December 12, 2017

ඇමරිකාවේ ගිනි අවි භීතිය

ප්‍රචණ්ඩත්වය හා ගිනි අවි අතර ඇත්තේ නොබිඳ‍ෙන සබඳකමකි. මෙම දෙක එකතු වූ තැන ඛේදවාචකයක් මතුවීමද නොවැළැක්විය හැක්කකි. පසුගියදා ඇමරිකාවේ ලාස්වේගාස්හිදී සිදුවූ මහා මිනිස් සංහාරය පිළිබඳව සලකා බැලීමේදීද එය එලෙසින්ම තහවුරු වෙයි.

එම අති අමානුෂික ප්‍රහාරය පිටුපස ඇති වෙනත් බලවේග මොනවා වුවත් එහිදී අප ප්‍රධාන වශයෙන් සලකා බැලිය යුත්තේ තනි මිනිසෙකුගේ අතට මෙතරම් ආයුධ ප්‍රමාණයක් ලැබුණේ කෙසේද යන්න පිළිබඳවයි. එම ප්‍රහාරයත් සමගම ඝාතකයාගේ පැටිකිරිය සෙවීම ආරම්භ කර ඇති අතර එහිදී ඔහු සතුව තිබී සොයාගෙන ඇති ගිනි අවි සංඛ්‍යාව 45 කට අධික බව සඳහන් වේ.

මෙම අපරාදයත් සමගම ඔහු වෙත ගිනි අවි අලෙවි කළ ගිනි අවි වෙළෙඳුන් සිය හඬ අවදි කර ඇති අතර ඔවුන් සියල්ලන්ම පවසා සිටින්නේ මෙය අතිශයින්ම කණගාටුදායක සිදුවීමක් බවත් එය පිළිකුල් සහගතව හෙළා දැකිය යුතු බවත්ය. අවි වෙළඳුන් විසින් කරනු ලබන මෙම ප්‍රකාශ එක්තරා ආකාරයකට අප තුළ හාස්‍යයක් සහ මවිතයක් ඇති කරවයි. ගිනි අවියක් යනු ඕනෑම මොහොතක කුමන හෝ අපරාදයක් සඳහා යොදාගත හැක්කක් මිස සාමාන්‍ය ජන ජීවිතයට සෙතක් සලසන්නක් නොවේ. මේ ආකාරයේ අතිශය භයානක අවි ආයුධ සාමාන්‍ය මිනිසුන් අතට පත්කිරීමේදී එයින් විය හැකි හානිය හා කණගාටුදායක තත්ත්වය පිළිබඳව ඔවුනට කල්පනා නොවූයේ මන්දැයි සිතිය යුත්තකි.

එහෙත් මෙවැනි ඝාතන සිදුවීමකින් පසු ඇමරිකාවේ ගිනි අවි වෙළෙඳුන් වෙත එහි වගකීම පැවරීම හෝ චෝදනා කිරීම කිසිසේත් කළ නොහැක්කේ ව්‍යවස්ථානුකූල බලය මගින්ම ආයුධ මිල දී ගැනීම හා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එරට වැසියන්ට බලය හිමිව ඇති බැවිනි. සාමාන්‍ය පුරවැසියකුට ගිනි අවියක් ළඟ තබා ගැනීමට අවසර දී ඇති ලෝකයේ සෙසු  රටවල් අතරින් ඇමරිකාව අංක එකේ පසුවෙති.

ඇමරිකාවේ මෙම අවි ආයුධ සම්බන්ධ පනතට දීර්ඝ ඉතිහාසයක් ඇත. එය ඇමරිකාවට නව ව්‍යවස්ථාව හඳුන්වා දුන් මුල්ම කාලය දක්වා වූ දුරාතීතයට දිව යයි. ගිනි අවි සඳහා පනත 1871 දෙසැම්බර් 15 වෙනි දින ගෙන එන ලද දෙවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්ම ඇමරිකාවට හඳුන්වා දී ව්‍යවස්ථා මණ්ඩලය විසින්ම අනුමත කරගෙන ඇත. එම අවස්ථාවේදී ‘පුද්ගල අයිතිය පිළිබඳ පනත – Bill of Rights’ ලෙස ගෙන ආ  සංශෝධනය යටතේ සාමාන්‍ය පුරවැසියකුට වලංගු වන අයිතීන් 10 ක් ඇතුළත් කොට ඇති අතර මෙම අයිතීන් යටතේ ගිනි අවි මිල දී ගැනීම හා ළඟ තබා ගැනීම සඳහා ලබාදෙන අයිතියද ආවරණය කෙරෙයි.

මිනිස් ජීවිත 58 ක් බිලි ගනිමින් 500 කට අධික පිරිසකට තුවාල සිදුකරමින් පසුගියදා සිදුවූ වෙඩි තැබීම එරට තුළ ඒ ආකාරයට සිදුවූ පළමු අපරාධය නොවේ. ඇමරිකානු ඉතිහාසය පුරා මෙවැනි සමූල ඝාතන රැසක් සිදුවී ඇති අතර ඒ බොහෝ අපරාධ සිදුකර ඇත්තේ ගිනි අවි යොදාගනිමිනි. මෙවැනි විශාල සිදුවීමක් වූ විට එය මාධ්‍ය මගින් පුන පුනා ප්‍රචාරය කිරීම නිසා ඒ පිළිබඳව ලෝකයම දැනගත්තත් ඇමරිකාවේ නිවෙස්වල නිදැල්ලේ ඇති ගිනි අවි නිසා අප්‍රසිද්ධියේ සිදුවන මිනී මැරුම් සංඛ්‍යාව අසීමිතය. ඒ පිළිබඳව ඇති දත්ත වාර්තාවලට අනුව 2015 වසරේදී  සමස්ත ඇමරිකාව තුළ වෙඩි තැබීම් නිසා මියගොස් ඇති සංඛ්‍යාව 13,286 කුත් තුවාල ලබා ඇති සංඛ්‍යාව 26,819 කුත් ලෙස සඳහන් වේ.

ඇමරිකාවේ ගිනි අවි නීතිය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට සුළු සුළු වෙනස්කම් සහිත වන අතර ලාස්වේගාස් නගරය පිහිටි නෙවාඩා ප්‍රාන්තය එම නීති රීති වඩාත්ම ලිහිල්ව පවතින ප්‍රාන්තයක් ලෙස සැලකේ. ** නෙවාඩා හිදී ගිනි අවියක් මිල දී ගැනීමේදී ඒ සඳහා බලපත්‍රයක් අවශ්‍ය නොවන අතර එක් පුද්ගලයෙකුට ළඟ තබා ගත හැකි ගිනි අවි ප්‍රමාණයේ සීමාවක්ද පනවා නොමැත. එසේම එක් ගිනි අවියක් මිල දී ගෙන තවත් එකක් ගැනීමට කල් බලා සිටීමක්ද අවශ්‍ය නොවේ. එසේ මිල දී ගන්නා ගිනි අවි ලියාපදිංචි කිරීමක්ද අවශ්‍ය නොවේ. පාසල් හා විශ්වවිද්‍යාල භූමිවල හැර ඡන්ද මධ්‍යස්ථානයේ සිට කැසිනෝ ශාලාව දක්වාම වූ ඕනෑම තැනකට ගිනි අවි ප්‍රසිද්ධියේ රැගෙන යාමේ අයිතිය නෙවාඩා වැසියන් සතු වේ. එසේම සිල්ලර ගිනි අවි වෙළෙන්දෙකුගෙන් ගිනි අවියක් මිල දී ගන්නා පුද්ගලයන්ගේ පසුබිම් පරීක්ෂාව (background check) බැලීමේ නීතියද තවමත් නෙවාඩාවේ ක්‍රියාත්මක නොවේ. 2016 නොවැම්බර් මාසයේ පැවති ජනමත විමසුමකින් ගිනි අවි මිල දී ගන්නා පුද්ගලයන්ගේ පසුබිම් පරීක්ෂාව අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවට යෝජනාවක් සම්මත කර ගත්තද රජයේ නීතිපති විසින් එය බලාත්මක කිරීම මේ වන තෙක් සිදුකොට නොමැත.

නෙවාඩාහි ලාස්වේගාස් ප්‍රදේශය පිළිබඳව සලකා බැලුවහොත් එහි වසරකදී වෙඩි තැබීම් නිසා මිය යන සංඛ්‍යාව සිය ගණනකි. 2017 වසරේ ගතවූ මාස කීපය තුළ මිනිසුන් හතර දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඝාතනය වූ මහජන වෙඩි තැබීම් 8 ක් මේ ප්‍රදේශයෙන් වාර්තා වී තිඛෙන අතර 2009 වසරේ සිට එම ප්‍රදේශයේ පවතින වාර්තා සලකා බැලුවහොත් එවැනි මහා පරිමාණ වෙඩි තැබීම් 162 ක් පිළිබඳ සඳහන් වේ.

ඇමරිකාවේ වෙඩි තැබීම් ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේදී මෑත කාලයේ (2012 දෙසැම්බර්) කනෙටිකට් ප්‍රාන්තයේ නිව්ටවුන්හි ළදරු පාසල් දරුවන් 20 දෙනකු ඇතුළු 28 දෙනෙකු මරා දැමීමේ සිදුවීම, ගිනි අවි නිදැල්ලේ පරිහරණය කිරීමට අවසර දීමේ විපාකය පෙන්වීමට හොඳම උදාහරණයකි. මානසික ව්‍යාධියකින් පෙළුණු 20 හැවිරිදි තරුණයකු විසින් සිදුකළ මෙම ඝාතනයේදී යොදාගෙන තිබුණේ ඔහුගේම මවට අයත් ගිනි අවියයි. (මෙම පුද්ගලයා විසින් එදිනම නිවසේදී ඔහුගේ මවටද වෙඩි තබා ඝාතනය කොට ඇත). 2012 වසරෙන් පසු එරට තුළ සිදුවූ ගිනි අවි අපරාධ පිළිබඳව පමණක් සලකා බැලුවහොත් එතැන් සිට මේ දක්වා ඇමරිකාව පුරා සමූහ වශයෙන් ඝාතන සිදුකළ මහජන වෙඩිතැබීම් 1,518 ක් වාර්තා වී ඇත. දිනකදී ඇමරිකානුවන් 93 දෙනෙකුවත් තුවක්කුවලට බිලි වන බවත් සංවර්ධිත රටවල්වල තුවක්කු මිනීමැරුම් හා සැසඳීමේදී ඇමරිකාව තුළ එම තත්ත්වය සියයට 25 ගුණයකින් වැඩි බවත් සංඛ්‍යාලේඛන සඳහන් කරයි. පසුගියදා සිදුකර ඇති සමීක්ෂණයක සඳහන් වූයේ වෙඩි වැදීම නිසා සෑම වසරකම වයස අවුරුදු 17 ට අඩු ඇමරිකානු දරුවන් 1300 ක් පමණ මිය යන බවයි. මේ මිය යන දරුවන් අතරින් සියයට 82 ක් පිරිමි දරුවන් වන අතර කළු ජාතික දරුවන් ඊට ගොදුරු වීම වෙනත් දරුවන්ට වඩා දස ගුණයකින් වැඩි බව එහි සඳහන් වී ඇත.

ලොව සමස්ත ජනගහනයෙන් සියයට 4.4 ක්ම ඇමරිකානුවන් නියෝජනය කරන අතර එම සිවිල් වැසියන් අතරින් සියයට 40 ක්ම එක් ගිනි අවියකට හෝ කීපයකට හිමිකම් කියන්නෝ වෙති. එරට සාමාන්‍ය ජනයා සතු ගිනි අවි ප්‍රමාණය මිලියන 270 ත් 310 ත් අතර බව වාර්තාවල සඳහන් වේ. එහෙත් මෙම සංඛ්‍යාලේඛන පිළිබඳ අදහස් දක්වන ඒ පිළිබඳ විශේෂඥයකු වන Jon Vernick පවසන්නේ, ඇමරිකාව තුළ ගිනි අවි ගනුදෙනුවලින් සියයට 40 ක්ම බලපත්‍ර නොමැති වෙළඳුන් මගින් සිදුකෙරෙන නිසා රට තුළ සංසරණය වන ගිනි අවි සංඛ්‍යාව මෙම සංඛ්‍යාලේඛනවලට වඩා බොහෝ වැඩි විය හැකි බවයි.

ඇමරිකාවේ ගිනි අවි සංස්කෘතිය කෙතරම් සාමාන්‍යකරණය වී ඇත්ද යත් උපන්දින උත්සව, ප්‍රිය සම්භාෂණ ආදියේදී ඇතැම් අය තම හිතවතුන්ට තෑගි කිරීමට ගිනි අවියක් රැගෙන යාම දක්වා එය වර්ධනය වී ඇත.

රට හෙල්ලුම් කන ආකාරයේ ඝාතන සිදුවීමක් වූ සෑම අවස්ථාවකම ඇමරිකාවේ ගිනි අවි නීතිය නැවත සලකා බැලිය යුතුය යන අදහස දේශපාලනඥයන්, සමාජයේ ප්‍රධාන ක්‍රියාකාරිකයන්ගේ පටන් සාමාන්‍ය මහජනයා දක්වාම කියන කතාවක් වුවත් මෙතෙක් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමක් සිදුවී නොමැත. එක් පාර්ශ්වයක් ‘ගිනි අවි එපා’ කියද්දී තවත් පාර්ශ්වයක් ‘ගිනි අවි ඕනෑ’ කියා පවසයි. හැමදාමත් සිදුවන මෙම කඹ ඇදිල්ල නිසා ගිනි අවි සංස්කෘතිය අවසන් කර ගැනීම ඇමරිකාවට සිහිනයක් වී ඇත.

එරට දෙවැනි ව්‍යවස්ථාව මගින් ඇමරිකානු පුරවැසියන්ට හිමිකර දී ඇති ගිනි අවි පිළිබඳව වූ නිදහස අභියෝගයට ලක් කරමින් එය ‘අවම’ කළ යුතුයි යන කරුණ මත පිහිටා 2008 සහ 2010 යන වර්ෂවලදී ඇමරිකාවේ උපරිමාධිකරණයේ නඩු දෙකක් ගොනු වුවද එම නඩු දෙකේම අවසන් තීරණය වූයේ දෙවැනි ව්‍යවස්ථාවෙන් සංශෝධිත ‘ගිනි අවි නිදහස’ නිවැරදි වූවක් බවයි.

ඇමරිකාවේ ගිනි අවි භාවිතය සීමා කිරීමට අවශ්‍ය නව නීති සම්පාදනය කිරීමට උනන්දු වූ ජනාධිපතිවරුන් අතර බැරක් ඔබාමා ප්‍රධාන තැනක් ගනී. 2012 වසරේදී ළදරු පාසල් දරුවන් ඝාතනය කළ වෙඩි තැබීමත් සමගම ගිනි අවි භාවිතය පාලනය කිරීම කෙරෙහි ඔබාමා ජනාධිපතිවරයාගේ අවධානය දැඩිව යොමු විය. එහෙත් ජනාධිපතිවරයාගේ එම උත්සාහය ලත් තැනම ව්‍යර්ථ විය. තමාගේ පාලනය යටතේ ඇමරිකාවේ තුවක්කු සංස්කෘතිය වෙනස් කිරීමට දරන උත්සාහයට රිපබ්ලිකන් පාක්ෂිකයන් සහයෝගයක් නොදෙන බවට ඔහු එහිදී චෝදනා කොට තිබුණි. ඉන්පසුව 2015 වසරේදී ඔරිගන් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් 9 දෙනෙකු මරුමුවට පත්වූ අතර නැවතත් තුවක්කු භීතිය ඇමරිකාව පුරා පැතිරුණි. ඒ සමගම තුවක්කු සංස්කෘතිය පාලනය කිරීමට දැඩි පියවර ගන්නා බවට ඔබාමා ජනාධිපතිවරයා නැවතත් ප්‍රතිඥා දුන්නද එයද පෙර පරිදිම වචනයට පමණක් සීමා කීරිමට ඔහුට සිදුවූයේ ඊටද කොංග්‍රසයේ නිසි සහයෝගය නොලැබුණු හෙයිනි. 2016 ජූනි මාසයේදී ෆ්ලෝරීඩාහි සමරිසි රාත්‍රි සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් 49 දෙනෙකු මරු මුවට පත්වීමත් සමග ගිනි අවි සඳහා දැඩි සීමා පනවන ලෙස ඉල්ලමින් ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් කොංග්‍රස් මණ්ඩල සභා ගැබේ බිම වාඩි වී විරෝධය පළ කළහ. රැයක් එළිවනතුරු සභා ගැබේ රැඳී සිටිමින් මන්ත්‍රීවරු මෙම විරෝධයට එක් වුවද  එයින්ද සිදුවූ වෙනසක් නොමැත. මේ කිසිවකින් ඇමරිකාවේ ගිනි අවි පිළිබඳ පවතින නීති රීති සෙලවීමටවත් නොහැකි වී ඇති අතර ඒවා අදටත් එදා පැවති ආකාරයෙන්ම නිරුපද්‍රිතව පවතී.

ඇමරිකාවේ පවතින ගිනි අවි නීතිය නොකඩවා ක්‍රියාත්මක කළ යුතු බව පවසන ප්‍රබලම කණ්ඩායම එරට ජාතික රයිෆල් සංගමයයි. (National Rifle Association of America (NRA)) 1871 දී බිහි වූ මෙම සංගමය සතු වත්කම් ප්‍රමාණය අතිමහත්ය. ගිනි අවි නීතිය රැක ගැනීමේ අයිතිය වෙනුවෙන් ඔවුන් එම අතිවිශාල ධනස්කන්ධය කිසිදු ලෝභකමක් නොමැතිව වැය කරයි. විශේෂයෙන්ම ඇමරිකානු ජනාධිපතිවරණවලට, මැතිවරණවලට පවා මොවුන් මැදිහත් වී තම අයිතීන් ආරක්ෂා කරන අපේක්ෂකයා ඉදිරියට ගෙන ඒමට මුදල් වීසි කරන බව නොරහසකි.

පසුගියදා ලාස් වේගාස්හි ඇති වූ අමානුෂික සිදුවීමත් සමගම ඇමරිකාවේ ගිනි අවි සම්බන්ධයෙන් පවතින නීති රීති පිළිබඳව නැවත සිතා බැලිය යුතු යැයි බොහෝ දෙනෙකු පවසති. ඇමරිකානු මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම වෙඩිතැබීම් දෙක මාස 18 ක් ඇතුළත වාර්තා වීමත් සමගම පවතින ගිනි අවි නීතිය වෙනස් නොකළහොත් මෙවැනි ඛේදජනක සිදුවීම් නැවත නැවත අසන්නට, දකින්නට ලැබීම වැළැක්විය නොහැකි බව බහුතරයගේ අදහසයි. මේ පිළිබඳව අදහස් දක්වන සිවිල් වැසියන් පුන පුනා පවසන්නේ ඇමරිකාවේ දොරින් දොර පිරී ඉතිරී යන ලෙස තුවක්කු පැවතීමෙන් සියලුම පවුල් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවයි.

පසුගිය කාලය පුරා ඇමරිකාවේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් බොහොමයක් අන්තවාදී කණ්ඩායම්වල ගිණුම්වලට බැර විය. මෙහිදී එම අපරාධ සිදුකළවුන් ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වීමට කිසිවෙකුත් මැළි කමක් නොදැක්වීය. එහෙත් 58 දෙනෙකු ඝාතනය කළ ලාස්වේගාස් තුවක්කුකරුවා සම්බන්ධයෙන් එවැනි හැඳින්වීමක් මෙතෙක් කර නොමැති වීම පිළිබඳව බොහෝ දෙනෙකු මේ වන විවිධ අදහස් පළ කරමින් සිටී. එහිදී ඇතැම් අය ගෙන එන තර්කය වන්නේ පුවත්පත් හා අනෙකුත් මාධ්‍ය මගින් මෙම පුද්ගලයාව විවිධ අනවර්ථ නම්වලින් හැඳින්වූවත් ‘ත්‍රස්තවාදියා’ ලෙස හඳුන්වන්නේ නැත්තේ ඇයිද යන්නයි.

ලාස් වේගාස් ප්‍රහාරයට ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ සම්බන්ධයක් ඇත්ද යන්න තවමත් තහවුරු වී නොමැති අතර මෙම පුද්ගලයා මානසික ආබාධයකින් පෙළුණු තැනැත්තෙක් බවටද ස්ථිර  වී නොමැත. මෙම වෙඩි තැබීම සිදුවී පැය කීපයක් ගත වන විටම අයිසීස් සංවිධානය විසින් එහි වගකීම ඔවුන් වෙත පවරා ගැනීමට උත්සාහ කළද ඝාතකයා එම සංවිධාන සමග කටයුතු කළේද යන්න තවමත් හෙළිදරව් වී නොමැත. එහෙත් යම් ආකාරයකින් මේ පුද්ගලයා ඉස්ලාම් භක්තිකයකු වූවා නම් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වීමට ඉඩ තිබුණු බවත් එහිදී ඔහු ජාත්‍යන්තර ත්‍රස්තවාදයට සම්බන්ධ වූවත් නැතත් ‘ත්‍රස්තවාදියා’ යන ලේබලය නිකම්ම ඇලවෙන බවත් සමාජ ජාල ඔස්සේ අදහස් දක්වන්නන් පවසා සිටී.

නෙවාඩාහි නීතියට අනුව, සාමාන්‍ය ජනතාවට භෞතික හානි හෝ මරණයට පත්කිරීම සිදුකරමින් කඩාකප්පල්කාරී ලෙස ප්‍රචණ්ඩත්වය යොදාගැනීමට උත්සාහ කිරීම ‘ත්‍රස්තවාදී ක්‍රියාවක්’ ලෙස හැඳින්වේ. එසේ නම් මේ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සුදු ජාතිකයකු වුවත් සුප්‍රසිද්ධ ත්‍රස්තවාදී කල්ලිවලට සම්බන්ධ වී සිට නැතත් (මේ පිළිබඳව තවම තහවුරු වී නොමැත) ඔහුව ‘ත්‍රස්තවාදියා’ ලෙස හැඳින්වීමට දෙසැරයක් සිතිය යුතු නැත.

මෙම සමූල ඝාතනය පිළිබඳව කණගාටුව පළ කරන ඇමරිකානු ඉස්ලාම් භක්තිකයකු සිය ෆේස්බුක් පිටුවෙන් ප්‍රශ්න කොට සිටින්නේ ‘මෙය ‘ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාරයක්’ වූවා නම් තමාටත් තම පවුලටත් ඇමරිකාව තුළදී දැනෙන පීඩනය, සුදුජාතිකයකු විසින් කළ මෙම සාහසික අපරාධයේදී සුදු ජාතිකයින්ට නොදැනෙන්නේ ඇයි?’ දැයි යනුවෙනි. මෙවැනි අපරාධයක් කළ පුද්ගලයා සුදු ක්‍රිස්තියානියකු වූ වහාම ඔහු මානසික රෝගියකු බවට පත්වී එම සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පෙරළී ‘ත්‍රස්තවාදියා’ යන නාමයෙන් ඔහු නිදහස් වන්නේ කෙසේදැ? යි ඔහු විමසා සිටී.

සටහන – මේඝා

* * http://www.cnn.com/2017/10/02/health/nevada-gun-laws-trnd/index.html
Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*