[vc_row][vc_column][vc_column_text]කැනඩාවේ සෑම නිවසකම බේස්මන්ට් කොටසක් (පොළව මට්ටමට යටින් පිහිටි) දක්නට ලැබේ. මෙම බේස්මන්ට් කොටස පිළිබඳ ඔබ දැන සිටිය යුතු කරුණු කීපයක් පසුගිය දසත කලාපයෙන් අපි ගෙන ආවෙමු.  

මෙවර බේස්මන්ට් කොටස නිමා කිරීමේදී මතුවිය හැකි ගැටලු හා නීතිමය තත්ත්වයන් පිළිබඳවත් බේස්මන්ට් නිවස්නයක් සෞඛ්‍යයට හිතකර ලෙස පරිහරණය කළ යුතු ආකාරය පිළිබඳවත් ඔබේ අවධානය යොමුකරමු.

බේස්මන්ට් නිවස්න

බේස්මන්ට් කොටස නිම නොකළ නිවසක් මිල දී ගැනීමේදී කෙදිනක හෝ එම කොටස භාවිතයට ගත හැකි ලෙස නිමා කර ගැනීමේ බලාපොරොත්තුව ඔබ තුළ තිබිය හැකියි. ප්‍රධාන නිවසට අමතරව මෙම පොළව මට්ටමට පහළින් ඇති කොටස මනා ලෙස නිම කර ගැනීම තුළින් වාසි රැසක් උදාකර ගැනීමට ඔබට හැකි වෙයි. විශේෂයෙන්ම මෙම කොටස නිම කර ගැනීම තුළින් නිවසට අමතර මූල්‍යමය වටිනාකමක් එකතු වීම නිතැතින්ම සිදුවන්නකි. මන්ද යත් බොහෝ දෙනෙක් බේස්මන්ට් නිමා කළ නිවෙස් මිල දී ගැනීමට කැමැත්තක් දක්වන හෙයිනි. තවද ප්‍රධාන නිවසට තවත් ඉඩකඩ ඇති ප්‍රදේශයක් එක් වීමද මෙහි තවත් වාසියකි. ඒ වගේම මෙම කොටස කුලියට දී අමතර ආදායමක් උපයාගැනීමට හැකි වීමද මෙහි ඇති තවත් ප්‍රධාන වාසියකි. basement 2

මෙම කරුණු සැලකිල්ලට ගෙන හැකි පළමු අවස්ථාවේදීම මෙම නිම නොකළ බේස්මන්ට් කොටස නිමා කර ගැනීමට ඔබ පෙළඹීම සාමාන්‍ය තත්ත්වයකි. එහිදී ඒ සඳහා පළපුරුදු නිමකිරීම් කරුවන්ගේ සහාය ඔබට ලබාගත හැකි අතර ඊට අමතරව ඔබගේ අවධානය යොමුකරවිය යුතු අංග කීපයක්ද ඇත.

ගොඩනැගිලි බලපත්‍රය

ඔබ ගොඩනැගිලි ඉදිකරන්නෙකු වෙතින් (Builder) අලුත්ම නිවසක් මිල දී ගත්තද කලක් පාවිච්චි කළ නිවසක් මිල දී ගත්තද එහි ඇතැම් වෙනස් කම් හෝ නව ඉදිකිරීම් සිදුකිරීමේදී ඒ සඳහා කැනඩාවේ නීතියට අනුව ගොඩනැගිලි බලපත්‍රයක් (Building Permit) ලබා ගැනීම කළ යුතු වෙයි. මෙහිදී නිවසෙහි එක් එක් කොටස සඳහා ලබාගත යුතු ගොඩනැගිලි බලපත්‍ර වර්ග විවිධ ආකාර ගනී. ඒ පිළිබඳව අපි ඉදිරි කලාපයකින් කතා කිරීමට ඉඩ තබා බේස්මන්ට් කොටස පිළිබඳ අවධානය යොමු කරමු.

බේස්මන්ට් කොටස නිමාවට පත් කර ගැනීමේදී අනිවාර්යයෙන්ම ගොඩනැගිලි බලපත්‍රයක් ලබා ගැනීම කළ යුතු අතර මෙහිදී විවිධ නාගරික බල ප්‍රදේශවල පිහිටි නිවෙස් සඳහා ගොඩනැගිලි බලපත්‍ර ලබාදීමේදී විමසා බලන කරුණුවල සුළු සුළු වෙනස් කම් දක්නට ලැබේ. එහෙත් එහිදී පොදුවේ සලකා බැලෙන කරුණු කීපයක් මෙසේයි. එම ඉදිකිරීම සිදුකරන කලාපයේ නීත්‍යනුකූල බව (Zoning by-law) වාස්තු විද්‍යාත්මක සහ ගොඩනැගිල්ලේ ව්‍යුහාත්මක සැකිල්ල (Architectural / Structural) පොළොවේ සැකැස්ම (Floor Plans) (මෙහිදී විශේෂයෙන්ම මෙම සැකසුම ගිනි ගැනීම්වලින් විය හැකි විපත්වලින් ජීවිත සුරක්ෂිත කරගත හැකි අන්දමෙන් සැකසුණු එකක් විය යුතුයි) ජල නල, කසල නල (plumbing and/or drains) ආදිය එලෙන ආකාරය, විදුලි පද්ධතිය ආදිය පිළිබඳව විශේෂයෙන්ම සැලකිල්ල යොමු කරනු ලබයි.

නිම කර ඇති බේස්මන්ට් සඳහා හෝ නිම කිරීමට බලාපොරොත්තු වන බේස්මන්ට් සඳහා පිටතින් ඇතුළු වීමට දොරක් (separate entrance) දැමීමේදීද මේ ආකාරයෙන් ගොඩනැගිලි බලපත්‍ර ලබා ගැනීම සිදුකළ යුතු කාර්යයකි. බොහෝ විට මෙම ගොඩනැගිලි බලපත්‍ර ලබා ගැනීම මෙම කොටස ඉදිකිරීම සඳහා බාරදෙනු ලබන ඉදිකිරීම් කරුවා විසින් සිදුකරන අතර ඇතැම් විට ඒ සඳහා අවසර ලබාගැනීමට ඔබ ඉදිරිපත් විය යුතු අවස්ථාද ඇතිවිය හැකියි.

නීත්‍යනුකූල බේස්මන්ට් නිවාස – Legal Basement Apartment

නිවසක බේස්මන්ට් කොටස නිමා කළ පසු එය කුලියට දී යම් මුදලක් ලබා ගැනීම බොහෝ විට සිදුකරන දෙයකි. නමුත් මෙහිදී ඔබ කුලියට දෙනු ලබන්නේ නීත්‍යනුකූල බලපත්‍රයකින් තොර බේස්මන්ට් නිවස්නයක් නම් ඒ පිළිබඳව මඳක් සිතා බැලිය යුතු වෙයි.

නිවසකට අමතර කොටසක් (කුලී නිවසක් ලෙස පරිහරණය කළ හැකි ආකාරයේ) සම්බන්ධ කරගන්නා අවස්ථාවේදී එය සෑම විටම නීත්‍යනුකූල භාවයකින් යුක්ත විය යුතු බවට වූ නීති පද්ධතිය මුලින්ම එළිදක්වනු ලැබුවේ 1994 වසරේදීය. එවකට පැවති NDP රජය විසින් හඳුන්වා දෙන ලද මෙම නීතිය මගින් ඔන්ටේරියෝවේ පදිංචිකරුවන් විසින් ඔන්ටේරියෝව තුළ නිම කර කුලියට දෙනු ලබන සෑම බේස්මන්ට් නිවස්නයක්ම නීත්‍යනුකූල වීම අනිවාර්යය විය. එහෙත් මෙම නීතිය වසර 2 ක් වැනි කෙටි කාලයක් තුළදී වෙනස් වූ අතර නැවත බලයට පැමිණි කොන්සවේටිව් රජය විසින් මුලදී පැවති ආකාරයටම බේස්මන්ට් නිවස්න සෑදීමට අවසර ලබා දුනි. එහිදී NDP රජය ගෙන ආ ඔන්ටේරියෝවටම බල පැවැත්වෙන එකම නීතිය වෙනුවට නගරසභා බල ප්‍රදේශ සඳහා විශේෂිත වූ ක්‍රමෝපායන් හා නීති පද්ධතීන් හඳුන්වා දෙන ලදී.  basement3මෙහිදී සැලකිලිමත් වූ කරුණු අතර Fire Code පිළිබඳව විශේෂ අවධානය යොමු වී තිබුණි. පසුකාලයේදී බේස්මන්ට් නිවස්න සඳහා අවසර දීමේදී කලාපීය වශයෙන්ද කරුණු සලකා බැලුණු අතර මේ සඳහා අතුරු නීතියක්ද සම්මත කර ගැනුණි.

කෙසේ වුවත් මේ වන විට මෙම නීත්‍යනුකූල බේස්මන්ට් නිවස්න පිළිබඳව වූ නීතිරීති සම්පූර්ණයෙන්ම නගරසභා බල ප්‍රදේශ අනුව විවිධ වෙනස්කම්වලට භාජන වී ඇත.

මේ වන විට GTA බොහෝ නගරසභා බල ප්‍රදේශ තුළ බේස්ට්මන්ට් එපාර්ට්මන්ට් පවත්වාගෙන යාම තහනම් කර ඇත. ඒ Brampton, Markham, Thornhill, Woodbridge යන නගර තුළ බේස්මන්ට් එපාර්ට්මන්ට් සඳහා නීත්‍යනුකූල බලපත්‍ර ලබා දීම මේ වන විට නවතා දමා ඇත. මෙම නගර අතරට 2014 වසරේදී Mississauga නගරයද එක් විය. එහෙත් තවමත් ටොරොන්ටෝ නගරය තුළ බේස්මන්ට් එපාර්ට්මන්ට් තහනමකට ලක්ව නොමැති අතර ටොරොන්ටෝවේ තනි නිවාස (detached) සහ බද්ධ නිවාස (semi-detached)  සඳහා පමණක් නීත්‍යනුකූල බේස්මන්ට් නිවාස බලපත්‍ර ලබාදෙනු ලැබේ.

නීත්‍යනුකූල නොවන බේස්මන්ට් නිවාස – Illegal Basement Apartment

ටොරොන්ටෝව ඇතුළු GTA හි ඇති බේස්මන්ට් නිවාසවලින් වැඩි කොටසක් නීත්‍යනුකූල බලපත්‍රවලින් තොර ඒවා වෙයි. මෙයට හොඳම උදාහරණය ලෙස බ්‍රැම්ප්ටන් නගරය දැක්විය හැකියි. බ්‍රැම්ප්ටන්හි ඇති ලක්ෂ 5 කට අධික නිවාස සංඛ්‍යාවෙන් නීත්‍යනුකූල බේස්මන්ට් නිවෙස් පවතින්නේ 3,000 ක් පමණි. එහෙත් මේ බොහෝ බේස්මන්ට් නිවාසවල කුලී නිවැසියන් සිටින බව අප දන්නා කරුණකි. අමතර ආදායමක් ලැබීමේ අරමුණින් සිදුකරන මෙම කටයුත්තෙහි වරදක් පෙනෙන්නට නොවෙතත් නීත්‍යනුකූල නොවන බේස්මන්ට් නිවාස කුලියට දීම පරිපාලනමය නීති රෙගුලාසිවලට අනුව වරදකි.

ඇතැම් පැරණි නිවාසවල ඇති නීත්‍යනුකූල නොවන බොහෝ බේස්මන්ට් දීර්ඝ කාලීන වාසය සඳහා සුදුසු තත්ත්වයෙන් නොමැති අතර බොහෝ විට මේවායේ සම්මත ගිනි ආරක්ෂණ (fire and safety) ක්‍රම පවා නොතිඛෙන අවස්ථා දක්නට ලැබේ.

නමුත් ඇතැම් බේස්මන්ට් නිවස්න බොහෝ විට මනා ලෙස ඉදිකර ඇතත් ඒවා වෙත නීත්‍යනුකූල බලපත්‍ර නොමැති හෙයින් කුලියට දීම වරදක් ලෙස සැලකේ. මෙවන් තත්ත්වයක් යටතේ නගරසභා නීති රීතිවලට අනුව එම කුලී නිවැසියන් වහාම ඉවත් කිරීමට මෙන්ම නිවෙස් හිමියා යම් දඩ මුදලකට යටත් කිරීමද සිදුකළ හැකි වෙයි. මෙහිදී එම කුලී නිවැසියා හට සිදුවන සියලූම හිරිහැර සඳහා වගකීම නිවස හිමි තැනැත්තාට පැවරෙන අතර ඇතැම් විට කොටස් දෙකකින් යුක්ත වන ලෙස සැකසුණු නිවස තනි නිවසක් ලෙස භාවිත කිරීමටද උසාවියෙන් අණ කෙරෙනු ලැබේ.

ඔබ සතු නිවස ඔබ කැමති අයෙකුට කුලියට දී යම් මුදලක් උපයාගත නොහැකි අයුරින් මෙම නීති සකස් වී ඇත්තේ ඇයි ? මෙහිදී මෙම ගැටලුව ඔබට ඇති විය හැකියි.

කැනඩාවේ සෑම නගරයක්ම මනා සැලස්මක් සහිතව ඉදි වී ඇත. එහිදී පළාතක් නිර්මාණය කිරීමේදී එහි පදිංචි විය යුතු ජනගහනය පිළිබඳ නිශ්චිත තීන්දුවකට එළඹීම පළමු පියවර වේ. ඒ අනුව එම ජනගහනයට සරිලන ලෙස ඉදිවිය යුතු නිවාස සංඛ්‍යාව සහ ඒ හා බැඳෙන වෙනත් සමාජයීය වටාපිටාවද සැකසේ. උදාහරණයක් ලෙස, විවිධ වයස් කාණ්ඩවලට අයත් පදිංචිකරුවන් 5,000 ක් සඳහා වූ ප්‍රදේශයක් ගනිමු. මෙහිදී පාසල්, මහාමාර්ග, උද්‍යාන, රථගාල් ආදි බොහෝ දේ එම පදිංචිකරුවන් සඳහා පමණක් සෑහෙන ලෙස සැකසේ. ප්‍රධාන නිවසෙහි කොටසක් කුලියට දීම තුළින් මෙම ජනගහනය දෙගුණයකට කිට්ටු ගණනකට වැඩි වීම නිතැතින්ම සිදුවන්නකි. එහිදී නගරයෙහි සැලැස්ම මුළුමනින්ම අඩපණව යන අතර පාසල්වල තදබදය මෙන්ම අනෙකුත් සෑම කටයුත්තකදීම බලවත් අපහසුතාවකට මුහුණ පෑමට එම පළාතේ වැසියන්ට සිදුවේ. එසේ හෙයින් මෙසේ අප කැමති ලෙස අපගේ නිවස කුලියට දීමට නොහැකි සේ නීති සකස් වී ඇත.

නීත්‍යනුකූල බේස්මන්ට් සඳහා සලකා බැලෙන කරුණු

(මේ වන විට නීත්‍යනුකූල බේස්මන්ට් බලපත්‍ර ලබාදීම ටොරොන්ටෝවට පමණක් සීමා වී ඇති බව සිහි තබාගන්න)

  • වසර 5 ක් හෝ ඊට වැඩි වූ detached or semi detached නිවසක් විය යුතුයි.

  • ප්‍රධාන නිවසෙහි ඉදිරිපස පෙනුම කිසි සේත් වෙනස්කමකට ලක් නොකළ යුතුයි.

  • ප්‍රධාන නිවසට වඩා බේස්මන්ට් නිවස්නය අනිවාර්යයෙන්ම කුඩා විය යුතුයි.

  • සිවිලිමෙහි උස අවම වශයෙන් 6′ 5″ ක් විය යුතුයි.

  • ඌෂ්මකය (Furnace) සහිත කාමරයෙහිද සිවිලිමක් තිබිය යුතුයි.

  • දොරවල් ඝන ලී හෝ ලෝහවලින් නිමකළ යුතු අතර එහි ඝනකම 1.75″ ක් විය යුතුයි. පිටත දොරටුව 32″X78″ විය යුතු අතර ඇතුළත දොරවල්වල පහත අඟල් 1/2 ක හිඩැසක් තැබිය යුතුයි. (කාමර තුළ වාතය සංසරණය පහසු කිරීම මෙහි අරමුණ වෙයි)

  • ජනේලවල පරිමාණය 18″ කින් යුක්ත විය යුතු අතර අවශ්‍ය විටෙක විවෘත කළ හැකි විය යුතුයි. මෙම ජනේල බේස්මන්ට් නිවසෙහි පොළොවෙහි සිට අඩි 3 ක උසින් සවි වී තිබීම අනිවාර්ය වේ. (යම් හදිසි තත්ත්වයක් මතු වුවහොත් පහසුවෙන් එළියට පැනීමට හැකි වීම මෙහි අරමුණයි)

  • සෑම නානකාමරයක්ම ජනේලයකින් හෝ වායුව පිට කිරීමේ පංකාවකින් (exhaust fan) යුක්ත විය යුතුයි.

  • මුළුතැන්ගෙය අවම වශයෙන් වැඩ කරන තත්ත්වයේ පවතින ශීතකරණයක් සහ උඳුනකින් යුක්ත විය යුතු අතර exhaust fan එකක් සහිත විය යුතුයි.

  • අලුතින් ඉදිකරනු ලබන බේස්මන්ට් සඳහා බිල්ඩින් බලපත්‍රය තිබිය යුතු අතර බේස්මන්ට් කොටසෙහි පදිංචිකරුවන් සඳහා රථ නැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් (parking space) තිබිය යුතුයි.

  • ප්‍රධාන නිවසට සහ බේස්මන්ට් කොටසට වෙන වෙනම වූ Smoke alarms සවිකර තිබිය යුතු අතර ඒවායෙහි නඩත්තු පිළිබඳ වගකීම නිවස අයිතිකරුවා විසින් දැරිය යුතුයි. මෙහිදී ප්‍රධාන නිවස මහල් දෙකකින් යුක්ත වූවක් නම් ඉහළ මහලටද මෙම එලාර්ම් සවිකළ යුතු වෙයි. මෙහිදී නිදන කාමර ආශ්‍රිත ප්‍රදේශයට ආසන්නව මෙම සවිකිරීම සිදුකිරීමට වගබලා ගත යුතුයි.

  • නිවාස පද්ධති දෙකට වෙන වෙනම වූ Carbon Monoxide alarms සවි කළ යුතු අතර මෙය බොහෝ නාගරික බල ප්‍රදේශ තුළ නීතියක් ලෙසද ක්‍රියාත්මක වේ.

  • Electrical Safety Authority මගින් සිදුකරනු ලැබූ පරිපූර්ණ විද්‍යුත් පිරික්සුමක් සහිත විය යුතු අතර මෙහිදී යම් අඩුලුහුඬුකමක් පිළිබඳ සැකයක් මතු වුවහොත් වහාම එය පිළිසකර කිරීමට කටයුතු කළ යුතුයි.

  • ගිනි ප්‍රතිරෝධන පිළිබඳව තක්සේරු සහතික සහිත වීම අනිවාර්යය වන අතර හදිසි අවස්ථාවකදී පුද්ගලයින් ආරක්ෂාව පිළිබඳ විශේෂ සහතිකයක්ද අවශ්‍ය වෙයි. ඇතැම් විට මේ යටතේ ස්වයංක්‍රීය ජල විදින (sprinklered) සවි කිරීමට වුවත් සිදුවිය හැක.

  • නිවාස කොටස් 2 අතර ශබ්ද සංසරණය අවම මට්ටමක තිබිය යුතු අතර එහි අවම තක්සේරුගත අගය – STC 50 ලෙස සඳහන් වේ.

ඉහත කරුණුවලදී වඩාත්ම සැලකිල්ල යොමු වන අංගය ලෙස Ontario Fire Code නමැති කොටස දැක්විය හැකියි. ඒ යටතට ගැනෙන බේස්මන්ට් නිවසෙහි ඇති දොරටු, ප්‍රධාන නිවස හා බේස්මන්ට් නිවස වෙන් කර ඇති පිළිවෙළ (සිවිලිම, බිත්ති හෝ දොරවල්),  Smoke alarms, Carbon Monoxide alarm, විද්‍යුත් පිරික්සුම ආදිය ඉතාමත් නිවැරදි ආකාරයෙන් සවිකර තිබිය යුතුයි. Ontario Fire Code හි සම්පූර්ණ වගකීම නිවාස හිමියා සතු වන අතර කුලී නිවැසියන්ගේ ආරක්ෂාව ඔහු විසින් සහතික කළ යුතු වෙයි. යම් ආකාරයකින් මෙය කඩ කිරීමක් සිදුවී ඇති බව ඔප්පු වුවහොත් ඩොලර් 50,000 දක්වා දඩ මුදලකට යටත් කිරීමට හෝ වසරක සිරද~ුවමක් ලබාදීමට හැකියි.

සෞඛ්‍යයට හිතකර ලෙස බේස්මන්ට් නිවසක් භාවිතය

මිනිසුන් හා පාරිසරික වටාපිටාව අතර ඇති සංවේදිතාව අතිමහත් වූවකි. මෙම පාරිසරික තත්ත්වයන් ඉතා කුඩා ප්‍රමාණයකින් එහා මෙහා වීම තුළින් වුවත් යම් යම් රෝගාබාධ, අපහසුතා ආදියට අප ලක් වීමට පුළුවන. එම නිසා බේස්මන්ට් නිවාස පදිංචිය සඳහා තෝරාගැනීමේදී ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම වටී.

විශේෂයෙන්ම ස්වසනගත රෝගාබාධවලින් පෙලෙන පුද්ගලයන් හට බේස්මන්ට් නිවාසවල වාසය එතරම් සුදුසු නොවිය හැකියි. ඇතැම් බේස්මන්ට් නිවාස දැඩි අඳුරු ස්වභාවයකින් යුක්ත වන නිසා ඇදුම වැනි රෝගී තත්ත්වයන් කෙරෙහි ඍජුවම බලපෑම් එල්ල විය හැකියි.

විශේෂයෙන්ම නිවෙස් හිමිකරුවන් විසින් තමා විසින් කුලියට දී ඇති බේස්මන්ට් නිවාසයෙහි පැවැත්ම පිළිබඳව දැඩි අවධානයෙන් සිටීම කළ යුත්තකි. ස්වභාවයෙන්ම මඳ අඳුරකින් යුත් බේස්මන්ට් තුළ පුස් ඇතිවීම සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. බේස්මන්ට් නිවසක් නිම කිරීමේදී ඒ සඳහා ඇති නීති රීතිවලට අනුකූලවම ශීත ආවරණ (insulation) නිසි ලෙස යෙදිය යුතු අතර එසේ නොවුණහොත් බලශක්ති වැයවීම අධිකව සිදුවිය හැකියි. තවද සෑම විටම බේස්මන්ට් තුළට ජලය කාන්දු නොවන ලෙස පවත්වාගත යුතු අතර යම් විදියකින් ජල කාන්දුවක් හෝ ජල ගැල්මකට හසුවුවහොත් වහාම ඒ සඳහා අවශ්‍ය පිළියම් යෙදිය යුතුයි.

බේස්මන්ට් නිවාස සඳහා සිදුවිය හැකි උවදුරු අතර ප්‍රධාන වූවකි කෘමි උවදුර. වේයන්, ගුල්ලන් වැනි ඉතාමත් විනාශකාරී සතුන් බෝවීම තුළින් නිවසට දැඩි හානිදායක තත්ත්වයක් උදාවිය හැකියි. අඳුරු ස්වභාවය නිසා කැරපොත්තන් වැනි සතුන් බෝවීමටද බේස්මන්ට් තුළ පරිසරය ඉතාමත් හිතකර විය හැකියි. එම නිසා සෑම විටම ඉතාමත් ඉහළින් පිරිසිදු කම පවත්වාගෙන යායුතු බව බේස්මන්ට් නිවසෙහි සිටින කුලී නිවැසියන් දැනුවත් කර තැබීම යෝග්‍ය වේ.

ඉහත සඳහන් කළ කරුණු තුළින් බේස්මන්ට් නිවාස පිළිබඳව ඔබ වෙත යම් මූලික දැනුමක් ලැඛෙන්නට ඇතැයි අපි සිතමු.

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

Gamini

Gamini Abeysinghe – ABR, Certified Negotiation Expert
ඔන්ටේරියෝ නිවාස හා දේපොළ වෙළඳාම් සංගමයෙහි
බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත

Tel: 1-416 822 2789
Email : shinko@rogers.com
Web : www.gaminiabeysinghe.com

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post