October 22, 2017

ආලෝකයේ නගරයේ අඳුරු ගුහාව

මිලියන 6 ක් එකම සුසානයක නිදන මළවුන්ගේ අධිරාජ්‍යය

ලෝකයේ දහස් සංඛ්‍යාත වූ ප්‍රධාන නගර අතරින් ප්‍රංශයේ පැරිස් නුවරට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එම නගරයට මේ අනගිභවනී තත්ත්වය හිමිවීමට එහි ඇති බාහිර සුන්දරත්වය මෙන්ම තවත් විශේෂිත වූ කරුණු කාරණා රැසක් හේතු වී ඇත.
වර්ග කිලෝමීටර සියයකට මඳක් වැඩි භූමි ප්‍රමාණයකට හිමිකම් කියන පැරිස් නගරයෙහි සෑම බිම් අඟලක්ම කුමක් හෝ පෞරාණික සුවිශේෂත්වයකට උරුමකම් කියයි. සුන්දර සේන් නදියේ දෙපසින් පිහිටා ඇති මේ මනරම් භූමිය තුළ වර්තමානයෙහි ශේෂ වී ඇති සුවිශේෂීතාවන් දෙස බැලීමේදී අතීතයේ මෙහි තිබූ ශ්‍රී විභූතිය කෙලෙසදැයි යම් තරමකට හෝ මවා ගත හැකිය.

fgt

 

fgg
මීට සියවස් කීපයකට ඉහත (1789-1799) ලෝක දේශපාලනයේ බරපතල විපර්යාසයක් සිදුකළ ප්‍රංශ මහා විප්ලවය ඇරඹි තිඹිරිගෙය මේ නගරය වූවාක් මෙන්ම මහා දාර්ශනිකයින්, චින්තකයින්, කලාකරුවන් රැසක් පොහොණි කළ සරු බිම වූයේද පැරිසියයි. එක් කලෙක යුරෝපයේ පැවති සමෘද්ධිමත්ම රට ප්‍රංශය වූ අතර යුරෝපයේ තිබූ විශාලතම නගරය වූයේ පැරිසියයි. එකල යුරෝපයේ සිටි ජනගහනය හා සැසඳීමේදී අතිවිශාල ජනකායක් ජීවත් වූ පැරිසිය තුළ ඇති වෙමින් පැවති විද්‍යා, කලා හා ශාස්ත්‍රීය පුනරුදය නිසාම මෙම නගරයට City of Light එසේත් නැතිනම් City of Enlightenment ලෙස අනවර්ථ නාම පටබැඳී තිබුණි. තවත් අයෙකු එය හැඳින්වූයේ City of Love නමිනි. සැබවින්ම එ් නම පැරිසියටම ගැළපෙන්නකි. එය එතරම්ම ආදරණීය නගරයකි.
මහා කලාගාරයක් බඳු සුන්දර නොට්‍රඩෑම් දේවස්ථානය (Notre Dame cathedral), පෞරාණික විරල නිර්මාණ රැසක මුල් කෘති අඩංගු ලුවර් කෞතුකාගාරය (Louvre Museum), පැරිසියේ සලකුණ බඳු වූ අයිෆල් කුලුන (Eiffel Tower) මේ නගරයෙහි ඇති ප්‍රධානතම ස්ථාන අතරින් කීපයකි. මීට අමතරව නගරය පුරාම ඇති පැරණි දේවස්ථාන හා ගොඩනැගිලි මෙහි ඇති ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කරවයි.
ප්‍රංශයේ පැරිසිය ඓතිහාසිකව පමණක් නොව වත්මනෙහිද ලොව විවිධ පෙරළි ඇති කළ සන්ධිස්ථානයකි. අද වන විට විලාසිතා ලොව සුන්දර නිමැවුම් රැසක් බිහිවන්නේ ප්‍රංශයේ පැරිස් නුවර මූලික කරගනිමිනි. එ් නිසාම ලොව ජේත්තුකාරයන්ගේ අගනගරය ලෙසද පැරිසිය හැඳින්විය හැක. විවිධ වූ නවතම විලාසිතාවන්ගෙන් හැඩ වැඩ වුණු ගැහැනු පිරිමි පැරිසියට නුහුරු දසුනක් නොවේ.
පාර දෙපැත්තේ සොඳුරු සල් පිල් මැද
දෙව්ලොව නැති සැප විකුණන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන
මසුරන් තඹයට දෙන්නේ……..
‘තාරාවෝ ඉගිලෙති’ නාට්‍යයේ එන ගී පදවැල් මතකයට නැගෙන මෙපුර සිරි විසිතුරු එමටය. නගරය පුරා ඇති ප්‍රණීත ආහාර පාන පිරි කැෆේ අවන්හල් කොහේවත් නැති බඩගින්නක් අවුස්සාලයි.

මළවුන්ගේ අධිරාජ්‍යය

සුරපුරක අසිරිය ගනිමින් නිරතුරුව පණගැහෙන, ඇසට හසුවන ආලෝකයේ සොඳුරු නගරය-පැරිසිය තුළ අඳුරු සුවිසල් ප්‍රාණය නිරුද්ධ නගරයක් සඟවාගෙන සිටින බව ඔබ දැන සිටියාද? එ් සැඟවුණු මහා නගරයේ මිලියන සංඛ්‍යාත වූ පිරිසක් සැතපී සිටින බව ඔබ දැන සිටියාද?
අද්භූත විමානයක සිරි දනවන එම නගරය පැරිසියේ ‘මළවුන්ගේ අධිරාජ්‍යය’ – The Empire of the Dead ලෙස හැඳින්වේ. මේ මළවුන්ගේ අධිරාජ්‍යය පැරිස් නගරයට යටින් පිහිටි සැතපුම් දෙසීයකට ආසන්න බිම් වපසරියක් පුරා දිව යන භූගත උමං ජාලයක් තුළ පිහිටුවා ඇත. එහි නිදන්නවුන් සංඛ්‍යාව කෙතෙක්දැයි නිශ්චිතවම පැවසීමට කිසිවෙකුත් සමත් නොවූවත් එහි ඇති මිනිස් හිස් කබල් හා අස්ථී කොටස් ඇතුළු අවශේෂ කොටස් දළ වශයෙන් ගණනය කිරීමෙන් මිලියන 6 කට අධික සංඛ්‍යාවක් එහි නිදතැයි අනුමාන කෙරෙයි.
පැරිස් උමං සොහොන් සංකීර්ණයෙන් (The Catacombs of Paris)ඉතාමත්ම ස්වල්ප කොටසක් (සැතපුම් 1.2 ක්) පමණක් නරඹන්නන් සඳහා විවෘතව පවතින අතර මළවුන් නැරඹීමේ මෙම සංචාරය සඳහා ආසන්න වශයෙන් විනාඩි 45 ක පමණ කාලයක් ඔබට ගත කළ හැක. එහෙත් මේ මළවුන්ගේ රාජ්‍යය නැරඹීමට යෑමට පෙර සිහි තබාගත යුතු වැදගත්ම කරුණක් ඇත. එ් මිනිස් ඇටකටු, හිස්කබල් ආදි කොටස් දැකීමෙන් මොනයම්ම ආකාරයේ කම්පනයකට පත්වන අයෙකු නම් හෝ වැසුණු, ඇහිරුණු, ආවරණය වුණු ස්ථානවල සිටීමෙන් භීතියට පත්වන්නකු (claustrophobic) නම් මෙම උමං සොහොන නැරඹීමට යාමෙන් වැළකී සිටිය යුතු බවයි.
උමං සොහොන් සංකීර්ණය නැරඹීම සඳහා දිනකට විශාල සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණෙන අතර එතුළට පිවිසීමේ අවස්ථාව ලබා ගැනීම සඳහා පැය කිහිපයක් පෝලිම් ගැසී සිටීමට සිදුවේ. උමං මගට පිවිසි පසු එතුළ ඇතිවන තදබදය වැළැක්වීම සඳහා සෑම විටෙකම 200 ක කණ්ඩායමක් පමණක් උමං ගුහාව තුළට පිවිසවීම නිසා මෙවැනි පෝලිම් ගැසීමක් එහි දොරටුව අසළ නිරතුරුවම දක්නට ලැබේ.
පැරිසියේ උමං දුම්රිය මාර්ග, කසල හා මළ ප්‍රවාහන නළ මාර්ග ආදි සියල්ලටම යටින් මීටර 20 ක පමණ ගැඹුරින් මෙම භූගත මළවුන්ගේ රාජ්‍යය පිහිටුවා ඇත. සාමාන්‍යයෙන් පස් මහල් ගොඩනැගිල්ලකින් බැසීම තරම් වූ පහතින් පිහිටි මෙම උමං සොහොනට පිවිසීම සඳහා පඩි 83 කින් පමණ යුත් සර්පිලාකාර පියගැටපෙළක් බැසිය යුතු වේ.

eත්‍රාසය, භීතිය, කුතුහලය පිරි මෙහි ඇතුළු වන විටම දක්නට ඇත්තේ Arrête! C’est ici l’empire de la Mort යන ප්‍රංශ වැකියයි. එහි තේරුම ‘නවතින්න. මෙහි මරණයේ අධිරාජ්‍යය පිහිටා ඇත’ යන්නයි.
හුණුගලින් වට වූ මේ උමං සොහොන තුළ බූවල්ලකු අඬු විහිදුවාගත් සේ එක් එක් අතට විහිදී පැතිරී ගිය මාර්ග රැසකි. මේ සෑම පාරක්ම දැඩි තෙතමනයෙන් යුතු, පුස් ගඳ ගසන, පටු ලෙස්සන සුළු ගමන් කිරීම අසීරු මාර්ග වේ. නරඹන්නන් සඳහා අවසර දී ඇති ඉසව් තරමක් නඩත්තු කර ඇති නිසා ඇවිද යෑම එතරම්ම දුෂ්කර නොවූවද ඇතුළුවීමට තහනම් කලාපවල තත්ත්වය නම් යහපත් නැති බව කිව යුතුය. එසේම මේ තහනම් කලාපවලට බැරි වීමකින් හෝ යම් අයෙකු ඇතුළු වුවහොත් නැවත එ්මට මග සොයා ගැනීමට නොහැකි වීමෙන් මහත් පීඩාවට පත්වන බවද නිසැකය. දස අතට විහිදී ගිය එම උමං සොහොන් බිමෙහි මාර්ග ජාලය එතරම්ම සංකීර්ණය.

dd

f
නරඹන්නන් සඳහා ඇති පටු මාර්ගයෙහි බොහෝ ස්ථානවල දෙපස බිත්ති සකස් කොට ඇත්තේ එක උඩ එක සිටින සේ ඇසිරූ දස දහස් සංඛ්‍යාත මිනිස් ඇටකටු සහ හිස්කබල්වලිනි. ශත වර්ෂ ගණනාවකට පෙර මළවුන් වෙත ගිය පැරිසුනුවන් මිලියන ගණනකගේ අස්ථී කොටස්වලින් සැදි මේ ඇටකටු පවුරු තුළින් ගමන් ගන්නා විට ඇතිවන්නේ වචනයට පෙරළිය නොහැකි මහා මූසල භීතියකි. මිලියන සංඛ්‍යාත වූ මේ මළවුන් මීට ශත වර්ෂ කීපයකට පෙර මෙම බිම් ගෙයට ඉහළින් ඇති සුන්දර පැරිසියේ කොතරම් ප්‍රීති ප්‍රමෝදයෙන් පසුවන්නට ඇත්ද? මේ ඇට කැබලිති අයිතිකරුවන් තුළ කොතරම් සුන්දර අසුන්දර වූ කතා, අත්දැකීම්, රහස් තියෙන්නට ඇත්ද? 2
මඳ අඳුරු බල්බවලින් ආලෝකවත් කර ඇති ගමන් මග එහි ඇති භීතිය තව තවත් තීව්ර කරවයි. ආරුක්කු සහිත මගෙහි ඇතැම් තැනක අඩි 10 ක පමණ උසට හුණුගල් බිත්ති දක්නට ඇත. මේ බිත්ති සියල්ලම හැඩ කර ඇත්තේ පැරිසියේ ආදි මුතුන් මිත්තන්ගේ ඇටකටුවලිනි. හදවත් හැඩය, කුරුස හැඩය ආදි විවිධ වූ නිර්මාණාත්මක හැඩතල යොදාගනිමින් ඇටකටු හා හිස්කබල්වලින් මේ බිත්ති හැඩගන්වා ඇත්තේ එලොවෙහි නිවෙස් මේ වගේ විය හැකි යැයි ඉඟි දෙමිනි.

මළවුන්ගේ අධිරාජ්‍යයේ ඉතිහාසය

මිලියන සංඛ්‍යාත මළවුන් පිරිසක් එකම සුසානයක නිදන් කරවූ ලොව විශාලතම භූගත අමු සොහොන මෙම අඳුරු ගුහා සංකීර්ණයයි. යුරෝපයේ හදවත බඳු අති සුන්දර පැරිස් නගරයේ පොළොව යටට මෙවැනි අසුන්දර පරිසරයක් සහිත සුසාන නගරයක් පැමිණියේ කෙසේද?
මේ පිළිබඳව සොයා බැලීමේදී මේ භූගත උමං ගුහා සංකීර්ණයේ ඉතිහාසය රෝම පාලන කාලය තෙක් දිව යන බව පැහැදිලි වේ. වර්තමානයේ පැරීසිය නම් වූ මේ පලාත රෝම අධිරාජ්‍යය මුල් යුගයේදී හැඳින්වූයේ ලූතෙන්සියාව නමිනි. (ක්‍රි.ව. 3 වන සියවසේ පමණ සිට මෙම නගරය පැරිසිය නමින් හඳුන්වා ඇත) එ් මුල්ම යුගයේදී රෝමන්වරුන් විසින් ලූතෙන්සියාව ගොඩ නැගීම සඳහා අවශ්‍ය හුණුගල් ඇතුළු පාෂාන වර්ග ලබා ගැනීම සිදුකොට තිබුණේ මේ බිම කැණීමෙනි. පසුව 13 වන සියවසේදී ඉදිවුණු නොට්‍රඩෑම් දේවස්ථානය, ලුවර් ගොඩනැගිලි සංකීර්ණය, නගරය වටා ඉදිකෙරුණු පවුරු ප්‍රාකාර ආදි සියල්ල නිර්මාණය කිරීමට අවශ්‍ය ගල් සපයා ගනු ලැබුවේ නගරය තුළම සිදුකළ මේ කැණීම් මගිනි. එ් මතුදු නොවේ, පැරිස් නගරය පුරා අදටත් දක්නට ඇති සුවිශාල ගල් කණු, ගල් යොදාගෙන කරන ලද උළුවහු ජනෙල්, නිවෙස් පියැසි ආදි විස්කම් නිර්මාණ සියල්ල නිම කිරීම සඳහා යොදාගෙන ඇත්තේ නගරය තුළින්ම හාරා ලබා ගත් පාෂාණයන්ය.
පොළොව මතුපිට මහා නගරයක් නිර්මාණය කිරීම සඳහා එ් ආකාරයට ගොඩ දැමූ පාෂාණ ඉල්ලම්වලින් ඇති වූ හිඩැස් නිසා පොළොව යට සුවිසල් කුහරයක් නිර්මාණය වීම නිතැතින්ම සිදුවී ඇත්තකි. මෙය වසරක දෙකක පතල් ක්‍රියාකාරකම් නිසා සිදුවූවක් නොව සියවස් ගණනාවක් පුරා සිදුවූවක් බවට බොහෝ සාක්ෂි එහි ශේෂ වී ඇත.
18 වන සියවස වන විට අතිසුන්දර සුවිසල් නගරයක් ලෙස නිර්මාණය වී තිබූ පැරීසිය අතිශයින් ජනාකීර්ණ විය. තවද කාර්යබහුල ප්‍රධාන වෙළඳ නගරයක් ලෙසද එහි කීර්තිනාමය යුරෝපය පුරා පැතිර ගොස් තිබුණි.

මෙසේ ජනගහනය වැඩි වීමත් සමගම මිනිසුන්ගේ දෛනික අවශ්‍යතාවන් වෙනුවෙන්ද විශාල ඉඩක් වෙන් කිරීමට නගරයට සිදුවිය. එහිදී අවසන් නින්දට පිවිසෙන නගර වැසියන් පිළිබඳවද අවධානය යොමු කොට තිබුණු අතර ඔවුන් සමාදානයේ සැතපවීම සඳහා තදබද වූ පැරිස් නගරයෙහි සුසානභූමි ඇති කොට තිබුණි. Les Innocents යනු එලෙස පැරිස් නගර මධ්‍යයේ ඉදි කොට තිබූ විශාලතම සොහොන් බිමයි. මෙම සුසානභූමිවල පාලන කටයුතු ඉතාමත් අවිධිමත්ව සිදුවූ නිසා මළසිරුරු වළ දැමීමේදී නිසි ප්‍රමිතියකට එය සිදු නොවුණි. ඇතැම් අවස්ථාවල නිසි ලෙස වළ නොදැමූ මළ සිරුරු කොටස් සතුන් විසින් එළිමහනට ඇදගෙන ගිය අවස්ථාද විය. නිසි ලෙස වළ නොදැමීමත් ඇතැම් වළවල් විවෘතවම තිබීමත් නිසා සෑම විටෙකම දැඩි දුර්ගන්ධයක් සුසානය අවට පැතිරුණි. විශේෂයෙන්ම වස්සාන සමයේදී සුසානභූමි අවට ප්‍රදේශ දැඩි අප්‍රසන්න ස්වභාවයක් ඉසිලීය. මේ සුසානභූමිවලින් ඇති කළ පරිසර දූෂණය නිසා ලෙඩ රෝග පැතිර යෑමද නිරන්තරව සිදුවිය.
ඉතාමත් ජනාකීර්ණ නගරයක් මේ ආකාරයෙන් ගඳ ගැස්සවීම නාගරික පදිංචිකරුවන්ගේ මෙන්ම නිතර නිතර නගරයට පැමිණෙන්නන්ගේද දැඩි දෝෂ දර්ශනයට හසුවන්නක් විය. දිනෙන් දින ලැඛෙන පැමිණිලි සංඛ්‍යාව අධික වීමත් සමග ඊට පිළියමක් යෙදීම කල් දැමිය නොහැක්කක් බව රජයටද එ්ත්තු ගැන්වුණි. එහිදී මේ ගැටලූවට ආරම්භක විසඳුමක් ලෙස රජය විසින් සුසානභූමි තුළම විශාල බිත්ති බැඳ ගබඩා ඇතිකර මළ සිරුරු එ්වායේ තැන්පත් කිරීම සිදුකරනු ලැබුණි. එම ක්‍රමය දුර්ගන්ධය හා විෂබීජ පැතිර යෑම වැළැක්වීමට යම් තරමකට විසඳුමක් සැපයූවද ටික කලකින් එයද ස්ථීර පිළියමක් නොවූයේ වැඩිවන ජනගහනයට සාපේක්ෂව දිනෙන් දින මිය යන පිරිස අධික වීමෙන් සුසානභූමි බිත්ති ඉඩකඩ මදි වීමෙනි.
නගර වැසියන් නැවතත් රජය වෙත ඇඟිල්ල දිගු කොට තම නෑ හිතමිතුරන් අවසන් නින්දෙහි සැතපවීමට සුදුසු තැනක් ඉල්ලීය.
එහිදී රජයේ වගකිව යුත්තන්ට සිහි වූයේ අතහැර දමා ඇති භූගත පැරණි ගල් ආකරයයි. Les Innocents ඇතුළු නගරයේ සුසානයන්හි ඇති මළ සිරුරු තැන්පත් කිරීමට එම ස්ථානය සුදුසුදැයි සොයා බැලීමට වහාම පරීක්ෂණ දියත් කෙරුණු අතර එහි ප්‍රතිඵලය වූයේ 13 වන සියවසෙන් පසු අමතක කර අතහැර දමා තිබූ අති විශාල උමං මාර්ග රැසක් පැරිසිය පතුලෙහි පවතින බව අනාවරණය වීමයි. 1
පැරිස් පොළොව යට පැවති මේ මහා උමං ජාලයේ උමං මං පාදා ගැනීම පළමුව සිදු කෙරුණු අතර එ්වා එකිනෙක හා සම්බන්ධ කිරීමද සිදු කෙරුණි. එය මළවුන්ගේ නගරය බවට පරිවර්තනය කිරීම 1786 අප්‍රේල් මාසයේදී ඇරඹුනි. පළමු පියවර ලෙස පැරිසියේ විශාලතම සුසානය වූ Les Innocents හි තිබූ ඇටකටු කොටස් මේ භූගත බංකර තුළ තැන්පත් කෙරුණි. ඉතාමත් පිළිවෙළට සිදුකෙරුණු එම කටයුත්ත සඳහා වසර 2 ක් ගත වී තිබුණි. ඉන්පසු වසරවලදී පැරිසිය පුරා තිබූ සියලූම සුසානභූමිවල තිබූ ඇටකටු කොටස් මේ අතිවිශාල පතල් බිම්ගෙවල් තුළ තැන්පත් කෙරුණි. පැරිසිය වාසය කොට ජීවත් වූ ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක් වැළලී සිටි සුසානයන්ගෙන් එළියට ගැනුණු අතර ඉන්පසු ඔවුන්ගේ ඇටකටු සඳහා නිත්‍ය නවාතැන වූයේ මෙම ස්ථානයයි.   ty

ghh

ff

මුල් අවධියේදී මියගිය පුද්ගලයින්ගේ ඇටකටු පමණක් මෙහි තැන්පත් කෙරුණු නමුත් ප්‍රංශ මහා විප්ලවය අතරතුරදී මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු වළ දැමීම සඳහාද මෙම භූගත උමං සොහොන් බිම කෙළින්ම යොදාගෙන තිබුණි. නමුත් 1860 න් පසු භූගත උමං තුළ මළ සිරුරු වළ දැමීම නවතා දමනු ලැබුණි.
මධ්‍යතන යුරෝපයට උමං සොහොන් ක්‍රමය එතරම් අරුමයක් නොවන්නක් වන අතර සුසානභූමි පිරී යාමත් සමග අවකාශ ඇති කර ගැනීමට පැරණි වළවල් කැණීමේදී මතුවන අස්ථී කොටස් මේ ආකාරයට උමං තුළ තැන්පත් කිරීම එහි බොහෝ ස්ථානවල සිදු කොට තිබුණි. විශේෂයෙන්ම ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රටවල දේවස්ථාන කිහිපයකම පතුල්හි මෙවැනි බිම් සොහොන් ගෙවල් දක්නට ලැබේ. මෙවැනි වූ උමං සොහොනක් ශ්‍රී ලංකාවේ ගාලු කොටුවේ ඇති කුරුස පල්ලියේද දක්නට ලැඛෙන අතර මෙය ඕලන්ද යුගයට නෑකම් කියන පල්ලියක් වීමෙන් යුරෝපීයයන්ට මෙය අහඹු ක්‍රමයක් නොවූ බව කිව හැකිය.

චමරි අබේසිංහ

සේයා රූ අන්තර්ජාලයෙනි

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*