ඔටාවා ගංගාව (Ottawa River) පෝෂණය කරමින් බටහිර ක්‍යුඛෙක් කලාපය හරහා ගලා බසින අතු ගංගාවකි රෆ් ගංගාව (Rouge River). මෙය Rivière Rouge – Red River යන නම්වලින්ද හඳුන්වනු ලබයි. ක්‍යුඛෙක්හි Mont Tremblant ප්‍රදේශයෙන් ආරම්භ වන රතු ගඟ කඳු, නිම්න, විල් හා දියඇලිවලින් ගලාබසින ජල ධාරාවන් දරා ගනිමින් ඔටාවා ගංගාව දක්වා ගමන් ගනියි.

ඒ සුන්දර රතු නදිය පෙනි පෙනී යන මේ ගමනෙහි ගමනාන්තය මහායාන බුදු දහමට නෑකම් කියන බෞද්ධ සිද්ධස්ථානයකි. Tam Bao Son Buddhist Monastery නම් වූ මෙම සෙනසුනට යන ගමන් මග, අනුරාධපුරයෙන් ඈත මහ වන මැද පිහිටි ආරණ්‍ය සේනාසනයක් කරා ගිය අතීත මතකය නැවතත් සිහියට නංවයි. මීට වසර 2 කට පමණ පෙර අප එහි ගිය අවස්ථාවේදී මෙම සෙනසුනට යන ප්‍රධාන ගමන් මගෙහි අඩකට වැඩි ප්‍රමාණයක් ගල් පමණක් අතුරා නිම කොට තිබූ නිසා දිස්වූයේ ඒ ආකාරයෙනි.

ඉහළ සිට ගෙනා රොන් මඬ නිසා රතු ග‍ඟෙහි ජලය වඩාත් රතු වී, සැර වී ඇති සෙයකි. එහෙත් රතු ගඟේ ඒ දඟය අපගේ ගමනට කිසිදු බාධාවක් නොවුණු අතර ගමන් විඩාව මඟ හරවා ගනිමින්  පරිසරයේ සුන්දරත්වය වඩ වඩාත් විඳ ගැනීමට රතු ගඟ දැක්වූ ඒ ඉඟි බිඟි දඟ අසිරියද අපට මහත් රුකුලක් විය.  10DSC_0204

මේ ගමන් මගේ ඇතැම් ස්ථානවලට දුරකථන සංඥාද නොලැබුණු නිසා වරින් වර GPS පද්ධතිය මුළුමනින්ම බිඳී යයි. එසේ වූ කීප විටෙකම වැරදි පාරක ආවා වත්දෝයි සිතුණු නමුත් එහි හරි වැරැද්ද හෝ අසා විමසා ගැනීමට මිනිස් පුළුටක් මහ මඟ පෙනෙන්නට නොවුණි. බැලු බැල්මට රූස්ස කැළය මෙන් පෙනෙතත්, අතරින් පතර සවි කර ඇති අලංකාරව නිමහුම් කරන ලද තැපැල් පෙට්ටි සහ ඈතින් එක සීරුවට නිල්ල ගැසී බැබළෙන ගොවි බිම්, එම පළාත මිනිස් වාසයෙන් යුක්ත බව සිතිය හැකි සාධක විය. එක් අවස්ථාවක යන මග හරිදැයි අසා ගැනීමට කවුරුන් හෝ හොයා ගැනීම සඳහා තැපැල් පෙට්ටි සහිත ස්ථානයකින් ඇතුළට යෑමට සිතුවත් එය එතරම් සුදුසු නොවන්නක් හෙයින් ප්‍රධාන පාරේ ඉම දක්වාම යෑම ඇඟට ගුණ බව කාගේත් අදහස විය. විටින් විට පාර හරහා පනින මූස් ගෝනුන් සහ වෙනත් කුඩා සතුන් නිසා ඉතාමත් අවධානයෙන් රිය පැදවීම කළ යුත්තකි. ඇතැම් තැනෙක සිටි මුවන් වැනි සතුන් රථ වාහනවලට බිය වූ බවක් නොදැක්වීමෙන් පෙනී ගියේ උන්ට මිනිස් වාසය සුපුරුදු වූවක් බවයි. එම රළු ගල් පාරේ ඉඳහිට වාහනයක් දෙකක් ගමන් ගත් අතර ඒවා ඈතින් පෙනුණු ගොවි බිම්වල හෝ රූස්ස වනාන්තරයක් මෙන් පෙනෙන සීමාවෙන් ඔබ්බට පිහිටි මිනිස් වාසයන්හි සිටින්නන්ගේ විය හැක. එහෙත් ඒ වාහන අතර අප සොයා යන සිද්ධස්ථානයට ගොස් එතැයි සිතිය හැකි වාහනයක් නොවුණේ එදින සති මැද දිනයක් වූ නිසා විය හැකිය.

ඔටාවා සිට කිලෝ මීටර 134 කුත් මොන්ටි්‍රයල් සිට කිලෝමීටර 120 කුත් පමණ එපිටින් ක්‍යුඛෙක් පළාතට අයත් හැරින්ටන් (Harrington) පළාතෙහි පිහිටුවා ඇති Tam Bao Son බෞද්ධ ආශ්‍රමය, වියට්නාම බෞද්ධයන්ගේ විස්මිත නිමැවුමකි.

අක්කර අට සියයකට වැඩි භූමි භාගයක ජපන් – චීන ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් කියමින් සෑදුණු ගොඩනැලිවලින්ද බුද්ධ චරිතය විදහා දක්වන අලංකාර ප්‍රතිමා රාශියකින්ද යුක්ත ටැම් බාඕ සන් සෙනසුන, මනසේ පවස නිවා සනහාලන පින් බිමක් ලෙස හැඳින්විය හැක. DSC_0086

රථ වාහන ඝෝෂාවෙන් සහ දුමින් පිරුණු නගරයේ සිට එවැනි නිහ~ සොඳුරු පරිසරයකට ගොස් ගනු ලබන පළමු හුස්ම පොදින්ම එම පරිසරයේ ඇති නැවුම් බවේ වෙනස කා හට වුවත් තදින්ම දැනෙන්නට පටන් ගනී. ආරණ්‍ය සෙනසුනකටම ගැළපෙන එහි නිහඬතාව යාන්තමින් හෝ බිඳෙන්නේ හමන සුළඟට හසුවුණු තුරු පත් නගන සිලි සිලියෙන් හෝ කුරුල්ලන්ගේ නාදයෙන් පමණි. අක්කර සිය ගණනක් පුරා විහිදී ගිය සුන්දර උද්‍යාන භූමිය බවුන් වැඩීමට කදිම පිහිටීමකි. අප එම ස්ථානයට යන අවස්ථාවේදීත් නොයෙකුත් ජාතීන්ට අයත් පිරිස් තමාට රුචි ස්ථාන තෝරාගෙන භාවනානුයෝගීව සිටින අන්දම පෙනුණි. 11123

1988 වසරේදී පමණ ඉදිකර ඇති මෙම සෙනසුන, බුද්ධ චරිතයේ දැක්වෙන ප්‍රධාන ශුද්ධ ස්ථාන හතරක් මූලිකව තේමා කොට ගනිමින් නිමවා ඇත. සිද්ධාර්ථ උත්පත්තිය සිදුවුණු ලුම්බිණි සල් උයන, බුද්ධත්වය ලබාගත් බුද්ධගයාව, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු ඉසිපතනයේ මිගදායට වැඩම කොට උන්වහන්සේගේ පළමු ධර්මදේශනාව – ධම්ම චක්ක පවත්තන සූත්‍රය පස්වග මහණුන් වහන්සේලාට දේශනා කිරීම, කුසිනාරා නුවරදී සිදුවූ සම්බුද්ධ පරිනිර්වාණය යන අවස්ථා හතර සෙනසුන් භූමියෙහි ඉතාමත් අලංකාර අන්දමින් නිම කොට ඇත. මෙහි නෙළා ඇති ප්‍රධාන පිළිමයන් බොහොමයකින් අග්නිදිග ආසියාතික රටවල සහ ඈත පෙරදිග රටවල ප්‍රචලිතව ඇති මහායාන පිළිම සම්ප්‍රදාය මතු වෙතත් ඒවායෙහි ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල ගති ලක්ෂණද දක්නට ලැබේ.

මහායාන බුදු දහමේ ඉගැන්වෙන බෝධිසත්ව සංකල්පය ථේරවාද බුදුදහම අදහන අපට තරමක් නුහුරු වූවකි. බුදු බව පතා පෙරුම් පුරන උතුමන් බෝධිසත්ව නමින් හැඳින්වෙන අතර එයට අනුව අප දන්නා මතු බුදුවන බෝධිසත්වයන් වහන්සේ මෛත්‍රී බෝසතුන්ය. මහායාන සම්ප්‍රදායය තුළ බෝධිසත්වවරුන් ප්‍රධානත්වයේ ලා සැලකෙන අතර බුදු බව පතන බෝසත්වරු වන්දනාව මහායාන බුද්ධාගමේ ප්‍රධානම ලක්ෂණයක් සහ චාරිත්‍රයක්ද වේ. එපමණක් නොව, මහායාන සම්ප්‍රදායය තුළ බෝධිසත්වවරු මෙන්ම බෝධිසත්වවරියෝද සිටිති.  අවලෝකිතේශ්වර, සමන්තභද්‍ර, වජ්‍රපාණී, මෛත්‍රිය, විශ්වපාණී ඇතුළු නම් රැසකින් හැඳින්වෙන බෝධිසත්වවරු මහායානය තුළ වෙති. මෙහි මෛත්‍රී බෝසතුන් ලෙස සඳහන් වන්නේ අප වන්දනාමාන කරන මෙතේ බුදුන්ටම වන අතර ථේරවාද සහ මහායාන යන ද්විත්වයටම පොදු බෝධිසත්වරයෙකු ලෙස උන්වහන්සේ හැඳින්වේ. DSC_0111

මෙසේ මහායානික සංකල්පයේ දැක්වෙන ඇතැම් බෝධිසත්වවරුන් අපේ රටේදී දෙවි දේවතාවුන් වී වැඳුම් පිඳුම් ලබන බවද කිව යුත්තකි. එලෙස අපේ රටේදී වැඳ පුදන ප්‍රධානතම බෝධිසත්වවරයෙකි අවලෝකිතේශ්වර බෝසතුන්. නාථ දෙවියන් බවට විශ්වාස කෙරෙන මේ බෝධිසත්වයන් හට මහායාන සම්ප්‍රදායයේදීද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මහායාන බෝසත්වරුන් සමමිතික කිරීමේදී තවත් ප්‍රධාන ස්ථානයක ලා සැලකෙන බෝසත් වරයෙකි සමන්තභද්‍ර. මෙලෙස සමන්තභද්‍ර බෝධිසත්වයන් ලෙස අදහනු ලබන්නේ සුමන සමන් දෙවියන් බව බොහෝ දෙනෙකුගේ අදහසයි. DSC_0018

Tam Bao Son Buddhist අසපුව මහායාන සම්ප්‍රදායයට අයත් වන්නක් නිසා බෝධිසත්වරුන්ට එහි ප්‍රධාන තැනක් හිමිව තිබේ. දැවැන්ත බෝධිසත්ව රූප සෙනසුන් අඩවිය පුරා තැනින් තැන ඉදි කොට ඇති අතර අවලෝකිතේශ්වර බෝධිසත්වරියගේ පිළිමයත්, වජ්‍රපාණී බෝධිසත්වරයාගේ පිළිමයත්, මෛත්‍රිය බෝධිසත්වරයාගේ පිළිමයත් විශේෂයෙන්ම සඳහන් කළ හැක.

මෙහි ඇති අවලෝDSC_0108කිතේශ්වර බෝසත්වරියගේ පිළිරුව උසින් මීටර නවයක් පමණ වේ. කරුණාවේ ප්‍රතිමූර්තියක් ලෙස සැලකෙන මෙම බෝසත් චරිතය ඊටම ගැළපෙන මෘදු ස්වරූපයෙන් නිමවා ඇති අතර පිළිරුව කරා යාම සඳහා දෙපසින් පිහිටි පරිවාර කාන්තා පිළිම 12 ක් පසුකළ යුතු වේ. එම බෝධිසත්ව පිළිරූ සහිත පරීශ්‍රය අවට ඇති මනස්කාන්ත පරිසරය ප්‍රතිමාවෙන් මූර්තිමත් වන සෞම්‍යත්වය දෙගුණ තෙගුණ කිරීමට සමත් වී ඇත. අලංකාර වස්ත්‍රාභරණයන් වර්ණ ගන්වා සකසා ඇති මෙම ප්‍රතිමාව තායිලන්තයේදී නිර්මාණය කර ගෙන්වා ඇති අතර එය සම්පූර්ණයෙන්ම ලෝකඩවලින් නිමවා ඇත. අවලෝකිතේශ්වර බෝධිසත්වවරිය වන්දනාමාන කිරීමෙන් පූර්ණ ආරක්ෂාවත් සාමයත් ලැඛෙන බව මහායානිකයන් තුළ පවතින විශ්වාසයයි.  8‘වජ්‍රයාන’ නම් වූ මහායාන සම්ප්‍රදායය පිළිගන්නා බෞද්ධයන් ප්‍රධාන වශයෙන් පුද පූජා පවත්වන්නේ වජ්‍රපාණී බෝසතාණන් වෙතය. වජ්‍ර යනු දියමන්තියයි. එක් අතකින් වජ්‍රයක් දරා සිටින වජ්‍රපාණි බෝසතුන් එයින් සංකේතවත් කරන්නේ ‘කිසිදා විනාශ කළ නොහැකි’ යි යන සංකල්පයයි. දියමන්ති යනු කිසිදු ලෙසකින් විනාශ නොවන්නක් බවට විශ්වාස කෙරේ. එලෙසම මනසේ ප්‍රබල සමාධියක් ඇති කරගත් පුද්ගලයාටද කෙලෙස්වලින් ආරක්ෂා වී කිසිවකින් නොසැලී සිටීමේ අවස්ථාව හිමි වේ. වජ්‍රයාන සංකල්පය තුළදී වජ්‍රපාණී බෝසතුන් අත ඇති වජ්‍රය කමටහනක් ලෙස ගෙන භාවනා වැඩීමට බොහෝ දෙනෙකු පුරුදු වී සිටිති. වජ්‍රයාන සංකල්පයටද Tam Bao Son අසපුවෙහි විශාල ඉඩක් වෙන් කර ඇති අතර විශාල මලූවක මීටර 4 ක් උස වජ්‍රපාණී බෝසත් පිළිමයක් එහි ඉදිකොට ඇත. එයද තායිලන්තයේදී ලෝකඩවලින් නිමවා මෙහි ගෙනවිත් සවිකරන ලද ප්‍රතිමාවකි.

DSC_0015මේ ආකාරයට Tam Bao Son සෙනසුන් භූමිය පුරාම බෞද්ධාගමට අයත් විවිධ අවස්ථා නිරූපණය කෙරෙන පිළිම රාශියක් දක්නට ලැඛෙන අතර බෞද්ධයන්ට මෙන්ම අන්‍ය ආගමිකයන්ටත් තුටු පහටු විය හැකි පරිසරය නිසා මොන්ට්‍රියල්, ඔටාවා යන බොහෝ දෙනෙකු විසින් නරඹන ස්ථානයක් බවට මෙය පත් වී ඇත.

Tam Bao Son සෙනසුනෙහි බාහිර ස්වරූපය ඒ ආකාරයෙන් මනරම්ව තබා ගැනීම සඳහා එහි පාලන කටයුතු, නඩත්තු කටයුතු සිදුකරමින් විහාරස්ථානයේ භාරකාර මණ්ඩලය බෞද්ධාගම වෙනුවෙන්ද විශාල සේවාවක් සිදුකරනු ලබයි. ගිම්හාන සමයේදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා 20 කට අධික සංඛ්‍යාවක් නේවාසිකව සිටිමින් බෞද්ධාගම පිළිබඳව ද්විතියික අධ්‍යාපනයේ නිරත වීම සිදුකරනු ලබයි. සෑම සති අන්තයකදීම මේ භික්ෂූන් වහන්සේලා විසින් ධර්ම දේශනා පවත්වන අතර ඉගෙන ගත් ධර්ම කරුණු ප්‍රායෝගිකව හැදෑරීම තුළින්ද ප්‍රගුණ කරනු ලැබේ. මෙහි වෙසෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා සාම්ප්‍රදායික චීන, වියට්නාම, ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා 4  පිළිබඳව ලිවීමේ සහ කියවීමේ නිපුණතාව ලබාගත යුතු වේ. සෑම දිනකම උදෑසන, දහවල් සහ සවස් යාමයේදී සූත්‍ර සංගායනාවද එහි කාල සටහනේ අනිවාර්ය අංගයකි. 11

බෞද්ධ ආගමික දර්ශනය තුළින් යහපත් පුරවැසියන් ලොවට දායාද කිරීම ඉලක්ක කොට ගත් Tam Bao Son සෙනසුන, ඒ සඳහා කැප වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන පිරිස වෙනුවෙන් සිය කාර්යභාරය ඉතාමත් වගකීමෙන් ඉටුකරනු ලබයි. එහිදී භික්ෂුවක හෝ මෙහෙණින් වහන්සේ නමක ලෙසින් ශාසනයට බැඳීමට කැමැත්තක් දක්වන සියලූම දෙනා වෙනුවෙන් කිසිදු ජාති භේදයකින් හෝ වර්ණ භේදයකින් තොරව එම ස්ථානය විවෘතව පවතී. 

මෙම uuuiආරණ්‍ය තුළ නේවාසිකව සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට මෙන්ම ආරණ්‍ය නැරඹීමට පැමිණෙන පිරිසට දිවා ආහාරය නොමිලේ ලබා දෙන අතර ඒ සඳහා ගනු ලබන එළවළු සහ පළතුරු වගා කිරීම සඳහා අක්කර සිය ගණනක් වූ ආරණ්‍ය භූමියෙන් කොටසක් වෙන් කොට ඇත. මේ එළවළු සහ පළතුරු විහාරයේ නේවාසිකව වෙසෙන භික්ෂූන් වහන්සේලා සහ දායකයන් විසින් වගා කිරීමද මෙහි ඇති තවත් විශේෂත්වයකි. සංචාරකයින් සඳහා මධ්‍යහ්න 12 සිට පස්වරු 3 දක්වා මෙහිදී ආහාර ලබාගත හැක.Pdd6

මෙම ශුද්ධ භූමිය නැරඹීමට යන පිරිස එහි ගෞරවය රැකෙන පරිදි හැසිරීම අනිවාර්ය වන අතර ටී-ෂර්ට්, කොට කලිසම්, මිනි ගවුම් හෝ සායවල් ආදියෙන් සැරසී යාම සම්පූර්ණයෙන්ම තහනම් වේ. ඇල්කොහොල් අඩංගු පාන වර්ග මස් මාළු සහ බිත්තර වර්ග, සුදුලූණු, ලූණු ආදිය ආශ්‍රම භූමියෙහි භාවිතය තහනම් වේ. ඡායාරූප සහ වීඩියෝ ගැනීමේ තහනමක් නොමැත.

Tam Bao Son සෙනසුන සෑම වසරකම

  • මැයි 01 දා සිට ජූලි 01 දා දක්වා සති අන්ත දිනවල පමණක් පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා විවෘතව ඇත.
  •  ජූලි 02 දා සිට සැප්තැම්බර් 01 දා දක්වා දිනපතා පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා විවෘතව ඇත.
  • සැප්තැම්බර් 02 දා සිට දෙසැම්බර් 01 දා දක්වා නැවතත් සති අන්තයේ පමණක් පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා විවෘතව ඇත.
  • දෙසැම්බර් 02 දා සිට අප්‍රේල් 30 වෙනිදා දක්වා මෙම භූමිය මහජනතාව සඳහා විවෘත නොකෙරේ.

මෙම සොඳුරු අසපුව දැක බලා ගැනීමට ඔබත් කැමති නම් ඒ පිළිබඳව වැඩි විස්තර සහ ගමන් මග පිළිබඳ තොරතුරු www.tambaoson.com අඩවියෙන් ලබා ගත හැක.

 

සටහන – චමරි අබේසිංහ

සේයා රූ – ධනුෂ්ක 

Share this Post