කාලයේ තාලයට සියල්ල වෙනස් වන විට මිනිසුන්ට සෑදෙන ලෙඩ රෝගත් විවිධ වූ ස්වභාව ගනී. මීට වසර ගණනාවකට ඉහත අසන්නට දකින්නට නොලැබුණු අන්දමේ රෝග ගණනාවකට වර්තමානයේදී මිනිසුන් ගොදුරු වීම තුළින් ඒ බව තහවුරු වේ. මෙසේ වැළෙඳනු ලබන ඇතැම් රෝග සැප වැඩි සුපිරි ශරීරවලට උරුම ඒවා ලෙස කලකදී හඳුන්වනු ලැබූ අතර එවැනි ලෙඩ ‘පොෂ් ලෙඩ’ යැයි හැඳින්වූ කාලයක්ද තිබුණි. එහෙත් අද වන විට ඒ පොෂ් ලෙඩ කිසිදු පන්ති භේදයකින් තොරව බොහෝ දෙනෙකු වෙත ළඟා වී ඇත. එලෙස අතීතයේ පොෂ් ලෙඩක්ව තිබී අද උස් මිටිකම් නොබලා බොහෝ දෙනෙකු වෙත ළංව ඇති රෝගයකි ‘කොලෙස්ටරෝල්’. ඇසුවොත් ඇත්නම් ‘මගේ කොලෙස්ටරෝල් වැඩි වෙලානෙ…’ යැයි බහුතරයකගෙන් කියවෙන තරමට අද කොලෙස්ටරෝල් ඇත්තන් හමුවේ. මේ ආකාරයට නිතර දෙවේලේ නම කියවෙන කොලෙස්ටරෝල් පිළිබඳව මඳක් විමසා බලමු.

කොලෙස්ටරෝල් යනු කුමක්ද?

කොලෙස්ටරෝල් යන නම ඇසූ පමණින් අප බියෙන් සලිත වූවත් අපගේ සිරුරේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වාගෙන යෑමට කොලෙස්ටරෝල් අත්‍යවශ්‍ය සාeeධකයකි. ඒ අනුව මිනිස් සිරුරේ විවිධ ක්‍රියාකාරකම් නිසි පරිදි පවත්වා ගැනීමේදී ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන සිරුරට අත්‍යවශ්‍ය මේද වර්ගයක් ලෙස කොලෙස්ටරෝල් හඳුන්වා දිය හැක. ජලයේ හෝ රුධිරයේ දිය නොවන ඉටි වැනි ඇලෙන සුළු සංයෝගයක් වන කොලෙස්ටරෝල් ලිපිඩ (Lipids) යන පොදු භාවිතයෙන් හැඳින්වේ. අපගේ සිරුරේ ඇති සෙසු තෙල්, මේද, ට්‍රයිග්ලිසරයිඩ් ආදි කොටස්ද මෙම ලිපිඩ යන පොදු භාවිතයට අයත් වේ.

මිනිස් සිරුරේ ට්‍රිලියන සංඛ්‍යාත වූ ෙසෙල ආවරණ තුළද මොළයේ 75% ක පමණ ප්‍රමාණයකද ස්නායුවල පිටත ආවරණ තුළද සියලුම ලිංගික හොමෝන තුළද කොලෙස්ටරෝල් යහමින් අඩංගුව පවතී. සිරුරේ ස්නායු පද්ධතියට අදාළ හෝ මොළයට අදාළ ‍සෛලයක් විනාශ වුවහොත් එය අලුතින් නිපදවීම සඳහා කොලෙස්ටරෝල් අත්‍යවශ්‍ය වේ. මොළය සම්බන්ධිත ක්‍රියාකාරිත්වයන් නිසි ලෙස පවත්වා ගැනීමටත්, ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ට්‍රෝන්, ටෙස්ටොස්ටෙරෝන් වැනි ප්‍රජනක හෝමෝන නිපදවීමටත් හිරු හා එක්ව සිරුර තුළ විටමින් ඩී නිපදවීමටත් පිත නිපදවීමටත් කොලෙස්ටරොල් අත්‍යවශ්‍ය වේ.

අපේ සිරුරට අවශ්‍ය කොලෙස්ටරෝල්වලින් වැඩි ප්‍රමාණයක් සිරුර තුළම නිපදවෙන අතර කොලෙස්ටරෝල් නිෂ්පාදනයේදී අක්මාව ප්‍රධාන වේ. මෙහිදී අක්මාව මගින් දිනකට කොලෙස්ටරෝල් මිලි ග්‍රෑම් 1000 ක් පමණ නිපදවනු ලබන අතර එය ශරීරයකට අවශ්‍ය කොලෙස්ටරෝල්වලින් 75% ත් 80% ත් අතර ප්‍රතිශතයකි. මීට අමතරව අප ගන්නා ආහාරවලින්ද කොලෙස්ටරෝල් නිපදවෙනු ලැබේ.

කොලෙස්ටරෝල් ඍජුවම රුධිරයේ දිය නොවන නිසා Phospholipid හා Apolipoprotein හා එක්ව Lipoprotein ලෙස රුධිරයට එක් වේ. මෙලෙස රුධිරයට එක්වන ලයිපොප්‍රොටීන් වර්ග දෙකකින් යුක්ත වන අතර සාමාන්‍ය ව්‍යවහාරයේදී කොලෙස්ටරෝල් වර්ග දෙක ලෙස ඒවා හඳුන්වනු ලබයි. ඒ අනුව අඩු ඝනත්වයකින් යුත් වර්ගය එල්.ඩී.එල් (LDL – Low- density lipids) හා වැඩි ඝනත්වයකින් යුත් වර්ගය එච්.ඩී.එල් (HDL – High- density lipids) ලෙස හැඳින්වේ. මිනිස් සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට අවශ්‍ය විවිධ රසායන නිපදවීමට උපකාරී වන කොලෙස්ටරෝල් අක්මාවේදී කැඩී වෙන්වී විවිධ හෝමෝන මෙන්ම පිතද නිෂ්පාදනය කරයි. මෙලෙස අක්මාව වෙතට ගමන් කරමින් සිරුරේ හිතකර ක්‍රියාකාරීත්වයන්ට උර දෙන කොලෙස්ටරෝල් HDL    එසේත් නැතිනම් හිතකර කොලෙස්ටරෝල් – Good cholesterol ලෙස හැඳින්වේ. එහෙත් මින් බැහැරව අක්මාවෙන් පිටතට පැමිණෙන කොලෙස්ටරෝල් සිරුරේ වෙනත් ඉන්ද්‍රියයන් කරා ගමන් කරමින් ධමනි බිත්තිවල තැන්පත් වී ඒවා අවහිර කිරීමට කටයුතු කෙරෙන අතර එවැනි අවස්ථාවලදී එම කොලෙස්ටරෝල් LDL එසේත් නැතිනම් අහිතකර කොලෙස්ටරෝල් – Bad cholesterol ලෙස හඳුන්වනු ලබයි. HDL  හිතකර කොලෙස්ටරෝල් වුවත් එය පමණ ඉක්මවා වැඩි වීමත් LDL අහිතකර වූ පමණින් එය නූවුවමනා ලෙස අඩු වීමත් විවිධ හදිසි රෝගාබාධයන්ට අත වැනීමකි. එනිසා සෑම විටම නියමිත අගයයන්ට අනුව සිරුරෙහි කොලෙස්ටරෝල් මට්ටම පවත්වා ගැනීමට සැලකිලිමත් විය යුතුයි.

කොලෙස්ටරෝල් බලපෑම

කොතරම් අත්‍යවශ්‍ය වුවත් ‘ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ’ යනුවෙන් කියමනක් ඇත. එය සනාථ කරමින් කොලෙස්ටරෝල් වුවත් ඕනෑවට වඩා වැඩි වුවහොත් එයින් සිදුවන්නේ අතිශයින් විශාල හානියකි. කොලෙස්ටරෝල් අවම වීමෙන් මෙන්ම අධික වීමෙන්ද සිදුවිය හැකි බරපතල තත්ත්වයන් තුළදී පුද්ගලයින්ට සිය ජීවිත පවා අහිමි විය හැකි අතර මෙයින්ම මෙහි භයානකත්වය  කෙතෙක්දැයි ඔබට වටහා ගත හැකිවනු ඇත. විශේෂයෙන්ම මේ වන විට ලෝකයේ මරණ අනුපාතය ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වී ඇති හෘදයාබාධ ගැන සැලකිලිමත් වීමේදී කොලෙස්ටරෝල් ඊට කෙතරම් ඍජු දායකත්වයක් සපයා ඇත්දැයි යන්න වටහා ගත හැක.

කොලෙස්ටරෝල් අධික වීම නිසා සිරුරට ඇති කරන හානිය එකවරම ඇතිවන්නක් නොවන අතර එය ක්‍රම ක්‍රමයෙන් ආරම්භ වී මාරාන්තික ප්‍රතිඵල දක්වා ඔඩු දුවන්නක් වේ. මෙහි වඩාත්ම අවදානම් හා අවාසනාවන්ත තත්ත්වය වන්නේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගොස් ඇතැයි හඳුනාගැනීමට හැකි කිසිදු බාහිර රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීමයි. බොහෝ අවස්ථාවලදී කොලෙස්ටරෝල් ඇතැයි හෙළිවන්නේ වෙනත් රෝගයක් සම්බන්ධව සිදුකරන පරීක්ෂණවලදී වන අතර එම රෝගී සංකුලතාවට ප්‍රධාන හේතුව වී ඇත්තේද කාලයක් පුරාම සිරුරේ පැවති කොලෙස්ටරෝල්ම විය හැකිය.

මේ ආකාරයට නොදැනුවත් කමින් හෝ දැනගැනීමෙන් පසුවත් නොසලකා හැරීම නිසා අධික වන කොලෙස්ටරෝල් ක්‍රම ක්‍රමයෙන් සිරුරෙහි රුධිර නාළවල තැන්පත් වීමට පටන් ගනී. ඉන් පසු එම තැන්පතුව ටිකෙන් ටික වැඩි වීමට පටන් ගැනීමත් සමග එම රුධිර නාල සිහින් වීම ආරම්භ වේ.

එලෙස රුධිර නාළ සිහින් වීමෙන් අනතුරුව ශරීරයේ අවයවයන් තුළට එම නාළ තුළින් ගෙන යා හැකි රුධිර ප්‍රමාණය අඩු වේ. මෙලෙස සිහින් වූ රුධිර නාළයක් තුළ ලේ කැටියක් සිර වුවහොත් එතැනින් එහාට අවශ්‍ය අවයවය කරා රුධිරය ගමන් කිරීම මුළුමනින්ම ඇණ හිටිනු ලැබේ. මෙහිදී එම රුධිරය ගෙන යන නාළය හෘදය කරා යන්නක් වුවහොත් හෘදයට රුධිරය සැපයීම ඇණ හිටීමෙන් හෘදයාබාධ තත්ත්වයක්ද රුධිරය ගෙන යන නාළය මොළය කරා රුධිරය ගෙන යන්නක් වී එහි ලේ කැටියක් සිර වුවහොත් මොළයට රුධිරය සැපයීම අඩාළ වීමෙන් අඝාත/අංශභාග තත්ත්වයක්ද ඇති විය හැක. වකුගඩු කරා යන රුධිර නාළය අවහිර වුවහොත් වකුගඩු අකර්මණ්‍ය වීමද, ඇස් කරා යන රුධිර නාළ අවහිර වීමෙන් අක්ෂි දුර්වලතා හෝ අන්ධ භාවයට පත් වීමද යන ආකාරයට සිරුරෙහි ඕනෑම කොටසකට රුධිරය ගෙන යන නාළ අවහිර කිරීමට මෙලෙස සිහින් වූ රුධිර නාළවලට හැකියාව ඇත.

නිසි කොලෙස්ටරෝල් මට්ටම පවත්වා ගැනීම

ස්වභාවයෙන්ම කොලෙස්ටරෝල් අපගේ සිරුර තුළම නිපදවෙන අතර ඊට අමතරව අප ගන්නා ආහාරවලින්ද කොලෙස්ටරෝල් සිරුරට ලැබේ. ඇතැම් අවස්ථාවලදී වකගඩු රෝගීන්ගේ හා දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ කොලෙස්ටරොල් මට්ටම සෙසු අයට සාපේක්ෂව ඉහළ අගයක් ගනු ලැබේ. ස්ත්‍රී පුරුෂ ලෙස සලකා බැලීමේදී පුරුෂ පක්ෂයට කොලෙස්ටරෝල් අවදානම වැඩිපුර පවතී. තවද මෙය ජානමය වශයෙන්ද බලපෑම් එල්ල කරන රෝගී තත්ත්වයකි. පවුලේ ඥාතීන් කොලෙස්ටරෝල්වලට ගොදුරුව ඇත්නම් එවැනි පුද්ගලයින් අඩු වයසේ සිටම කොලෙස්ටරෝල් අවදානමට මුහුණ දීමේ හැකියාව පැවතිය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වීම සුදුසු වේ.

ස්වභාවිකව සිරුරට හිතකර කොලෙස්ටරෝල් මට්ටමක් තබා ගැනීමට අප විසින් සිදුකරන ශාරීරික ක්‍රියාකාරකම් හා ව්‍යායාම ඉතාමත් වැදගත් වන අතර අපගේ ආහාර පුරුදු පිළිබඳවද මෙහිදී දැඩි සේ සැලකිලිමත් වීම වැදගත් වේ. මෙහිදී විශේෂයෙන්ම කොලෙස්ටරෝල් සිරුරෙහි තැන්පත් කෙරෙන සංතෘප්ත මේදය අඩංගු ආහාර ගැනීමෙන් වැළකී සිටීමට අවධානය යොමු කළ යුතුයි. රතු මස් වර්ග, බිත්තර කහ මද ඇතුළු සත්වමය ආහාර අඩු කිරීමටත්, බටර්, චීස් වැනි ආහාර වර්ග අඩුවෙන් ගැනීමටත්, කෘත්‍රිමව සෑදූ ආහාර පානවලින් ඈත් වීමටත් කටයුතු කළ යුතුයි.

 කොලෙස්ටරෝල් පරීක්ෂාව

නූතන ලෝකයේ කාර්යබහුලතාවත් ආහාර පුරුදුත් පිළිබඳව සලකා බැලීමේදී වයස අවුරුදු 20 ඉක්මවූ සෑම අයෙකුම කොලෙස්ටරෝල් පරීක්ෂාවක් සිදුකර ගැනීම සුදුසු වේ. ලිපිඩ් ප්‍රොෆයිල් (lipid profile) පරීක්ෂාව ලෙස සඳහන් මෙම පරීක්ෂාවේදී සම්පූර්ණ කොලෙස්ටරෝල් පරීක්ෂාව මෙන්ම සිරුරට හිතකර කොලෙස්ටරෝල් හා අහිතකර කොලෙස්ටරෝල් පිළිබඳව විස්තරාත්මක විමසා බැලීමක් සිදුකරනු ලැබේ.

මීට වසර කිහිපයකට ඉහතදී ලිපිඩ් ප්‍රොෆයිල් පරීක්ෂාව සිදුකිරීමට පැය 14 ක් නිරාහාරව සිටීමට නිර්දේශ කර තිබුණත් මෑතක සිට එය පැය 12 දක්වා අඩු කර ඇත. ඒ අනුව පැය 12 ක් නිරාහාරව සිටිය යුතු අතර ඒ කාල සීමාව තුළදී ජලය පානය කිරීමෙහි වරදක් නොමැත.

ලිපිඩ් පරීක්ෂණය සිදු කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු අතර,

  • පරීක්ෂණයට පෙර දිනයේ නිදි මැරීම නොකළ යුතුයි.
  • පෙර දිනයේ මත්පැන්, මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. සැබවින්ම පරීක්ෂාවට පෙර දිනයේ නොව, දින කිහිපයක සිට මත්පැනින් වැළකී සිටීමත් දුම්පානය කරන්නෙක් නම් එයද දින කිහිපයක් සිට නොකර සිටීමත් වඩාත්ම සුදුසු වේ.
  • එදිනෙදා ව්‍යායාම කිරීමට හුරුව සිිටින අයෙකු නම් පරීක්ෂාවට පෙර දින දෙකක්වත් ව්‍යායාමවලින් වැළකී සිටිය යුතුයි. ව්‍යායාම කිරීමෙන් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ පහළ යා හැකි නිසා ලැඛෙන ප්‍රතිඵලය නිවැරදිම විය නොහැක.
  • මේ වන විටත් කොලෙස්ටරෝල් සඳහා ඖෂධ ලබාගන්නේ නම් වෛද්‍යවරයාගේ උපදෙස් අනුව පරීක්ෂාවට යොමු වීම සුදුසු වේ. ඇතැම් විට ඔබ ගන්නා ඖෂධ නවතා වාර්තාව ලබා ගැනීමට වෛද්‍යවරුන් නියම කරන අවස්ථාද ඇත.

Total Cholesterol

ලිපිඩ් ප්‍රොෆයිල් වාර්තාවෙහි සම්පූර්ණ කොලෙස්ටරොල් (Total cholesterol) මට්ටමෙහි සාමාන්‍ය අගය 5.18 mmol/L (200 mg/dL) දක්වා පැවතීම සුදුසු වේ.

5.18 mmol – 6.18 mmol/L  (200 – 239 mg/dL) අවදානම් කලාපය ලෙස සැලකේ. මෙවැනි අය අහිතකර ආහාර පුරුදුවලින් මිදී ව්‍යායාමවල යෙදීම තුළින් අවදානම අවම කරගත හැක. එසේ නොමැති වුවහොත් වෛද්‍ය උපදෙස් මත ඖෂධ ප්‍රතිකාර සඳහා යොමු වීම සුදුසු වේ.

6.22 mmol/L (240 mg/dL) වඩා වැඩි අගයක් ඔබගේ ලිපිඩ් ප්‍රොෆයිල් වාර්තාව පෙන්වන්නේ නම් ඔබ දැඩි අවදානම් කලාපයේ පසුවන්නකු වේ. අනිවාර්යයෙන්ම ඖෂධ ප්‍රතිකාර සහ ව්‍යායාමවල යෙදීමත් ආහාර පුරුදු හිතකර ලෙස සකසා ගැනීමත් කළ යුතු වේ.

HDL  – හිතකර කොලෙස්ටරෝල්

මෙම පරීක්ෂාවේදී ස්ත්‍රී පුරුෂ භාවය අනුව ප්‍රතිඵල වෙනස් වේ. පුරුෂ පාර්ශ්වය සඳහා HDL මට්ටම 1.03 mmol/l (40 mg/dL)  ට වඩා අඩුවෙන්ද,  කාන්තා පාර්ශ්වය සඳහා HDL මට්ටම 1.293 mmol/l (50 mg/dL) ට වඩා අඩුවෙන්ද පැවතීම නුසුදුසු වේ. සෑම අයෙකුගේම HDL මට්ටම 1.293 mmol/l (50 mg/dL) වැඩි අගයකින් පවත්වාගෙන යා හැකි නම් එය ඉතාමත් හිතකර තත්ත්වයකි.

LDL  – අහිතකර කොලෙස්ටරෝල්

මෙහිදී අහිතකර කොලෙස්ටරෝල් මට්ටම 2.58 mmol/l (100 mg/dL) ක පවත්වාගත හැකි නම් එය ඉතාමත් යෝග්‍ය වේ.

2.58 – 3.87 mmol/l (100 -150 mg/dL) ත් අතර අවදානම් කලාපය ලෙස සැලකේ. ව්‍යායාම හා ආහාර පුරුදු නිවැරදි කර ගැනීමත් වෛද්‍ය උපදෙස් ගැනීමත් සුදුසු වේ.

4.13 – 4.37 mmol/l (160 -169 mg/dL) ත් අතර පසුවන්නන් අහිතකර කොලෙස්ටරෝල් තත්ත්වයේ දැඩි අවදානමෙන් යුක්ත වූවන් වේ. වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම පැතිය යුතුයි.

ඇතැම් පුද්ගලයන්ගේ LDL මට්ටම 4.91 mmol/l (190) ඉක්මවා වුවත් යා හැකි අතර මෙවැනි අය ඉක්මණින්ම වෛද්‍ය උපදෙස්වලට යොමුවිය යුතුයි.

සාමාන්‍යයෙන් LDL මට්ටම එක් එක් පුද්ගලයාගේ රෝගී තත්ත්වයන් අනුව වෙනස් වන අතර හෘදයාබාධ අවධානම වැඩි පුද්ගලයන් සෑම විටෙකම LDL  මට්ටම 1.18 mmol/l (70 mg/dL) කට අඩු අගයක පවත්වා ගැනීමට සැලකිලිමත් විය යුතුයි.rr

Share this Post