ඇමරිකා-කැනඩා දේශ සීමාව හරහා පැමිණෙන සරණාගතයින් සංඛ්‍යාව මේ වන විට විශාල ලෙස වැඩිවෙමින් පවතින බව ඒ පිළිබඳව දිනෙන් දින ලැඛෙන වාර්තා තහවුරු කොට සිටී. ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ට්‍රම්ප් දිවුරුම් දීමත් සමගම මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇති අතර පසුගිය මාස කීපය තුළ ඇමරිකාවේ සිට පවුල් පිටින් පයින්ම දේශ සීමාව තරණය කොට පැමිණ ඇති පිරිස සිය ගණනකි. ඉදිරියේදී පැමිණෙන උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග එහෙන් මෙහෙට සංක්‍රමණය වන්නන් සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩිවිය හැකි බව මේ පිළිබඳව තොරතුරු දැක්වෙන වාර්තා පෙන්වා දේ.
මෙසේ ඇමරිකාවේ සිට පැමිණෙන දේශපාලන රැකරවණය පතන්නන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමගම එයින් මතුවන ප්‍රායෝගික හා දේශපාලන පීඩනය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළ යුතු බව ෆෙඩරල් රජයේ බහුතරයකගේද අදහස වී ඇත. එ් සඳහා විශේෂ කැබිනට් මණ්ඩල හමුවක්ද පැවැත්වීමට මේ දිනවල කටයුතු යොදමින් පවතින බව වාර්තා වේ.
කැනඩාව සහ එක්සත් ජනපදය අතර දේශසීමා 117 ක් පවතින අතර එයින් කිලෝමීටර් 9000 ක පමණ ප්‍රමාණයක් අනාරක්ෂිතව පවතී. පසුගිය වසර 2 ක තුළ පමණක් සරණාගතයින් දහස් සංඛ්‍යාත සංඛ්‍යාවක් දේශ සීමා පැන මෙරටට පැමිණ ඇත. Canada Border Services Agency වාර්තාවලට අනුව 2016 වසරේදී පමණක් 7000 කට අධික පිරිසක් පැමිණ ඇත. බහුතරයක් පිරිස මැනිටෝබා සහ ක්විඛෙක් දේශ සීමාවන් හරහා පැමිණෙන අතර එසේ පැමිණි ඇති සංඛ්‍යාව 3000 ඉක්මවා ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන කැනඩා රේගු සහ ආගමන සංගමය පවසන්නේ, දේශ සීමාව හරහා නීතිවිරෝධීව කැනඩාවට ඇතුළු වන මෙම පුද්ගලයින් පිළිබඳව දැඩි ලෙස අධ්‍යයනය කළ යුතු බවත් එ් පිළිබඳව ටෘෘඩෝ රජයේ අවධානය යොමු විය යුතු බවත්ය. කැනඩාව සරණාගතයින් පිළිගැනීම පිළිබඳව ගැටලූවක් නැති වුවත් මෙසේ පැමිණෙන පුද්ගලයින් සමග මත්ද්‍රව්‍ය, අවි ආයුද ආදි විවිධ බරපතල අවස්ථාවන්ද මතුවිය හැකි බව ඔවුන් පෙන්වා දේ. මේ පිළිබඳව අවධානය යොමු නොකළහොත් එය දැඩි අර්බුදයක් විය හැකි බවත් රටෙහි දේශසීමා ආරක්ෂා කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් බවත් ඔවුන්ගේ අදහසයි.

Share this Post