December 12, 2017

දියවැඩියාව නම් සපත්තු තෝරා ගැනීමේදී ප්‍රවේසම් වන්න

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි බෝ වන රෝග තරමටම බෝ නොවන රෝගවලටද පුද්ගලයින් ගොදුරු වීම අද බහුලව සිදුවෙමින් පවතින්නකි. පුද්ගලයකුගෙන් පුද්ගලයකුට ආසාදනය නොවන එහෙත් ජානමය හේතු හෝ අහිතකර ජීවන රටාවන් නිසා ඇති වන රෝග බෝ නොවන රෝග ලෙස සැලකේ. ප්‍රධාන වශයෙන් බහුලව වැළෙඳන බෝ නොවන රෝග ලෙස අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල්, පිළිකා, හෘදයාබාධ, ස්වශන රෝග, අංශභාග වැනි රෝගයන් දැක්විය හැක.

මේ බෝ නොවන රෝග අතරිනුත් අද ලෝකයේ අංක එකට පත්ව ඇති රෝගයකි ‘දියවැඩියාව’. කුඩා දරුවාගේ පටන් වැඩිමහල්ලා දක්වා අතිවිශාල පිරිසක් මේ වන විට දියවැඩියාවට ගොදුරු වී සහ ගොදුරු වෙමින් සිටී. අපේ පාරිභාෂික ශබ්දකෝෂය තුළද ‘දියවැඩියාව’ අද වැඩියෙන්ම භාවිත වන වචනයක් වී තිබීමෙන්ම මෙම රෝගය කෙතරම් අප වෙළාගෙන ඇද්ද යන්න පැහැදිලි වේ.

අද කැනේඩියානුවන් වී ජීවත් වුවත් උපතින් සහ ජානමය වශයෙන් අප ශ්‍රී ලාංකිකයන් බව කවුරුත් පිළිගත යුතු සත්‍යයකි. එසේ නම් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අප බොහෝ දෙනෙකු දියවැඩියා රෝගයද දායදයක් ලෙස රැගෙන එන බව කණගාටුවෙන් වුවද කිව යුතුව ඇත. පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ වෙසෙන ජනගහනය අතරින් දියවැඩියාව සම්බන්ධව ලබාගෙන ඇති වාර්තාවල දැක්වෙන්නේ අපේ රටේ ජනගහනයෙන් 15% කට අධික පිරිසක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බවය. එමෙන්ම සමස්ත අග්නිදිග ආසියාතික රටවල් අතරින් දියවැඩියා රෝගය වැඩිම රට බවටද පත්ව පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. ලෝක මට්ටමෙන් ගත් විට අපේ රට දියවැඩියා රෝගීන් වැඩියෙන්ම සිටින රටවල් අතර 21 වන ස්ථානයේ පසුවන බව දැක්විය හැක. රටක ජනතාව සෞඛ්‍ය සම්පන්න වීම එරට ලබන සම්පතක් විය යුතුව තිබියදී මෙවැනි තත්ත්වයක් දක්නට ලැබීම ඉතාමත් අවාසනාවන්ත වූවකි.

ශ්‍රී ලංකාව තුළ මෙතරම් දියවැඩියා රෝගීන් සංඛ්‍යාවක් ඇතිවීමට අපගේ ආහාර රටාව ඍජුවම බලපා ඇති බව කිව යුතුය. කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගැනීම අතින් පමණක් නොව ඍජුවම සීනි කන්නන් සිටින රටවල් අතරිනුත් ප්‍රධාන තැනක් ශ්‍රී ලංකාව හිමිව ඇත. කෙටියෙන්ම කිවහොත් ලෝකයේ සීනි කන රටවල් අතර මුල් පෙළේ පවතින රටක් ලෙස මේ වන විට ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත.  අපේ රටේ එක් පුද්ගලයකුගේ දෛනික සීනි පරිභෝජනය ග්‍රෑම් 100 ද ඉක්මවා ගොස් තිබීමෙන්ම එය ඉතාමත් හොඳින් තහවුරු වේ.

දියවැඩියාව හා සංකුලතා

දියවැඩියාව ලෙසින් හඳුන්වනු ලබන්නේ ‘රුධිරයේ පවතින ග්ලුකෝස් (සීනි) ප්‍රමාණය පාලනය කරන ඉන්සියුලින් හෝර්මෝනය අඩුවීම නිසා රුධිරයේ පවතින සීනි මට්ටම ඉහළ යාමට පටන් ගැනීමයි.

දියවැඩියාව ජීවිත කාලය පුරාවට පවතින රෝගී තත්ත්වයක් වන අතර එය නිට්ටාවට සුවකළ හැකි ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නොමැත. එහෙත් ප්‍රතිකාර නොමැති වූ පමණින්ම දියවැඩියාව මාරාන්තික රෝගයක් ලෙස සිතිය යුතු නැත. මන්ද, ‘නිසි ආකාරයෙන් පාලනය කිරීම තුළින්’ දියවැඩියා රෝගීන්ටද සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කරමින් දීර්ඝායුෂ වැළඳීමේ භාග්‍යය ඇති බැවිනි. දියවැඩියා රෝගීන් වැඩි පිරිසක් එම රෝගය නිසා දැඩි පීඩාවන්ට භාජන වන්නේ රෝගය පාලනය කිරීම පිළිබඳව නිසි අවබෝධයක් නොමැති කමින් බව කිව හැකිය.

දියවැඩියාව ‘මාරාන්තික රෝගයක්’ නොවේ යැයි කී පමණින්ම එය සුළුවෙන් තැකීම සිදු කළ යුත්තක් නොවන්නේ දියවැඩියාව නිසා ඇතිවන අතුරු ආබාධයන්ගෙන් සිදුවන සංකුලතා බොහෝ දරුණු ප්‍රතිඵල ගෙන දිය හැකි හෙයිනි. එහි බරපතල කම කෙතෙක්ද යන්න දියවැඩියාව ‘නිහඬ මාරයා’ ලෙසින් හැඳින්වීමෙන්ම පෙනී යයි.

දියවැඩියා රෝගීන් අතර බහුලව පවතින අතුරු ආබාධයන් අතර රුධිරයේ සීනි මට්ටම අනවශ්‍ය ලෙස පහත වැටීම හා වැඩි වීම, වකුගඩු ආබාධ, ඇස්වල දුර්වලතා, හෘද වස්තුවේ හා රුධිර නාලවල ආබාධ, ස්නායු පද්ධතියේ සංකුලතා, අංශභාග වැනි රෝග ගණනාවක් දැක්විය හැක. දියවැඩියා රෝගයට ගොදුරු වූවන්ට වැළෙඳන සුලභ අතුරු ආබාධයන් පිළිබඳව දළ දත්ත සටහන්වල දැක්වෙන්නේ දියවැඩියා රෝගීන්ගෙන් 70% ක් පමණ හෘදයාබාධ හෝ හෘදය සම්බන්ධ රෝගාබාධවලින් මිය යන බවත් 16% ක පමණ පිරිසක් අංශභාග රෝගය නිසා මිය යන බවත්ය. දියවැඩියා රෝගීන් අතරින් 65% ක පමණ පිරිසක් අධිරුධිර පීඩනයෙන්ද පෙළෙන බව මෙම වාර්තාවල දැක්වේ.

දියවැඩියාව සහ දෙපය

දියවැඩියාව නිසා වැළෙඳන අතුරු ආබාධ ගැන කතා කිරීමේදී අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණක් ලෙස දියවැඩියා රෝගීන්ගේ දෙපාවලට සිදුවන ආබාධයන් දැක්විය හැක. වැඩි පිරිසක් මේ සම්බන්ධව එතරම් උනන්දුවක් නොදක්වන නිසා විවිධ ආසාදිත තත්ත්වයන් මත පාද කපා ඉවත් කිරීමට සිදුවීම අද දියවැඩියා රෝගීන් අතර බහුලව දක්නට ලැඛෙන්නකි. දියවැඩියා රෝගියෙකුගේ පාදවල කිසියම් ආසාදිත තත්ත්වයක් ඇති වුවහොත් ඔවුන්ගේ දෙපා කපා ඉවත් කිරීමට සිදුවීමේ අවදානම සාමාන්‍ය පුද්ගලයකුට වඩා 25 ගුණයකටත් වඩා ඉහළ වේ. මේ පිළිබඳව ඇති වාර්තාවලට අනුව ජීවිත කාලය තුළ දියවැඩියා රෝගීන් හතර දෙනෙකුගෙන් එක් අයක කිසියම් හෝ දෙපා සම්බන්ධිත ආබාධයකට ගොදුරු වීමෙන් දෙපාවල කොටස් කපා ඉවත් කිරීම සිදුකරනු ලබයි.

දියවැඩියාව නිසා දෙපා ආබාධයන්ට ගොදුරු වීමට බලපාන ප්‍රධාන සාධකයන් දෙකක් දැක්විය හැක.

  1. රුධිර නාළවලට හානි සිදුවීම
  2. ස්නායුවලට හානි සිදුවීම

රුධිර නාළවලට හානි සිදුවීම

රුධිර නාළවලට හානි සිදුවීම යනුවෙන් හැඳින්වෙන්නේ දෙපාවලට රුධිරය සපයන රුධිර නාළවලට දියවැඩියාව නිසා හානි සිදුවීමයි. රුධිර නාළ ඇතුළත කුහර සිහින් වීමෙන් එහි කොලෙස්ට්‍රෝල් තැන්පත් වී දෙපාවලට අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් සැපයීම සිදු නොවීමෙන් මෙම හානිය සිදුවේ. මෙහිදී දෙපාවල මස්පිඬු අධික ලෙස වේදනා ගෙන දෙන අතර ඇඟිලි කෙළවරවල් ආශ්‍රිතව පවතින පේශි මිය යාම සිදුවේ. එසේ හානියට පත්වන පේශීන් පවතින ප්‍රදේශ දැඩි වියළි ස්වභාවයකින් හා කළු පැහැයෙන් දිස්වේ. ටික කලක් යෑමත් සමග මෙම ප්‍රදේශවල බැක්ටීරියා වර්ධනයට සුදුසු පරිසරයක් ඇතිවන අතර ඒ සමගම එම ප්‍රදේශයන් විවිධ ආසාදනයන්ට ඉතාමත් ඉක්මනින් ගොදුරු වීමට පටන් ගනී. විශේෂයෙන්ම දියර ගලන තුවාල ඇතිවන ආකාරයක් දැක ගත හැකි අතර එම තුවාල ඉතාමත් ඉක්මනින් පැසවා ඔඩු දුවන ආකාරයක්ද දැකගත හැක.

මෙවැනි තුවාල ඇති වූ රෝගීන්ගෙන් නිතර ලැඛෙන පැමිණිලි අතර බහුලව දක්නට ඇත්තේ කෙතරම් ප්‍රතිජීවක ඖෂධ භාවිත කළද තුවාල සුව නොවන බවයි. එය සත්‍යයකි. මන්ද යත්, එම තුවාල සහිත ප්‍රදේශවල පේශීන් මිය ගොස් තිබීම නිසා අදාළ ප්‍රදේශවලට සෑහෙන තරම ඔක්සිජන් නොලැබීමෙන් තුවාල සුව වීමේ හැකියාව ඉතාමත් අවම මට්ටමක පවතී. දියවැඩියාව නිසා රුධිරය සපයන නාළවලට සිදුවී ඇති හානියෙන් ඔක්සිජන් ප්‍රවාහණය අඩපණ වී තිබීමත් සමග බැක්ටීරියා නැසීමට දෙන ප්‍රතිජීවකවලට එම ප්‍රදේශවලට ළඟා වීමට අපහසු වේ. එම හේතුව නිසා තුවාල ඇතිවී පවතින ප්‍රදේශවල බැක්ටීරියා වර්ධනය වැඩි වී තුවාල ඔඩු දුවා යාමෙන් රෝගියාගේ ජීවිතය අවධානමට ලක්වීම සිදුවේ. මෙහිදී වෛද්‍යවරුන් හට රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට කළ හැකි එකම පිළියම වන්නේ ආසාදිත දෙපා රෝගියාගේ සිරුරින් කපා ඉවත් කර දැමීමයි.

ස්නායුවලට හානි සිදුවීම

දියවැඩියා රෝගීන්ට විවිධාකාරයේ ස්නායු ආබාධ ඇතිවිය හැකි අතර මොළය හා සුසුම්නාව සම්බන්ධයෙන් ඇතිවන ස්නායු ආබාධ මෙහිදී ප්‍රධාන තැනක් ගනී. මේ හැරුණු විට අනෙක් දරුණුම ස්නායු ආබාධ තත්ත්වය හටගන්නේ දෙපා සම්බන්ධයෙනි.

මිනිස් සිරුරේ වැඩිපුරම සංවේදන සහිත ප්‍රදේශයන් අතරින් දෙපාවලට හිමිවන්නේ මුල් තැනකි. දෙපා පොළව සමග හෝ වෙනත් තැන් සමග ගැටීමට හා ඒ නිසාම තුවාල හටගැනීමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩිය. දියවැඩියා රෝගීන්ගේ පාදවල සියුම් ස්නායු විනාශ වී යාමෙන් සංවේදන තත්ත්වයන් අවම වන අතර එහිදී මෙවැනි තුවාල හට ගැනීම් නිරතුරුවම සිදුවීම දැකිය හැකිය.

පාදවලට සිදුවන ස්නායු ආබාධයන් කොටස් තුනකට ඛෙදා දැක්විය හැකි අතර,

  1. සංවේදන ස්නායුවලට සිදුවන හානි
  2. චාලක ස්නායුවලට සිදුවන හානි
  3. අනිච්ඡානුගත ස්නායුවලට සිදුවන හානි

යනුවෙන් ඒවා දැක්විය හැක.

මෙහිදී සංවේදන ස්නායු යනුවෙන් හඳුන්වනු ලබන්නේ පාදවල සිදුවන සංවේදන හඳුනාගන්නා ස්නායු වේ. දියවැඩියාව වැළඳී රෝගය පාලනය නොකිරීමත් සමග ක්‍රම ක්‍රමයෙන් මෙම සංවේදන ස්නායුවලට හානි සිදුවීම ඇරඹේ. තවත් ආකාරයකින් එය පැහැදිලි කළහොත් රුධිරයේ ග්ලුකෝස් මට්ටම වැඩි වීමත් සමග මෙම ස්නායු විනාශ වීමට ලක් වේ.

එසේ වීමත් සමග,

  • පාද හිරි වැටීම
  • දැවිල්ල ඇති වීම
  • ඉඳිකටුවක් අනිනවාක් බඳු වේදනාවක් දැනීම
  • ශීතල, උණුසුම, වේදනාව ආදිය නොදැනීම
  • පාද එක් ඉරියව්වක තබා ගැනීමේ අපහසුතාව

වැනි තත්ත්වයන් හට ගනී.

මේ ආකාරයට දැනීමේ ශක්තිය නොමැති වී යාමත් සමග දියවැඩියා රෝගීන්ගේ පාදවලට යම් අනතුරක් සිදුවීමේදී (උදාහරණ-කැපීම්, සීරීම්, පිළිස්සීම් වැනි දේ) ඒ පිළිබඳව දැනීමක් රෝගියාට නොදැනේ. එය ඉතාමත් භයානක තත්ත්වයකි.

චාලක ස්නායු මගින් සිදුවන්නේ පේශිවල මනා ක්‍රියාකාරිත්වය ඇති කොට ඒවා පවත්වාගෙන යාමයි. දියවැඩියා රෝගය පාලනය නොකිරීමෙන් මෙම පේශිවල ක්‍රියාකාරිත්වයට හානි සිදුවුවහොත් ඇවිදීමේදී පාදවලට ඇතිවන පීඩනය නිසි ආකාරයට ඛෙදී යාම සිදු නොවේ. මෙයින් පාදයේ ඇතැම් ස්ථාhhhනවලට අධික පීඩනයක් ඇතිවන අතර මෙවැනි ස්ථානවල සම ඝන වීමට පටන් ගනී. ඒ සමගම ගැටිති සෑදීම, ගල් තැලූම් වැනි දිය බුබුළු ඇති වීම සහ පසුව ඒවා පැසවා යාමෙන් තුවාල ඇතිවීම සිදුවේ.

ඒ සමගම පාදයේ මහපට ඇඟිල්ල හෝ අනිකුත් ඇඟිලි පාදයේ කුඩා ඇඟිල්ල දෙසට ඇදවී යාමද දැකිය හැකිය. මහපට ඇඟිල්ලේ මුලින්ම ඇති අස්ථීය පිටතට නෙරා යාමද මෙහිදී බහුලව දක්නට ලැඛෙන තත්ත්වයක් වන අතර එම ස්ථානය රතු පැහැ වීමත් ඉදිමී ආසාදිත තත්ත්වයක් ඇතිවීමත් සිදුවිය හැක්කකි.

නිරෝගී දෙපයක් යනු අධික වියළි හෝ තෙත් ගතියකින් තොර මධ්‍යස්ථ වූ දෙපා යුගළකි. එහිදී මෙම තෙත් ස්වභාවය රඳවා තබා ගැනීමට පාදවල ස්වේද ග්‍රන්ථීවල නිසි ක්‍රියාකාරිත්වය ඛෙහෙවින් වැදගත් වේ. ස්වේද ග්‍රන්ථීන්ගේ ක්‍රියාකාරිත්වය අනිච්ඡානුගත ස්නායු පද්ධතියෙන් සිදුකෙරෙන නිසා යම් විදියකින් දියවැඩියාව පාලනය නොකර මෙම ස්නායු පද්ධතියට හානි සිදුවුවහොත් දෙපාවල සම වියළි හා තුනී ස්වභාවයකට පත්වීම සිදුවේ. එහිදී සම පැලීම, සීරීම, තුවාල වීම ආදියට ඉතාමත් පහසුවෙන් ගොදුරු විය හැක.

මෙම ප්‍රධාන රෝගාබාධයන්ට අමතරව දියවැඩියා රෝගීන්ගේ දෙපා පහසුවෙන් ගොදුරු විය හැකි ආසාදන අතර ඇඟිලිකරු අතර දිලීර වර්ධනය වී එම ප්‍රදේශ සුදු පැහැ වීම, නියපොතුවල දිලීර ආසාදන නිසා පැහැය හැඩය වෙනස් වීම ඇතිවිය හැක.

දියවැඩියා රෝගීන් දෙපා රැකගැනීමට කළ යුතු දේ

  • දියවැඩියා රෝගීන් සෑම විටෙකම පාවහන් පැළඳ සිටීම අනිවාර්්‍යයෙන්ම කළ යුත්තකි. නිවස තුළ සිටියදී පවා පිරිසිදු මේස් යුගලයක් හැඳ සිටීමට හුරුවීම තුළින් දෙපාවලට සිදුවිය හැකි ආබාධයන් මෙන්ම දෙපා අපිරිසිදු වීමද බොහෝ දුරට මගහරවා ගත හැක.
  • ඒ සමගම උදේ සවස දෙපා සෝදා පිරිසිදු කිරීමත් එසේ සේදීමෙන් පසු තුවායක් භාවිත කොට ඉතාමත් හොඳින් තෙත මාත්තු කර දෙපා වියළා ගැනීමත් කළ යුතුයි.
  • සෑම දිනකම පාද දෙස විමසිලිමත්ව බලා ඒවාට යම් හානියක් සිදුවී ඇත්දැයි සොයා බැලීමත් විශේෂයෙන්ම ඇඟිලි කරු අතර ඉතාමත් හොඳින් පරීක්ෂා කර බැලීමත් කළ යුතු වේ.
  • පාද ඇඟිලිවල නියපොතු කැපීමේදී කෙළවර රවුම් නොකර කෙළින් හැඩයට කපා ගැනීමට උනන්දු විය යුතුයි.
  • පාදයේ යටි පතුල සහ ඉහළ සම අධික වියළි බවක් ඇත්නම් එය වළක්වා තෙත් ගතිය පවත්වාගත හැකි ආලේපන භාවිත කළ යුතුයි. මෙහිදී ආලේපන ඇඟිලි කරු අතර ගැල්වීම නොකළ යුත්තකි.
  • ඇවිදීමේදීත්, උණුවතුර වැනි පිළිස්සෙන ද්‍රාවණ භාවිතයේදීත් හැකි තරම් ප්‍රවේශම් විය යුතු අතර අනතුරුදායක තත්ත්වයන්ගෙන් මගහැර සිටීමට වගබලා ගත යුතුයි.
  • දෙපාවල රත්පැහැ ගැනීමක්, සීරීමක්, වතුර බිබිලි ආකාරයක් දක්නට ලැබුණහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම කළ යුතුයි.
  • ගල් තැලුම්, කරගැට වැනි ආකාරයන් හට ගතහොත් නිවසේදී ඒවා කැපීමට උත්සාහ ගැනීම හෝ කටුවලින් ඇනීම් සිදුකිරීම් නොකර වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.
  • දිනපතා දෙපාවලට සුදුසු ව්‍යායාමයක යෙදිය යුතුයි.
  • දියවැඩියා රෝගියකු පාවහන් පැළඳීමේදී දැඩිව අවධානය යොමු කළ යුතු අතර දෙපාවලට හානි සිදු නොවන දෙපයට ගැළපෙන පාවහන් පැළඳීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් වේ. එහිදී හැකි සෑම විටම හිර නැති සපත්තු භාවිතයට හුරු විය යුතුයි.

පාද නිසි පරිදි සකස් වීම සවස් කාලයේදී සිදුවන නිසා දියවැඩියා රෝගීන් සපත්තු මිල දී ගැනීමේදී එය සවස් කාලයේදී කිරීම සුදුසු වේ.

සටහන – චමරි අබේසිංහ

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*