October 22, 2017

ළමා කවිය සහ භාෂා සංකල්ප සාධනය

ළමයාගේ අධ්‍යාපන ක්‍රියාවලියෙහිලා සංකල්ප සාධනය ඉතා වැදගත් ස්ථානයක් ගනී. බිළිඳු අවධියේ සිටම ඉන්ද්‍රිය අත්දැකීම් මගින් ළමයා ඇතිකර ගන්නා සංකල්ප අර්ථාන්විත කර ගැනීමට ඇති ප්‍රබලතම මාධ්‍යය භාෂාවයි. සංකල්ප ඇතිවීමෙහිලා ද වර්ධනය වීමෙහිලා ද පදනම වන්නේ භාෂාවයි. එය සෑම භාෂාවකටම පොදු වූ මූලධර්මයකි. ප්‍රාථමික අධ්‍යාපන ක්‍රියාවලියෙහිලා ළමයා තුළ භාෂා සංකල්ප ගොඩනැංවීම අත්‍යවශ්‍ය කාර්යයක් බව අධ්‍යාපනඥයෝ අවධාරණය කරති.
ළමයා ඇස, කන, නාසය වැනි ඉන්ද්‍රියයන් මගින් ‘ඉන්ද්‍රිය ප්‍රතිබිම්බ’ ඇතිකර ගනියි. කල්යාමේ දී එකී ප්‍රතිබිම්බ ස්ථාවර චිත්ත රූප බවට පත් වෙයි. නිදසුනක් වශයෙන් ළමයා තම නිවසෙහි වූ ‘පුටුවක්’ දකියි. එහි හිඳගනී. එයින් ළමයාගේ මනස තුළ පුටුවෙහි හැඩය, ප්‍රමාණය ආදිය ගැන චිත්ත රූපයක් මැවෙයි. ළමයාගේ වැඩීමත් සමගම පුටුව සහ නිවසෙහි අනෙකුත් ගෘහභාණ්ඩ අතර වෙනස හඳුනා ගනියි. අනතුරුව පුටු අතර වෙනස, ළමා පුටු, විසිත්ත කාමරයේ පුටු, පන්ති කාමරයේ පුටු ආදි පුටුවල වෙනස හඳුනාගනී. අත්දැකීම් පුළුල් වීමත් සමගම මනෝරටා ද පුළුල් වෙයි.
ඇපල් ගෙඩියක් දුටු විට මුලින්ම එහි හැඩය හා වර්ණය ළමයාගේ ඇසට ගොදුරු වෙයි. අතට ගත්විට එහි දැඩි බව දැනෙයි. නාසයට ළං කළ විට සුවඳ දැනෙයි. ආහාරයට ගත්විට රස දැනෙයි. මෙසේ ඉන්ද්‍රිය ප්‍රතිබිම්බ දෘශ්‍ය, ශ්‍රව්‍ය, ආඝ්‍රාණ, රස හා ස්පර්ශ යනුවෙන් පස් වැදෑරුම් වෙයි. එ්වා හැඳින්වීමට ද්‍රව්‍යය හා වචනය අතර සම්බන්ධය ගලපා ගනී. මෙම සංකල්ප ඇති වීම සහ වර්ධනය එ්කාබද්ධ ක්‍රියාවලියකි.
ළමයා පුද්ගලයන් පිළිබඳව ඉන්ද්‍රිය ප්‍රතිබිම්බ ඇතිකර ගන්නේ ද එලෙසමය. මුලදී හැඬීමෙන් තම අවශ්‍යතා සපුරාගන්නා ළමයා, තමා ආදරයෙන් තුරුළු කරගෙන තම අවශ්‍යතාවන් සපුරාලන මව පිළිබඳව ඉන්ද්‍රිය ප්‍රතිබිම්බ ඇතිකර ගනී. පියා, සොයුරු සොයුරියන් ආදීන් පිළිබඳව ද එසේමය. ඔවුන් හැඳින්වීමට ව්‍යවහාර කෙරෙන වචන ඇසීමෙන් පුද්ගලයන් හා වචන, නොඑසේනම් නාමය ගළපා ගනියි.
බිළිඳු අවධියෙහි සිටම ළමයා භාෂාව ඉගෙන ගන්නේ තමාගේ සමීප පරිසරයෙහි වෙසෙන පුද්ගලයන්ගේ කතාබහට සවන් දීමෙනි. කතාබහ කරන ආකාරය, වචන ප්‍රකාශන විධි සහ වාග්මාලාව ළමයාගේ භාෂාවට බලපාන බව වැඩිහිටියන්ගේ සැලිකිල්ලට භාජන විය යුතුය. මුලින්ම ළමයා යම් යම් ශබ්ද සමූහයක් තම ස්මෘති සන්තානයෙහි එකට ඈඳා ගනියි. යම්කිසි අරමුණු සමූහයක් ‘අම්මා’ යන ශබ්දය සමග ඈඳා ගනියි. ළමයාගේ වැඩීමත් සමගම අම්මා පිළිබඳව ඔහු තුළ ඇතිවන්නේ සංකීර්ණ හැඟීම් සමුදායකි. එය ‘මාතෘ ප්‍රේමය’ නමින් හැඳින්වෙයි. අකාරුණික පුද්ගලයා පිළිබඳව ඇතිකර ගන්නේ අප්‍රසන්න හැඟීම්ය. භාෂාව ද මනුෂ්‍යයාගේ විවිධ අත්දැකීම් සමග සම්බන්ධ වී පවතින්නකි. ළමා මනසට භාෂාව ඈෙඳන්නේ මෙම අත්දැකීම්ද සමගය.
පාසල් අධ්‍යාපනය බිහිවීමට පෙර සිටම ‘භාෂා සංකල්ප සාධන ක්‍රියාවලිය’ පිළිබඳව මනා අවබෝධයක් තිබූ බවට නැළවිලි ගී, ඔංචිලි කවි, රබන් පද, තේරවිලි කවි ආදිය ප්‍රබල සාධකයන් ලෙස දැක්විය හැකිය. කවිය යනු ‘රසවත් වැකියකි'(වාක්‍යම් රසාත්මකම් කාව්‍යම්) යයි විශ්වනාථයෝ පැවසූහ. කවිය රස වින්දනාත්මක අගයකින් යුක්තය. රසාස්වාදයට බාල, තරුණ, මහලු සියල්ලෝම කැමැත්තෝය. ‘රසය’ යනු වින්දනයකි. භාවමය ආස්වාදයකි. කවියේ අදහස නොදැන වුවද තාලයකට ගායනා කිරීමට ළමයින් කැමතිය. ළමයාගේ පරිකල්පන ශක්තිය හා නිර්මාණ ශක්තිය වර්ධනය කිරීමට ද කවිය මහඟු ආධාරකයකි. මුල් අවධියේදී භාෂා භාවිතය නිසා ලැබූ රස වින්දනය පසු අවධියේ දී භාෂා දක්ෂතාවට පදනමක් වෙයි.

අතට වෙරළු ඇහිඳ ගෙනේ
ඉණට පළා නෙලා ගෙනේ
බරටම දර කඩාගෙනේ
එයි අම්මා විගසකිනේ

දරුවාගේ සමාජයෙහි ඉඩ වැඩි වශයෙන්ම අයත්වන්නේ අම්මාටය. මෙම නැළවිලි ගීය තුළින් මව පිළිබඳ සංකල්ප සාධනයක් ඇති කෙරෙයි. මවගේ ආදරය පමණක් නොව නිවසෙහි ඇයට තිඛෙන කාර්යභාරය පිළිබඳ සංකල්පයක් ද ජනිත වෙයි.

පුංචි අම්ම සීදේවී – ඇඳුම් ජෝඩුවක් දේවී
අතේ වළල්ලක් දාවී – කරට මාලයක් දේවී

‘පුංචි අම්මා’ පිළිබඳ ළමා මනසෙහි මැවෙන්නේ තෑගි බෝග ද රැගෙන එන සමීප ඥාතිවරියකගේ චිත්ත රූපයයි. ඉංග්‍රීසි සාහිත්‍යයේ නැළවිලි ගීත ද බොහෝ දුරට මෙයට සමානය.

Sleep my baby on my bosom
Warm and cozy will it prove
Round thee mother’s arms are folding
In her heart a mother’s love.

නූතන සිංහල ළමා පද්‍ය රචකයන් ද මේ පිළිබඳව අවබෝධයෙන් යුතුව ළමා පද්‍ය රචනය කළ බව මුනිදාස කුමාරතුංගයන්ගේ ‘නැළවිල්ල’ පද්‍ය රචනයෙන් පැහැදිලි වෙයි. දැඩි නිහඞතාවෙන් යුතු පරිසරයක් මැවීමට ඔහු උපයෝගී කොටගන්නේ දරුවාගේ ‘නින්ද’ යි. 3

සිසිල් වෙතියි සඳ ඉතා – සාවා එහි පැන ගතා
රසින් අඩක් නොනවතා – සිටී ද එ් හොඳ සතා

සඳපානේ වැලිතලා – සුර කුමරියො මල්සලා
නටති මෙදෙස බලබලා – ගිගිරි වළළු පය නොලා

කවියා මවන පරිසරය ළමයා සිතින් මවන සුරංගනා ලෝකය හා ඛෙහෙවින් ගැළපෙයි. අවට පරිසරය ගිලගත් නිශ්ශබ්දතාවෙහි දැඩි බව පිළිබඳ සංකල්ප රූප මැවෙයි. ලෙනාඩ් ජයසේකරගේ ‘තොටියා’ නමැති පද්‍ය රචනය පුද්ගලයන් පිළිබඳව සංකල්ප රූපණය කෙරෙන්නකි.

සුදු අරලිය මල් අරගෙන – අම්මල නංගිලත් එක්ක
පෝයදාට කැලණි යන්නෙ – ඔරුවෙ නැගීලා

බිළිඳු වියෙන් බහ තෝරන අවධියට සම්ප්‍රාප්ත වන දරුවා පිළිබඳව ද ආදියෙහි සිටම මව තුළ අවබෝධයක් තිබූ බව පෙනේ. එදා ‘බහ තෝරනවා’ යනුවෙන් හැඳින්වූයේ අර්ථ සහිතව වචන කීපයක් ගළපා කියන අවස්ථාවයි. ළමයා පහසුවෙන් ඉගෙන ගන්නේ යම්කිසි දෙයක් හා බැඳුණු වචන සහ ඇසට ගොදුරු වන, නිරීක්ෂණය කළහැකි ක්‍රියාවන් කියැවෙන වචනයි.

හබුං කටයි බත් දෙකටයි
මගේ පුතා ඔක්කොම කයි

ළමයාගේ කතාබහට හවුල් වීම භාෂාව ඉගෙනීමට මහඟු ආධාරකයක් වන අතරම බත් කටවල් කිහිපයක් ද ළමයාගේ මුවට වැටෙයි. කුස ද පිරෙයි. තම පරිසරය හඳුනාගැනීමට ද ළමයා උදවු කරගන්නේ භාෂාවයි. තමා අවට ඇති සෑම දෙයකටම නමක් ඇති බව ළමයා ඉගෙනගන්නා මුල්ම පාඩමයි.

කපුටු කාක් කාක් කාක්
ගොරක ඩේං ඩේං ඩේං
දොරකඩ ගහේ පුවක් පුවක්
බට පඳුරේ බුලත් බුලත්

එකම වචන නැවත නැවත රිද්මයට ගායනා කිරීම හා ශබ්ද ධ්වනියෙන් ජනිත වන රස වින්දනය හේතු කොටගෙන ළමයාට පරිසරයේ දෑ සහ එ්වාට භාවිත වන නම් එකට ඈඳාගැනීම පහසු වෙයි.

උඩින් උඩින් වර පෙත්තප්පු
බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර – බිමින් බිමින් වර
පිට්ටු කන්න වර – පෙත්තප්පු

රබන් පද ළමයාගේ භාෂා වර්ධනයට හා භාෂා සංකල්ප සාධන ක්‍රියාවලියට ආධාරකොට ගතහැකි පද්‍ය විශේෂයකි. ‘පෙත්තප්පු’ යන සුරතල් නමින් හැඳින්වෙන්නේ ගිරවාය. ඔවුන්ට ආරාධනා කරන්නේ තමා ප්‍රිය කරන පිට්ටු කන්නටය. මෙයින් සත්ව කරුණාව ද ළමයා තුළ ඇති කරවයි. මෙසේ රිත්මික වචන භාවිත කෙරෙන ඉංග්‍රීසි ළමා ගීතයක් පහත දැක්වෙයි.

Lavender’s blue, dilly dilly,
Lavender’s green
When you are King, dilly dilly,
I shall be Queen.

සංකල්ප සාධන ක්‍රියාවලියට පමණක් නොව ළමයාගේ සදාචාර වර්ධනය සඳහා ද ජනකවි උපයෝගී කොටගෙන ඇති බව පැහැදිලිය. ඔංචිලි පැදීම වැටි වැටී ඇවිදින අවධියෙහි වූ දරුවන් ඉතා ප්‍රිය කරන ක්‍රීඩාවකි. ඔංචිලි පදින්නේ ගීත ද ගායනා කරමිනි.

yyyඅත්ත උසං උසං උසං
ජම්බු පොකුරු සිලිං සිලිං
ලොකු අක්කේ පදිං පදිං
ජම්බු කඩං ඛෙදං ඛෙදං

ඔංචිලි පදින්නේ අක්කාය. ඔංචිල්ලාව බැඳ තිඛෙන්නේ ජම්බු ගසේය. ඔංචිල්ලාව ඉහළ පහළ යන විට ජම්බු කැඩිය හැකිය. ‘උසං’, ‘සිලිං’, ‘පදිං’, ‘ඛෙදං’ ආදී ශබ්ද ධ්වනිය කුළු ගැන්වෙන වචනවලින් රසවින්දනය කුළුගැන්වෙයි. අක්කාට ආයාචනා කරන්නේ තනියම ජම්බු නොකා අනෙක් අයටත් ඛෙදන ලෙසටය. කවියෙන් උපදෙස් දෙන්නේ අණ කිරීමෙන් නොව ව්‍යංගයෙනි. එවිට ළමයා එය මනාව ධාරණය කරගනී.

Baa, baa, black sheep,
Have you any wool?
Yes, sir, yes, sir,
Three bags full;
One for the master,
And one for the dame,
And one for the little boy
Who lives down the lane.

මෙම පද්‍යයෙන් ද ගම්‍යවන්නේ මෙම උපදේශයයි.

මේ ගසේ බොහෝ – පැණි දොඩම් තිබේ
පැහිල ඉදිල බිමට නැමිල – බරවෙලා අතු
නංගිටයි මටයි – ගෙඩි දෙකක් ඇතී
වැඩිය කඩන නරක ළමයි – එහෙම නොවේ අපී

ගෙඩි පිරී ඉතිරී අතු බිමට නැමුණු පැණි දොඩම් ගසක සංකල්ප රූපයට අමතරව කෙතරම් දොඩම් ප්‍රමාණයක් තිබුණ ද අවශ්‍ය ප්‍රමාණයට පමණක් එනම් දොඩම් ගෙඩි දෙකක් පමණක් කඩා ගතයුතු බවට උපදේශයක් ලැඛෙයි.
ගණිත සංකල්ප වර්ධන ක්‍රියාවලියෙහිලා ද ජනකවි උපයෝගී කොටගෙන ඇති ආකාරය වැදගත්ය. මෙය රස වින්දනයත් සමගම ළමයාගේ බුද්ධි වර්ධන ද කරවන සුලුය.

අප්පුඩි පුඩි පුවත්තා
කැවුම් දෙකක් දෙයත්තා

ළමයාට හුරු පුරුදු රසවත් කෑමක් වන කැවුම් දෙකක් සහ දෙඅත් සමාන කරමින් ‘දෙක’ යන ගණිත සංකල්ප සාධනය කරයි. අනතුරුව තම නිවසෙහි වසන පුද්ගලයන් සහ අසල්වාසීන් උපයෝගී කොටගෙන ගණිත සංකල්ප නිර්මාණය කෙරෙයි.

අපේ ගෙදර තුන්දෙනයි – උඩහ ගෙදර තුන්දෙනයි
පහළ ගෙදර තුන්දෙනයි – තුන් පොලේම නවදෙනයි

පහත සඳහන් පද්‍යයෙන් අවධානය යොමු කෙරෙන්නේ පරිසරයටයි. පරිසරයේ වෙසෙන සතුන්ටයි.

රන් රඹුටන් ගස් දෙකයි
ගිනි කුකුළන් පස්දෙනයි
උන්ගෙ කරේ බොත්තමයි
බලන්න හරි ලස්සණයි

වවුල් දහයි දහයි දහයි
කොක්කු දහයි දහයි දහයි
අහසේ උඩ නගියි නගියි
පදිමු අපිත් එහෙයි මෙහෙයි

ළමයා මනා අවධානයෙන් යුතුව කවි රස විඳිමින් දෙකේ සිට දහස දක්වා ගණිත සංකල්පය උගනියි. ඉංග්‍රිසි භාෂාවේ ද ගණිත සංකල්ප සාධනය කෙරෙන්නේ මේ ආකාරයටමය.

One, two, three, four, five,
Once I caught a fish alive,
Six, seven, eight, nine, ten,
Then I let it go again.
Why did you let it go?
Because it bit my finger so.
Which finger did it bite?
This little finger on the right.

විද්‍යාත්මක සංකල්ප සාධනය සඳහා ද ජනකවි ආදිය උපයෝගී කොටගත හැකිය. බහ තෝරන වියෙහි වූ දරුවෙකුට අව්ව, වැස්ස සහ සුළඟ ගැන කී කවියක් මෙසේය.

අව්වයි වැස්සයි නරියගේ මගුලයි
දොරකඩ පොල් ගහ ඩාං ඩෝං

මුදවන ලද කිරි දරුවා රුචි කරන ආහාරයකි. සෞඛ්‍යයට ද හිතකර වූවකි. ‘කිරි මිදෙන්නේ කෙසේද?’ යන ප්‍රශ්නය නැගීමට මනස මෙහෙයවනසුලු පද්‍යයකි මේ.

සඳපතිගෙන් කිරි දෝලා – සඳවත සේ මුදවාලා
අනේ නෑනො නැත නොකියා – මට දීකිරි දීපන්නේ

දරුවා ‘සඳ’ සහ ‘කිරි’ හට්ටිය අතර සමානතාවක් දකියි. කිරිපැණි ඉල්ලන්නේ ද හඳ මැද සිටින හාවාගෙනි. එමෙන් යමක් ඉල්ලනවිට ඉතා ආචාරශීලිව කළ යුතු බවට උපදේශයක් ද දෙයි.

සසඳ සසඳ දියපල්ලේ තිඛෙයි අල
සසඳ සසඳ දිය මතුපිට තිඛෙයි කොල
වැස්සට පිනිබබා මෝරන කැකුළු මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල

ජලාශයක් උඩ පිපී තිඛෙන නෙළුම් මල වැඩෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ළමයාට ලැඛෙයි. අපූර්ව වූ චිත්ත රූපයක් ද මැවෙයි. ‘සසඳ’ යන වචනය යොදා තිඛෙන ආකාරය ළමා රුචිය වර්ධනය කරවනසුලුය. මෙයට සමාන ඉංග්‍රිසි ළමා කවියක් මෙසේය.

I’m a little teapot
Short and stout
Here is my handle
Here is my spout
When I get all steamed up
Hear me shout
Tip me over and pour me out.

තේ පෝච්චිය පිළිබඳ ක්‍රියාකාරකම් සහිතව ගායනා කළ හැකි ඉහත සඳහන් පද්‍යය සංකල්ප රූප දනවන අයුරින් ජලයෙහි උෂ්ණත්වය, වාෂ්පවීම ආදි විද්‍යා සංකල්ප සාධනය කිරීමට ද පොහොසත්ය.

තම පරිසරය හඳුනා ගැනීමට ළමයාට ආධාර වන්නේ භාෂාවයි. පරිසරය පිළිබඳ අවබෝධය සහ පරිසරයට ආදරය කිරීම ළමයින් තුළ අවශ්‍යයෙන්ම ඇති කළ යුතු ගුණාංගයකි. භාෂා වර්ධනයට හා සංකල්ප සාධන ක්‍රියාවලියට ආධාර වන ආකාරයට ළමා කවි රචනා කිරීමට බොහෝ කවීන් දස්කම් දක්වන බව කිව යුතුය. ආනන්ද රාජකරුණාගේ ‘තාරකා’ කවි පන්තිය මෙයට කදිම නිදසුනකි.

දිලිහි දිලිහි
ආකාසේ
බබළන මල් – තාරකා

බැබළි බැබළි
ආකාසේ
දිලිහෙන මල් – තාරකා

අහස පුරා විසිර ගිය තාරකා දැකීමෙන් ප්‍රබෝධයට පත් වූ දරුවෙකුගේ සිත තුළ ඇති වූ හැඟීම් මෙයින් නිරූපණය වෙයි. ළමයාගේ අත්දැකීම් සීමිතය. තමා නිතර දෙවේලේ දකින මල් සහ තාරකා අතර සමානත්වයක් දකියි. සමාන පද සංඝඨනයෙන් අපූර්ව වූ ධ්වනියක් ගම්‍ය වෙයි.

Twinkle, twinkle, little star,
How I wonder what you are!
Up above the world so high,
Like a diamond in the sky.

ළමයින්ගේ ප්‍රියතම ගීතයක් වූ ඉහත සඳහන් ඉංග්‍රිසි පද්‍යයද මේ ගනයට වැටෙයි.

රන් පිඟාන ලෙස වටකුරු
දිලිහි දිලිහි තිඛෙන අපුරු
හඳහාමියෙ ! හඳහාමියෙ !
කිරිත් පැණිත් දියෝ ! දියෝ !

ආනන්ද රාජකරුණාගේම නිර්මාණයක් වූ ‘හඳ’ නමැති කවි පෙළෙහි කවියකි, ඉහත සඳහන් වූයේ. කුඩා දරුවා ‘සචේතනික’ හා ‘අචේතනික’ වශයෙන් වෙනසක් නොදකී. ඔහුට ‘හඳ’ ද සචේතනික වස්තුවකි. ‘හඳහාමී’ යයි අමතමින් කිරි පැණි ඉල්ලන්නේ එහෙයිනි. කවියා ළමා මනස පිළිබඳව මනා අවබෝධයෙන් යුක්තව සංකල්ප රූප සාධනයට හිතකර වූ චමත්කාරජනක කාව්‍යයක් නිර්මාණය කිරීමට සමත් වී තිබේ. එස්. මහින්ද හිමියන්ගේ ‘රාත්‍රිය’ නමැති කවිපෙළ ද රසවින්දනය තීව්‍ර කරමින් චිත්තරූප නැංවීමට සමත් සාර්ථක නිර්මාණයකි.

6

සමන් පිච්ච මල් ඉහිරුණු – නිල් තණකොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු – කොච්චර ලස්සන ද රෑට

බකමූණෝ පියාඹතී – අනික් කුරුල්ලෝ නිදතී
බෝ අතුවල එල්ලීගෙන – මා වවුලෝ කෑගසතී

අහසේ තරු වැල් පිරිලා – පොළවේ සුදු මල් පිපිලා
මගුල් ගෙවල් දෙකක් වගෙයි – මේ දෙපළම හැඩ ගැහිලා

කුඩා දරුවා දිවා භාගයෙහි දුටු තණකොළ පිට්ටනියත්, නිල් අහසත්, තාරකා හා සමන්පිච්ච මල් අතර සමානත්වයක් දකියි. අහසේ තරුවැල් සහ පොළවේ සුදු මල් ළමයා දුටු මගුල් ගෙවල් දෙකක් මෙන් සුන්දරය. එමෙන්ම රාත්‍රියට නිදන කුරුල්ලන් සහ අවදියෙන් සිටින කුරුල්ලන් පිළිබඳව ද අවබෝධයක් ලබයි.
ළමයාගේ වචන දැනුම අල්පය. පෙරපාසල් අවධිය වනවිට වාං මාලාව පොහොසත් කරවීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. මෙහිලා වාක්‍ය ගෙතීම පිළිබඳ අවබෝධය ද වැදගත්ය. වචන දැනුම පුළුල් වූ තරමට වාක්‍ය නිර්මාණය කිරීම ද පහසු වෙයි. පසු අවධියේ දී මෙම දැනුම නිර්මාණාත්මක ලිවීමට සහ කථන වර්ධනයට උපකාරී වෙයි. පුද්ගලයන්ට පමණක් නොව සෑම වස්තුවකටම ‘නමක්’ ඇති බව මේ වනවිට ළමයා අවබෝධ කරගෙන සිටියි. එම වස්තූන් වෙන්කොට හඳුනාගැනීම ද අත්‍යවශ්‍යය. මේ සියලූම දෑ රසවින්දනයත් සමග කිරීමට ‘කවියට’ හැකියාව ඇත. ආනන්ද සමරකෝන්ගේ ‘ජාති ජාති මල්’ කවිපෙළ මල් වර්ග සහ එයට භාවිත වන නම් ඉගැන්වීමට සමත් වෙයි.

කැළේ පිපෙන මල් – ඉද්ද මූන මල්
විලේ පිපෙන මල් – ඕලූ නෙලුම් මල්

මිදුලෙ පිපෙන මල් – රෝස සමන් මල්
වත්තෙ පිපෙන මල් – නිදිකුම්බා මල්

විවිධ මල් වර්ග දකින ළමයාට තමා සමීපයෙහි ඇති වස්තූන් සිහිපත් වන ආකාරය මුනිදාස කුමාරතුංගයන්ගෙන් ‘මල් බස්’ නමැති කවි පන්තියෙන් කදිමට නිරූපණය වෙයි. එමෙන්ම සංකල්ප සාධන ක්‍රියාවලියට ද උපකාරී වෙයි.

ගස අගනා – අර රඳනා
මලට මනා – බොහොම හිනා

සුපිපුණ බුත් – සරණ පෙළෙත්
දේදුන්නෙත් – කිය වෙනසැත්

ගස වතුසුදු – වී පිරිසිදු
පොහොය නැතිදු – සිල්ගත් බඳු

බුත්සරණ මල් විවිධ වර්ණ මිශ්‍රිතය. එය දුටු විට ළමයාට සිහිපත් වන්නේ දේදුන්නයි. සුදු පැහැයෙන් බබලන වතුසුදු මල් පොහොය නැතුව ද සිල්ගත් උවසු උවැසියන් මෙනි. යෝග්‍ය උපමා රූපක භාවිත කෙරෙන්නේ චිත්ත රූප දනවන ආකාරයටය.

Yellow yellow daffodil, dancing in the sun..
oh yellow , yellow daffodil, you tell me spring has come.
I can hear a blue bird sing, and hear a robin call.
but yellow yellow daffodil I love you most of all.

ඩබ්. එ්. අබේසිංහගේ ‘අවුරුදු’ නමැති කවි පන්තිය අවුරුදු කාලයේ ස්වාභාවික සෞන්දර්යයක් ළමයා තුළ ජනිත වූ සතුටක් නිරූපණය කෙරෙන්නකි.

අඹ රඹුටන් ජම්බු ඉදෙන අවුරුදු කාලේ
ජමනාරන් දොඩම් පැහෙන අවුරුදු කාලේ
දොඹ ගස් යට මල් වැටිලා අවුරුදු කාලේ
අපේ ගමට ඔන්න ඇවිත් අවුරුදු කාලේ

පෙර පාසල් අවධියේ සිටම ‘රචනය’ පිළිබඳ අවබෝධයක් ලබාදීම වැදගත්ය. පසු අවධියේ දී නිර්මාණාත්මක ලිවීමට උපකාරීවන නිසාය. ගද්‍ය, පද්‍ය රචනා නිර්මාණයට ඛෙහෙවින් ඉවහල් වෙයි. මෙහිලා ‘ළමා කවි කතා’ උපයෝගී කොටගත හැකිය. එය ළමයාගේ පරිකල්පන ශක්තිය වර්ධනය කිරීමට ද උපකාරී වෙයි. පහත සඳහන් ජන කවි මෙයට නිදසුනකි.

ටිකිරි ටිකිරි ටිකිරි ලියා
කළෙත් අරන් ළිඳට ගියා
ළිඳ වට කර කබර ගොයා
කකුළ කාපි දිය බරියා

Jack and Jill went up the hill
To fetch a pail of water.
Jack fell down and broke his crown,
And Jill came tumbling after.

ආනන්ද රාජකරුණාගේ ‘රෝසමල’ නමැති කවි පන්තිය ‘කවි කතා’ ගනයට වැටෙයි.

රෝස මලේ – නටුවෙ කටු
වන බමරෝ – ඔහොම හිටු

නටුව නොවේ – මල සිඹිමී
මම ළමයෝ – පැණි උරමී

වන බමරෝ – මෙහෙම මලක්
පැණි තොපටයි – මල අපටයි

හිමිදිරියේ සුපිපුණ රෝස කුසුමක් දෙස බලාගෙන සිටින ළමයාට මලට ඇදෙන බමරෙකු පෙනේ. සැණෙකින් ළමයා බියපත් වෙයි. එ් රෝස කටු සිහිවීමෙනි. බමරාට එදෙසට නොයන ලෙස පැවසූ විට ඔහු සිනාසෙයි. මන්ද? බමරා එන්නේ පියාඹාගෙනය. ළමයා එ් බව නොදනියි. බමරාගේ වදනින් ඔහු පුදුම වෙයි. වචන ස්වල්පයකින් රස ජනනය කරවන කතන්දරයක් නිර්මාණය කළ සැටි අපූරුය. මුනිදාස කුමාරතුංගයන්ගේ ‘හාවාගේ වග’ කවි පන්තිය ද ‘කවිකතාවට’ කදිම නිදසුනකි.

r3හා හා හරි හාවා – කැළේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා – වටපිට ඇහැ ලෑවා

කොළ දෙකටක් කෑවා – පැන් උගුරක් බීවා
තණබිස්සේ බාවා – ඇඟපත සැතපූවා

බිරුම් හ~ක් ආවා – ඉහළ වීසි වූවා
කොඳු ඇට හිටවූවා – කන්දෙක දිග පෑවා

මෙම පැදි පෙළෙහි භාවිත කර ඇති යෙදුම්වලින් ළමයාගේ සිතෙහි සුරතල් හාවෙකුගේ ක්‍රියා කලාපය පිළිබඳ වාග් චිත්‍රයක් මැවෙයි. බිරූ හඬත් සමගම හාවා තිගැස්සුණු අයුරුත්, බියවූ අයුරුත්, විමසුම් ඇසින් අවට බැලු අයුරුත් රමණීය ලෙස චිත්‍රණය වෙයි. මෙම ලිපියෙහිලා උපයෝගී කොටගෙන ඇත්තේ පද්‍ය ස්වල්පයක් පමණි. සම්පූර්ණ පැදිපෙළ අධ්‍යයනයෙන් පාඨකයාට මනා අවබෝධයක් ලබාගත හැකිය. පහත දැක්වෙන ඉංග්‍රිසි පද්‍යය විමසා බලන්න.

The itsy bitsy spider climbed up the waterspout.
Down came the rain
and washed the spider out.
Out came the sun
and dried up all the rain
and the itsy bitsy spider climbed up the spout again.

අපට කෙමෙන් අමතක වීගෙන යන ‘තේරවිලි කවි’ ළමයාගේ භාෂා සංකල්ප සාධන ක්‍රියාවලියට පමණක් නොව බුද්ධි වර්ධනයට ද උපකාරී වන කාව්‍ය විශේෂයකි. කොස් ගෙඩිය පිළිබඳ තේරවිල්ලකි, මේ.

අත්තක් උඩ බුම්මාගෙන
කටු රෙද්දක් පොරවාගෙන
එල්ලී ඉන්නේ කවුදෝ ?

එවැනි තේරවිලි කවි රාශියක් ජන සාහිත්‍යයෙහි අන්තර්ගතය. සිංහල භාෂාවේ පමණක් නොව ඉංග්‍රිසි භාෂාවේ ද තේරවිලි කවි දක්නට ලැඛෙයි.

I gave my love a chicken
That had no bone
I told my love a story
That had no end
I gave my love a baby
With no crying.

A cherry when it’s blooming
It has no stone
A chicken when in the shell
It has no bone
The story of how I love you
It has no end
A baby when it’s sleeping
It’s no crying.

භාෂා සංකල්ප සාධන ක්‍රියාවලියෙහිලා ජනකවි සහ නූතන ළමා කවි උපයෝගී කොටගත හැකි ආකාරය විමංශනයට භාජන කරන ලද ඉහත කී සිංහල හා ඉංග්‍රිසි පද්‍ය කෘතීන්ගෙන් පැහැදිලි වෙයි. මෙහිලා ළමයාගේ එ් එ් සංවර්ධන අවධිවලට ගැළපෙන කවි තෝරා ගැනීම පිළිබඳව විශේෂ අවධානය යොමුවිය යුතුය. දරුවාගේ වයස, වචන සීමාව පිළිබඳ මනා අවබෝධයක් තිබීම ද වැදගත්ය. ළමා මනසට යෝග්‍ය වන සාර්ථක පද්‍ය කෘතීන්ගෙන් රසවින්දනයට අමතරව විද්‍යා, ගණිත, භාෂා අධ්‍යයනයට මෙන්ම පරිකල්පන ශක්තිය හා නිර්මාණ ශක්තිය ද වර්ධනය කළ හැකිය. ප්‍රාථමික අධ්‍යාපන ක්‍රියාවලියට වැදගත්වන ශ්‍රවණය, කථනය, කියවීම සහ ලිවීම යන හැකියාවන් වර්ධනය කිරීමට ද උපකාරී වෙයි.

 

Swarna Chandrsekare

ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර විසිනි

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*