත පදනම් කොට ඉදිරිපත් කර ඇති අතර එහිදී හෙළිදරව් වූ සාධකවලට අනුව මේ වන විට අප එම ගිගා ටොන් 1000 න් ගිගා ටොන් 150 ක කාබන් ප්‍රමාණයක් වායුගෝලයට මුදාහැර අවසන් කොට ඇත. 2016 වසර වන විට 2011 ට වඩා ලෝකය කාර්මීකරණය හා පර්යේෂණාත්මක කාබන් මුදාහැරීම් අතින් ඉදිරියට ගොස් ඇති බව නොරහසකි. මේ තත්ත්වය තුළ මුදා හැරීමට අවසර ඇති ඉතිරි කාබන් ගිගා ටොන් 850 ත් මුදා හැරීමෙන් පසු ජීවීන්ගේ පැවැත්ම සඳහා ලෝකයක් ඉතිරි වේදැයි යන්න සිතා බැලීම වටී.

මෑත කාලයේදී වාර්තා වූ උෂ්ණාධිකම වසර 2015 ලෙස සැලකෙතත් 2016 වසර එම වාර්තාව බිඳ හෙලන වසරක් විය හැකි බවද ලෝක කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දී තිබේ. මේ තත්ත්වය හමුවේ අසාමාන්‍ය කාලගුණ තත්ත්වයන් හා ඍතු විපර්යාසයන්ට මුහුණ දීමට සිදුවීම එතරම් පුදුමය දනවන්නක්ද නොවිය හැක. මේ නිසා කැනඩාවේ මෙවර ශීත දේශගුණයේ ඇති වී පවතින ඍතු විපර්යාසය පිළිබඳ සලකා බැලීමේදී ‘අපට ශීතල අඩු නිසා අපි සැපෙන්’ යනුවෙන් ඇතිව අදහස යහපත් නොවූවක් බව පැවසිය හැක.

සටහන – චමරි අබේසිංහ

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*