සම්මතයක් ලෙස වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින් වැඩිහිටියන් ලෙස සැලකේ. මෙහිදී අවුරුදු 60-74 ත් අතර පිරිස තරුණ වැඩිහිටියන් ලෙසත් අවුරුදු 75 ට වැඩි පිරිස වයස්ගත වූ වැඩිහිටියන් ලෙසත් වර්ග කෙරේ.
මෙම වයස් සීමාවන්ට අනුව ලෝක ජනගහනය තුළ අවුරුදු 65 ඉක්මවූ වැඩිහිටි පිරිස සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බව එ් පිළිබඳ ඇති වාර්තා පෙන්වා දේ. ලොව පුරා වැඩිහිටි ජනගහනය ඉහළ යෑමේ ප්‍රවණතාවට සමගාමී දකුණු ආසියාවේද වැඩිහිටි ජනගහනයේ වර්ධනය අධික වී ඇත. එම කලාපයේ වැඩිහිටි ජනගහනය සීඝ්‍රයෙන්ම වර්ධනය වන රට ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත.
පසුගියදා මේ පිළිබඳව අදහස් දැක්වූ තරුණ වැඩිහිටි ආබාධිත අයවලූන් සඳහා වූ අංශයේ ප්‍රධානී වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසා තිබුණේ, දකුණු ආසියාව තුළ සීඝ්‍රයෙන්ම වයස්ගත වන පිරිස සිටින්නේ ශ්‍රී ලංකාවේ බවයි. අවුරුදු 60 ට වැඩි ජනගහනය එන්න එන්නම වැඩිවෙමින් පවතින බවත් ආයු අපේක්ෂාව වැඩි නිසා අවුරුදු 80 ඉක්මවූ ප්‍රතිශතයද වැඩි වී ඇති බවත් ඔහු පවසා තිබුණි.
1946 වසරේදී ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ප්‍රතිශතය සියයට 9.4 ක් වූ අතර 2001 වසරේදී එම ප්‍රතිශතය සියයට 15.4 ක් ලෙස දැක්වුණි. එම දත්තයන්ට අනුව 2030 වසර වන විට මෙම ප්‍රතිශතය සියයට 36 දක්වා ඉහළ යා හැකි බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය පෙන්වා දේ.
එසේම වැඩිහිටි ජනගහනය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇති දත්ත වාර්තාවලට අනුව වැඩිහිටි ස්ත්‍රීන්ගේ ජනගහනය පුරුෂ පක්ෂයට වඩා වැඩි බව දක්වා ඇත. සාමාන්‍යයෙන් ස්ත්‍රීන්ගේ ආයු අපේක්ෂා කාලය වැඩි නිසා මෙය ලොව පුරාද දක්නට ඇති තත්ත්වයකි. එ් අනුව ශ්‍රී ලංකාවේ වැන්දඹු වැඩිහිටි ස්ත්‍රීන් ගණන වැන්දඹු පුරුෂයින් ගණන මෙන් හතර ගුණයක් ලෙස දැක්වේ. එසේම 1991 වසරේදී ශ්‍රී ලංකාවේ අවුරුදු 60 ට වැඩි පුරුෂයින්ගේ හා ස්ත්‍රීන්ගේ අනුපාතිකය 106 ක් ලෙස දැක්වුණු අතර 2031 වසර වන විට මෙය 91 ක දක්වා අඩුවනු ඇතැයි සඳහන් වේ.

Share this Post