June 24, 2017

ඒඩ්ස් මාරාන්තිකද?

කලින් කලට ශ්‍රී ලංකාවේ නගර විවිධ වූ කරුණු කාරණා නිසා ප්‍රසිද්ධියට පත් වේ. පසුගිය කාලයේදී ඒ ආකාරයෙන් ප්‍රසිද්ධියට පත් වූ නගරයකි කුලියාපිටිය. එද එසේ මෙසේ ප්‍රසිද්ධියක් නොව, මාරාන්තික ‘ඒඩ්ස්’ රෝගය නිසා ලැබුණු ප්‍රසිද්ධියකි.

පියා එච්.අයි.වී ආසාදිතව මිය ගියේ යැයි (මෙයද බොරුවට ගෙතුවක් බව පසුව වාර්තා වී තිබුණි) පවසා හය හැවිරිදි දරුවකු කුලියාපිටියේ පාසල්වලට නොගෙනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ ආන්දෝලනය හටගෙන තිබුණි. එහිදී එම දරුවාගේ මව, සිය කුඩා පුතුද උකුලේ හොවාගෙන කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලයේ ගේට්ටුව අසල හිඳ උපවාසයක් ඇරඹූයේ ඇයට වෙන ගත හැකි ක්‍රියාමාර්ගය නොවූ බැවිනි. පියා එච්.අයි.වී ආසාදිතව මිය ගියේ යැයි පැතිරුණු කතාවත් සමගම එම මවටද එච්.අයි.වී ඇතැයිද දරුවාද නියතයෙන්ම එච්.අයි.වී ආසාදිතයකු යැයිද පවසන්නට තරම් ඇතැම් අය මෙහිදී මන්ද මානසික වීම සැබවින්ම කණගාටුවට කරුණකි. මේ වන විට උද්ගත වෙමින් තිබූ තත්ත්වය සංසිඳී එම දරුවාට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමේ භාග්‍ය හිමිව තිබීම සැබවින්ම ප්‍රශංසනීයව අගය කළ යුත්තකි.

ඒඩ්ස් හෝ එච්.අයි.වී යන රෝගය පිළිබඳව අප අසා ඇති අන්දමට එය කිසිදා සුව කළ නොහැකි මෙතෙක් කිසිදු ප්‍රතිකර්මයක් සොයාගෙන නොමැති රෝගයකි. ඒ නිසාම ‘ඒඩ්ස්’ නම කියූ සැණින් මාරාන්තික බියක් ඇති වීම සාධාරණය. උදේ සිට සවස් වනතුරු රූපවාහිනිය, ගුවන්විදුලිය තුළිනුත් වෙනත් මුද්‍රිත මාධ්‍ය තුළිනුත් ‘ඒඩ්ස් මාරාන්තිකයි’ කියා ප්‍රචාරය කෙරෙන විට ඊට බිය නොවන්නේ කවුරුද? එවැනි ප්‍රචාර සිදුනොවිය යුතු යැයි අපි නොකියන්නෙමු. නමුත් එම ප්‍රචාරයනුත් සමග ඒඩ්ස් වැළඳුණු අයකු සමග කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් විස්තර කෙරෙනවා නම්, ඒ පිළිබඳව මහජනයා දැනුවත් කෙරෙනවා නම් වඩාත් සුදුසු බව කිව යුතුය.

මේ වන විට ශ්‍රී ලංකාව පුරා භයානක අන්දමට ඒඩ්ස් රෝගය පැතිර යමින් පවතින බව පසුගිය කාලයේ මාධ්‍ය තුළින් වාර්තා කොට තිබූ අතර එවැනි තත්ත්වයක් තුළ මෙවැනි රෝග පිළිබඳව ඇති දුර්මත පිටුදැකීම සඳහා නිවැරදි දැනුවත් කිරීම් නිතරම සිදුකිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව සෞඛ්‍ය බලධාරීන් තේරුම් ගත යුතුව ඇත.

එච්.අයි.වී

මිනිස් සිරුර තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කොට ඒ නිසා විවිධ වූ රෝග කාරකවලට ගොදුරු වීමේ අවදානම ඇති කරන මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (Human Imm unodeflcincy Virus) එච්.අයි.වී. යන කෙටි අකුරු තුනෙන් හැඳින්වේ.

යම් අයෙකු හට එච්.අයි.වී ආසාදනය වී ඇතැයි කල් තියා හඳුනාගතහොත් වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර හා ආරක්ෂන ක්‍රම අනුගමනය කිරීම තුළින් දීර්ඝ කාලයක් ජීවිතය පවත්වා ගත හැකි නමුත් මෙම රෝගය නිට්ටාවට සුවකර ගත නොහැක. එහෙත් මෙහි අවාසනාවන්ත තත්ත්වය වන්නේ එච්.අයි.වී වෛරසය මිනිස් සිරුරකට ඇතුළු වීමෙන් පසු රෝග ලක්ෂණ පෙන්වීමට ඇතැම් විට වසර 8-10 ක් ගත වීමයි. එහිදී රෝගය ඔඩු දුවා රෝගියා ඒඩ්ස් ආසාදිතයකු බවට පත්වී තිබීමට වුවත් හැකි අතර එම අසාදිතයා මගින් පසුගිය වසර ගණනාව පුරා තවත් අය වෙත රෝගය පැතිර යාමේ අවදානමද පවතී.

එච්.අයි.වී වෛරසය ආසාදනය විය හැකි ක්‍රම තුනකි.

  • එච්.අයි.වී. ආසාදිතයකු සමග පවත්වන අනාරක්ෂිත ලිංගික සබඳතා
  • එච්.අයි.වී. ආසාදිතයකුගේ රුධිරය හෝ රුධිර නිෂ්පාදන ශරීරයට ඇතුළු වීමrr
  • එච්.අයි.වී. ආසාදිත මවකගෙන් උපදින දරුවාට වෛරසය ආසාදනය වීම (මෙවැනි තත්ත්වයක් ඇති වීමේ ප්‍රවණතාව 15% ත් 45% අතර පවතින අතර කෙසේ වුවත් අසාදිත මවකගෙන් දරුවාට වෛරසය වැළඳීම අවම කිරීම සඳහා මේ වන විට ඖෂධ සොයාගෙන ඇත)

මීට අමතරව එච්.අයි.වී පැතිර යතැයි පවතින බොහෝ මත මිථ්‍යාවන් බව කිව යුතුය. විශේෂයෙන්ම කෙළ මගින්, මළ මුත්‍ර මගින්, ආශ්වාස ප්‍රාශ්වාස වාතයෙන්, මදුරුවන් හෝ වෙනත් කෘමි සතුන් මගින්, කොණ්ඩා රැවුල කැපීම සඳහා භාවිත කරන රේසර තල මගින්, තුවා, රෙදි, ඇඳ ඇතිරිලි ආදියෙන්, එකම කෝප්පය පිඟාන භාවිතය මගින් එච්.අයි.වී බෝ වෙතැයි සිතීම මුලාවකි. එච්.අයි.වී ශරීරගත වීමට නම් පුද්ගලයකුගේ සිරුරට රුධිරය යම් ප්‍රමාණයක් ඇතුළු වීම සිදුවිය යුතුය.

එහෙත් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ශිරාගත කරගන්නා පුද්ගලයන් ඒ සඳහා භාවිත කරන එන්නත් කටු හවුලේ භාවිත කරන්නේ නම් ඔවුන් වෙත එච්.අයි.වී වෛරසය වැළඳීමේ අවදානම පවතින බව කිව යුතුය.

එච්.අයි.වී. වෛරසය ශරීර ගත වූ පුද්ගලයකු කෙරෙන් විශේෂිත වූ රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන අතර අසාදනය වී සති හයක් පමණ ගත වන විට සුළු උණ තත්ත්වයක්, උගුරේ අමාරුව, හිසරදය, වසා ගැටිති ඉදිමීම වැනි, උණ රෝගියකු තුළ පහළ වන රෝග ලක්ෂණ ඇති  විය හැක. නමුත් ආසාදනය ඇති වූ දා සිට ආසාදිතයා නොදැනුවත්වම ඔවුන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම ආරම්භ වේ. කෙසේ වුවත් අනාරක්ෂිත  ලිංගික සබඳතාවක්, රුධිර පාරවිලනයක් සිදුකිරීමෙන් පසු ඔබ වෙත ඉහත අන්දමේ සැක කටයුතු රෝගී තත්ත්වයන් නිතර නිතර පහළ වේ නම් එච්.අයි.වී. රෝගය හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණයන් කර ගැනීම වඩාත් සුදුසු වේ.

ඒඩ්ස්

ඒඩ්ස් යන්න ‘නතුකරගත් ප්‍රතිශක්තිකරණ ඌනතා සහ ලක්ෂණය’ ලෙස සිංහලෙන් අර්ථ දක්වා ඇති අතර Acquired Immunc Deficiency Syndrome – AIDS ලෙස එය හැඳින්වේ. මෙහි ‘නතු කරගත්’ යනුවෙන් අදහස් කෙරෙන්නේ වෙනත් අයෙකුගෙන් ලබාගත් යන්නයි. ඒඩ්ස් යනු එච්.අයි.වී. වෛරස ආසාදනයේ යම් රෝගී තත්ත්වයක් වන අතර එච්.අයි.වී. වෛරසය ඒඩ්ස් තත්ත්වයට පත්වීමත් සමග එය මාරාන්තික රෝගී තත්ත්වයක් වන බව කිව යුතුය.

අප පෙර සඳහන් කළ ආකාරයටම එච්.අයි.වී වෛරසය ආසාදනය වී වසර ගණනාවක් ගත වීත් නිසි ප්‍රතිකාර ක්‍රම නොලැබුවේ නම් ඒඩ්ස් රෝගී තත්ත්වය ඇතිවිය හැක. ඒඩ්ස් රෝගියකුට ඖෂධ ප්‍රතිකාර මත රෝගය පාලනය කර ගනිමින් දීර්ඝායුෂ වැළඳීමේ අවස්ථාවක් මෙතෙක් සොයා ගෙන නොමැති බව කණගාටුවෙන් වුවත් පැවසිය යුතුය.

මෙහිදී ඒඩ්ස් වැළඳුණු පුද්ගලයකුගේ සිරුරෙහි ප්‍රතිශක්තිකරණය දැඩි ලෙස හීන වී ඇති නිසා නොයෙකුත් ආසාදන වර්ධනය වීමේ වේගය ඉතාමත් අධිකය. එහිදී ඔවුන් වඩාත් පහසුවෙන් විවිධ වූ සංකුලතාවන්ට ගොදුරු වන අතර ඒ නිසාම ජීවිතය කෙළවර වීමද සිදුවේ. ඒඩ්ස් රෝගීන් පහසුවෙන්ම පිළිකා රෝගයට ගොදුරු විය හැකි අතර එලෙස වැළෙඳන සුලභ පිළිකා ලෙස ගැබ්ගෙල පිළිකාව Lymphoma, Kaposis Sarcoma පිළිකා හඳුනාගෙන ඇත.

ප්‍රතිකාර

මානව ඉතිහාසය තුළ විවිධ වූ ශිෂ්ඨාචාරයන් යටතේ අප්‍රමාණ වූ රෝග කන්දරාවක් අත්විඳ ඇති මිනිසාට මේ සියවසේදී මුහුණ පෑමට සිදුවූ සංකීර්ණතම ව්‍යසනය ලෙස එච්.අයි.වී. සහ ඒඩ්ස් හැඳින්විය හැක. ලොව මුල්ම ඒඩ්ස් රෝගියා පිළිබඳව වාර්තා වී ඇත්තේ 1981 වසරේදී ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නගරයෙනි. අද වන විට ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන එච්.අයි.වී. වෛරසය මිනිසාගේ චර්යාධර්ම පද්ධතියෙහි පවතින හිඩැස් නිසාම බොහෝ විට  වැළෙඳන රෝගයක් බව කිව හැකිය.

මෙම වෛරසය සහමුළින්ම පරාජය කිරීම සඳහා කිසිදු ස්ථීර ඔසුවක් මේ වන තෙක් සොයාගෙන නොමැති වුවත් නවීන විද්‍යාවට පිංසිදුවන්නට විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රම මගින් එච්.අයි.වී. වෛරසය ආසාදිත වූවන්ගේ ජීව පැවැත්ම යම් තරමකට තහවුරු කර ගැනීමට දැන් හැකි වී තිබේ. එනිසා එච්.අයි.වී. වැළඳුණු පමණින් ‘සියල්ල ඉවරයි. දැන් ඉතිං මරණය පමණයි’ යැයි සිතතහොත් එයින් සිදුවන්නේ ඔබ විසින් තවදුරටත් මේ රෝගී අවස්ථාව ව්‍යාකූල කර ගැනීම පමණකි.

එච්.අයි.වී වෛරසයේ ක්‍රියාකාරිත්වය මර්දනය කිරීම සඳහා ප්‍රති වෛරස ඖෂධ (antiretroviral) මේ වන විට සොයාගෙන ඇති අතර මේවා මගින් රෝගය පාලනය කිරීමත් පැතිර යෑම වැළැක්වීමත් සිදුකෙරේ. විශේෂයෙන්ම මේ වන විට ඉතාමත් ඉහළ ප්‍රතිඵල ලබා දී ඇති ඇසිඩෝතයිමිඩීන් (azidothymidine) නමැති ඖෂධය එච්.අයි.වී. ආසාදනය සඳහා ලොව පුරා භාවිතයට ගැනෙන පිළිගත් ඖෂධයක් බවට පත්ව ඇත. නමුත් මෙම ඖෂධය ‘ඒඩ්ස් රෝගය සඳහා පවතින එකම විසඳුම නොවන’ බව එය ලොවට හඳුන්වා දුන් 1987 වසරේදීම පර්යේෂකයන් පවසා සිටියේ මෙම ඖෂධය ඇතැම් රෝගීන්ගේ සිරුරු තුළදී ක්‍රියාකාරී නොවූ හෙයිනි.

ඒ නිසාම එච්.අයි.වී. වෛරසය සඳහා සිදුකෙරෙන පර්යේෂණ තවදුරටත් ව්‍යාප්ත කරමින් වෙනත් ඖෂධ සංයෝගයන් කෙරෙහිද විද්‍යාඥයින්ගේ අවධානය යොමු වූ අතර එයින් තව තවත් ප්‍රතිජීවක වර්ග එච්.අයි.වී. මර්දනය කිරීම සඳහා සොයාගනු ලැබුණි. මෙම එච්.අයි.වී. මර්දන ඖෂධ භාවිතය මගින් ආසාදිතයකුට දිගු කලක් ක්‍රියාශීලිත්වයෙන් යුතුව දිවි ගෙවිය හැකි බව තහවුරු කොට ඇත. ඇමරිකාව, යුරෝපය ආදි රටවල එච්.අයි.වී. ආසාදිතයන් අතර මරණ අනුපාතය 70% ක් දක්වා පහත වැටීමෙන්ම මේ බව සනාථ වේ. එමෙන්ම මෙහි ඉතාමත් ප්‍රතිඵලදායක හා සතුටුදායක තත්ත්වය වන්නේ මෙම ඖෂධ සංයෝග ලබාදීම මගින් නූපන් දරුවන්ට මවගෙන් එච්.අයි.වී ආසාදනය වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් අසුරා ලීමයි.

2014 වසර අවසානයේදී ලොව පුරා එච්.අයි.වී. අසාදිත වූවන් සංඛ්‍යාව මිලියන 36.9 කට අධික වූ බවත් වාර්ෂිකව මිලියන 2 ක පමණ සංඛ්‍යාවක් මීට අලූතෙන් ගොදුරු වන බවත් ඒ පිළිබඳව වාර්තා පෙන්වා දේ. එමෙන්ම 2014 දී ඒඩ්ස් හේතුවෙන් වැළඳුණු විවිධ රෝගාබාධ නිසා ලොව පුරා මිලියන 1.2 ක ජනකායක් මියගොස් ඇත. විශේෂයෙන්ම අප්‍රිකානු කලාපයේ ජනතාව ඒඩ්ස් රෝගයට ගොදුරු වීමත් එයින් මිය යෑමත් පසුගිය කාලය පුරා ඉතාමත් ව්‍යසනකාරී ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දේ.

නමුත් මේ සියලූම ආසාදිතයන්ට ඉහත කී ඖෂධ ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව මේ වන තෙක් ලැබී නොමැත. අධික මිලෙන් යුතු මෙම ඖෂධ ප්‍රතිකාර අප්‍රිකානු සහ ආසියානු කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවල රෝගීන් සඳහා ලබාදීමේදී පසුගිය කාලයේදී විවිධ අඩුලුහුඬුකම් දක්නට ලැබුණු නමුත් මේ වන විට එම තත්ත්වයන් හැකි තරම් මගහරවා ගනිමින් සියලූම රෝගීන් වෙත ප්‍රතිවෛරස ඖෂධ ලබාදීම කෙරෙහි ලෝක සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත. ඒ සඳහා ලොව පුරා වෙසෙන සියලූම එච්.අයි.වී. ආසාදිතයන් ඉලක්ක කොට ගනිමින් ප්‍රතිවෛරස ඖෂධ ලබාදීමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර රෝගයට ගොදුරු වූවන්ගේ දැඩි සැලකිල්ලද මෙය සාර්ථක කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය බව එම වැඩසටහන් ක්‍රියාත්මක කරන්නන්ගේ අදහස වී ඇත.

කැනඩාව තුළ ඒඩ්ස් ව්‍යාප්තිය

එච්.අයි.වී. වෛරසය පිළිබඳව කැනඩාව තුළින් ලැඛෙන වාර්තාද එතරම් සුභදායක නොමැත. 2014 වසර වන විට කැනේඩියානුවන් 75,000 කට පමණ එච්.අයි.වී ආසාදනය වී ඇතැයි වාර්තාවල සඳහන් වන අතර සෑම පැය තුනක් ඇතුළතදීම කැනඩාව තුළ එක් පුද්ගලයෙකු එච්.අයි.වී. වෛරසයේ ගොදුරක් බවට පත්වන බවද එහි දැක්වේ. මෙහි වඩාත්ම භයානකම තත්ත්වය වන්නේ එච්.අයි.වී. ආසාදිත වූවන් අතරින් 25% ක් දෙනා තමා ආසාදිතයකු බව නොදැන සිටීමය.

2014 වසරේ නිකුත් කෙරුණු වාර්තාවකට අනුව එච්.අයි.වී. මෙරට තුළ පැතිර යෑම ආරම්භ වූ දා පටන් 2014 වසර දක්වා ඒඩ්ස් ආශ්‍රිත රෝග නිසා මිය ගොස් ඇති සංඛ්‍යාව 26,400 කි. කැනඩාවෙහි එච්.අයි.වී. පැතිර යෑම පිළිබඳ වාර්තාවල දැක්වෙන්නේ මෙම වෛරසය බහුලව ව්‍යාප්තව ඇත්තේ සමලිංගික හැසිරීමේ යෙදෙන්නන් අතර බවය. ඒ අතරම එන්නත් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස අතරද මේ වෛරසය පැතිර යෑම වේගයෙන් සිදුවෙමින් පවතී.

කැනඩාව තුළ ඒඩ්ස් පැතිර යාම වැළැක්වීම සඳහා ෆෙඩරල් සහ පළාත්බද සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින අතර ඔන්ටේරියෝ රජය එච්.අයි.වී. ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වසරකට ඩොලර් මිලියන 60 ක් වෙන් කොට ඇත. මෙහිදී එච්.අයි.වී. පැතිර යෑම වැළැක්වීම මෙන්ම එච්.අයි.වී වෛරසයට ගොදුරු වූවන් හඳුනාගැනීම කෙරෙහිත් රජයේ අවධානය යොමු වී ඇත. කිසියම් පුද්ගලයෙකුට තමන් එච්.අයි.වී. ආසාදිතයකු වී ඇත්දැයි දැනගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා තම අනන්‍යතාව හෙළි නොවන ආකාරයට පර්යේෂණයන්ට මුහුණ දීමේ අවස්ථාව පවා මේ වන විට කැනඩාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.

එච්.අයි.වී. යනු මේ වන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව අප අවට සමාජයේ අස්සක් මුල්ලක් නෑර පැතිර පවතින රෝගී තත්ත්වයක් බව කිව යුතුය. එහිදී මෙම වෛරසය ඔබ වෙත ළඟාකර නොගැනීමේ වගකීමෙන් 99% ක්ම පවතින්නේ ඔබ වෙතයි. එච්.අයි.වී බෝ නොකර ගැනීම ඉතාමත් වැදගත් වනවාක් මෙන්ම යම් විදියකින් එය ආසාදනය වී ඇත්නම් ඒ පිළිබඳව දැනුවත් වී එයට ප්‍රතිකාර ලබාගැනීමට යොමු වීම ඔබ වෙනුවෙනුත් අන් අය වෙනුවෙනුත් කරන වගකීම් සහගත ක්‍රියාවක් බවත් සිහි තබා ගත යුතුය. එමෙන්ම ඔබ ඇසුරු කරන සමාජය තුළ එච්.අයි.වී ආසාදිතයකු සිටින බව දැනගැනීමට ලැබුණේ නම් කිසිසේත්ම එවැනි තැනැත්තන් කොන් නොකිරීමට වගබලා ගත යුතුය. එසේ කිරීමෙන් වන්නේ ආසාදිත වූවන් තුළ සමාජය කෙරෙහි වෛරයක් ඇති වීම හෝ ඔවුන් සිය රෝගී තත්ත්වය සඟවාගෙන සිටීම නිසා තවත් ජීවිත රාශියක් අනතුරට පත් වීම පමණි.

සැබවින්ම එච්.අයි.වී. රෝගය පිළිබඳව සමාජය තුළ මුල්බැසගෙන ඇති පුහු බිය දුරු කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. එහෙත් ඒ නිසා මේ රෝගය පිළිබඳව අඩු තක්සේරුවක් කිරීමද නොකළ යුත්තකි. සැබවින්ම එච්.අයි.වී. යම් තරමකට පාලනය කළ හැකි වුවත් නිට්ටාවට සුව කළ නොහැකි රෝගයක් බවත් ඒඩ්ස් මාරාන්තික බවත් සෑම විටෙකම සිහියේ තබාගෙන කටයුතු කළ යුතුය. එය ඔබටත් ඔබ අවට සිටින පිරිසටත් සමස්තයක් ලෙස මුළු මිනිස් සංහතියටත් ඔබ විසින් ඉටුකරන මහඟු යුතුකමක් වනවා ඇත.

 

qe

සටහන – චමරි අබේසිංහ

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*