කැනඩා වාසීන් ඉල්ලක්ක කර ගනිමින්  දුරකථන හා ඊ-මේල්  මගින් සිදුකරන වංචාවන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව පසුගිය සෑම දිනෙකම අසන්නට දකින්නට ලැබුණු පුවත් වෙත විමසුම යොමු කිරීමෙන් පෙනී යයි. මේ ලියන මා හටද කිහිප විටක්ම මෙවැනි දුරකථන ඇමතුම් ලැබුණු අතර ඒ පිළිබඳව ඔබවත් දැනුවත් කිරීම සඳහා මෙම ලිපිය ලිවීමට අදහස් කළෙමි.

බොහෝ විට මෙවැනි වංචාවන් මෙහෙයවනු ලබන්නේ කැනඩාව තුළ සිට නොව මෙරටින් බැහැර විශේෂයෙන්ම දකුණු  ආසියාතික රටවල සිට බව ඒ පිළිබඳ සොයා බැලීමේදී හෙළිදරව් වේ. මෙවැනි වංචනිකයන් තොරතුරු තාක්ෂණයේ දියුණුව මෙබඳු වංචාවන් සඳහා යොදාගනු ලබන්නේ ඒ පිළිබඳව හසල දැනුමක් සහිතව බව කිව යුතුය

මෙම වංචාවන් සිදුකිරීමේදී මෙවැනි කපටියන් බොහෝ විට ඉල්ලක්ක කරගනු ලබන්නේ මෙරට සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ මෑතකදී කැනඩාවට සංක්‍රමණය වූ පුද්ගලයන් වීමෙන්ම ඔවුන් මොනතරම් සැලසුම් සහගතද යන්න පැහැදිලි වේ.

මේ ආකාරයට මෙවැනි වංචා සහගත පුද්ගලයන්ගේ ගොදුරු  බවට පත් වූ කිහිපදෙනෙක්ම පසුගිය කාලයේදී මා හට හමු වී ඇත. ඒ අතරින් ඇතැම් පුද්ගලයන් මේ වංචනිකයන් හට මුදල් පවා ලබා දී ඇත්තේ ඔවුන් විසින් සිදුකරන රඟපෑම්වලට හසුවීමෙනි. තවත් මා දන්නා ඇතැමෙක් මොවුන්ගෙන් ගැලවීම  සදහා තම දුරකථන  අංක පවා වෙනස් කිරීමට කටයුතු කර ඇත.

CRA බව අඟවා සිදුකරන වංචා

මෙවැනි පුද්ගලයින් විසින් සිදුකරන වංචා සහගත කටයුතු අතර ප්‍රධානතම ක්‍රියාවක් වන්නේ කැනඩා ආදායම් බදු ඒජන්සිය (CRA) ආකාරයට කතා කරමින් සිදුකරන වංචාවයි. මෙම පුද්ගලයින් දුරකථනය හරහා ඔබ අමතා CRA  විසින් කතා කරන බවත්, ඔබ විසින් යම් බදු මුදලක් ගෙවීමට ඇති බවත්, එම මුදල ගෙවීම පැහැර හැරිය හොත් වහාම ඔබව අත්අඩංගුවට ගන්නා බවත් පවසනු ලබයි. එසේ නොමැති නම් ඔබ සතු සියලූ දේපළ වහාම පවරා ගන්නා බවට හෝ රටින් පිටුවහල් කරනු ලබන බවට බිය ගන්වනු ලබයි.

මෙවැනි වංචා සහගත බිය ගැන්වීම් පිළිබඳව CRA  විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර ඔවුන් පවසන්නේ, කිසිදු විටෙක මෙවැනි දුරකථන සන්නිවේදන ක්‍රම මගින් ජනතාව වෙත මේ ආකාරයේ ඇමතුම් ලබා නොදෙන බවයි. කිසියම් ආකාරයකින් ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණහොත් දුරකථනය විසන්ධි කොට වහාම Canadian Anti-Fraud Centre වෙත ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස CRA  පවසා සිටියි. එසේම එම දුරකථන ඇමතුම සැබවින්ම CRA  වෙතින් ලබා දුන් ඇමතුමක්දැයි තහවුරු කර ගැනීමට ඔබට අවශ්‍ය නම්, CRA අන්තර්ජාල වෙබ් අඩවියට ගොස් විමසීම  මගින් හෝ 1-800-959-8281 යන දුරකථනයට ඇමතීමෙන් හෝ කළ හැකි වෙයි.

මේ ආකාරයට සිදුකෙරන වංචා ක්‍රියාවන් වළක්වා ගැනීමටත් එබඳු වංචනිකයන් පහසුවෙන් හඳුනාගැනීමටත් උපකාර කිරීම සඳහා CRA විසින් පහත දැක්වෙන මාර්ගෝපදේශ හදුන්වාදී  ඇත.

CRA  කිසිදු විටෙක,

  • පෙර ගෙවුම් ණය කාඩ් ඉල්ලීම් නොකරයි. (never requests prepaid credit cards)
  • ඔබගේ විදේශ ගමන් බලපත්‍රය, සෞඛ්‍ය කාඩ්පත (Health cards) හෝ රියදුරු බලපත්‍රය පිළිබඳ තොරතුරු කිසිම විටෙක නොඉල්ලයි.
  • ඔබගේ අවසරයකින් තොරව වෙනත් කිසිදු පුද්ගලයෙකුට ඔබ පිළිබඳ තොරතුරු ලබා නොදේ.
  • ඔබගේ දුරකතනයේ answering machine වෙත කිසිදු පෞද්ගලික තොරතුරක් ලබා නොදේ. තවද ඔබගේ පෞද්ගලික තොරතුරු අඩංගු පණිවිඩ CRA හි පිළිතුරු ලබා දෙන යන්ත්‍රය වෙත තබන ලෙස කිසිදු විටෙක ඉල්ලා නොසිටියි.

බැංකු ආයතන ලෙස අඟවා කරන වංචා

එවැනි ආකාරයට දුරකථන පණිවිඩ මගින් මෙන්ම අන්තර්ජාල ඊ-මේල් පණිවිඩ මගින් සිදුකෙරෙන වංචා සහගත ක්‍රියාවන්ටද බොහෝ දෙනෙකු අද වන විට ගොදුරු වෙමින් සිටී.

බහුතරයක් දෙනා බැංකුවෙන් ලැඛෙන ආකාරයට එවනු ලබන ඊ-මේල් හරහා සිදුකරන වංචාවන්ගේ ගොදුරු බවට පත් වෙති. මෙහිදී මෙම වංචනිකයන් සිදුකරන්නේ e-mail  එවා ඔබ රවටා ඔබගේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීමයි. මේ ආකාරයට ඔබ වෙත ලැඛෙන ව්‍යාජ ඊ-මේලය විවෘත කළ විට ඔබගේ බැංකුවේ වෙබ් අඩවියට සමාන වෙබ් පිටුවක් වෙත ඔබව යොමුකරනු ඇත. ඉන්පසුව ඔබගේ සියලුම පෞද්ගලික තොරතුරු සපයන ලෙස එය ඔබට දන්වනු ඇත. යම් විදියකින් ඔබ මෙවැනි උගුලකට හසුවී ඊට පිළිතුරු සැපයූවේ නම් ඔබගෙන් ලබාගන්නා තොරතුරු මේ වංචනිකයන් විසින් නොයෙකුත් දූෂණ වංචා ක්‍රියාවන් සඳහා යොදා ගනු ඇත.

මෙය ඉතාමත් අවදානම් සහගත තත්ත්වයක් වන අතර කිසි විටෙකත් මෙවැනි ඊ-මේල තුළින් එන පණිවිඩ හරහා ඔබගේ පෞද්ගලික තොරතුරු හුවමාරු කිරීම නොකළ යුත්තක් වේ. ඔබට එම ඊ-මේලය සඳහා පිළිතුරු දීමට අවශ්‍ය නම් අදාළ ස්ථානයන් හා සම්බන්ධ වී එය සත්‍ය වූවක්දැයි යන්න තහවුරු කරගැනීමෙන් පසු එය කිරීමට කටයුතු කළ යුතු වේ.

මෙවැනි වංචනිකයන්ගේ ගොදුරක් නොවීමට ඔබට පහත සඳහන් ක්‍රියා අනුගමනය කළ හැක.

  • ඔබ වෙත ලැඛෙන e-mail පණිවිඩය අයත් වන වසම එසේත් නොමැති නම් domain (@ලකුණට පසුව ඇති කොටස – උදාහරණ ලෙස  gov, edu,  org, com ආදි ලෙස මෙය පැමිණිය හැක) පරීක්ෂා කර බලන්න  තවදුරටත් පැහැදිලි කළහොත් – @rbc.com – මෙය ඔබගේ බැංකුවේ වෙබ් ඩොමේන් එක නොවේ නම්  ඔබ වෙත ලැබුණු email  පණිවිඩය නිසැකවම ව්‍යාජ එකකි.
  • එසේම ඔබ ඊ-මේලය විවෘත කළ විට ගෙන යන web පිටුව හොඳින් පරීක්ෂා කර බලන්න. එහි සඳහන් වෙබ් ලිපිනය ඔබගේ බැංකුවේ වෙබ් අඩවිය හා සැසෙඳන්නේ නැතිනම් එයද අනිවාර්යයෙන්ම ව්‍යාජ වූවක් වෙයි. මෙවැනි අවස්ථාවලදී ඉතාමත් සූක්ෂ්ම ආකාරයෙන් ඊ-මේල් ලිපින, වෙබ් අඩවි ආදිය සැකසීමට වංචාකරුවන් කටයුතු කරන නිසා ඇතැම් විට එකවරම ඔබට මේවා හඳුනාගැනීමට අපහසු විය හැකියි. එවැනි අවස්ථාවකදී සැකයේ වාසිය ඔබ වෙත තබාගෙන වහාම අදාළ බැංකු ස්ථානයට හෝ අදාළ ආයතනයට දුරකථනයෙන් කතා කොට ඒ පිළිබඳව තොරතුරු විමසා ඔවුන්ගේ උපදෙස් මත කටයුතු කරන්න.

අප  විසින් ඉහත  සදහන්  කරන  ලද්දේ  දුරකථන හා  ඊ-මේල මාර්ගයෙන් සිදුකරන වංචා පිළිබඳව පමණි. එහෙත් මෙහි සඳහන් නොකළ වෙනත් බොහෝ උපක්‍රමද මේ වංචනිකයන් විසින් ජනතාව ගොදුරු කර ගැනීම සඳහා යොදා ගනිමින් පවතී. එසේම ඔවුන් ඉතාමත් කපටි ආකාරයට මේ වංචනික ක්‍රියාවන් සඳහා නිරන්තරව අලූත් අලූත් ක්‍රම භාවිත කරනු ලැබේ.

ඇතැම් විට ඔබත් මෙවැනි වංචාවන්ට ගොදුරු වී හෝ එවැනි වංචාවන් සම්බන්ධව විවිධ අත්දැකීම්වලට මේ වන විට මුහුණ දී ඇතුවා විය හැකිය.

එම තොරතුරු අපත් සමග ඛෙදා ගැනීමට ඔබ කැමති නම් yp@bell.net ඊ-මේල් ලිපිනය ඔබ වෙනුවෙන් විවෘතව ඇත.

Share this Post