ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් තේරීමේදී තරුණයන් සඳහා සියයට 25 ක හෝ ඊට වැඩි ඉඩ අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත.

දේශපාලනය සඳහා තරුණ නියෝජනයත් කාන්තා නියෝජනයත් ඉහළ දැමීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇති බව පැහැදිලිව පෙනී යන නිසා මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිසන් සභාවේ නියෝජිතයකු පවසා ඇත.

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතක් මගින් පළාත් පාලන ආයතන තුළ කාන්තා නියෝජනය ඉහළ දැමීමට කටයුතු කෙරුණු අතර තරුණ නියෝජනය සම්බන්ධ වූ වගන්තිද සංශෝධනය සිදුකෙරුණි. ඒ සමගම තරුණ නියෝජනය 25% කින් ඉහළ නැංවීම සිදුකෙරෙන ආකාරයට දේශපාලන පක්ෂ නාමයෝජනා ලැයිස්තු සකස්කරන ලෙස දේශපාලන පක්ෂ වෙත දැන්වීමටද නියමිතව ඇත.

මෙවර මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණ අතර විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ටද දේශපාලනයේ නිරත වීමට අවස්ථාව ලබා දීම කෙරෙහි අවධානය යොමු වී ඇත. එහිදී ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීමට කැමති විශේෂ අවශ්‍යතා සහිත වූවන් සඳහා ඊට අවස්ථාවක් ලබාදෙන ලෙස දේශපාලන පක්ෂ වෙත යෝජනා කිරීමට මැතිවරණ කොමිෂම අදහස් කරයි.

 

Share this Post