[vc_row][vc_column][vc_column_text]තොරතුරු දැන ගැනීමේ අයිතිය රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කෙරෙන සුවිශේෂී සාධකයකි. ‘රටක රජය සතුව පවතින තොරතුරු මහජනයාටද දැනගැනීමේ අයිතිය පවතී’ යන්න මෙහි මූලික සිද්ධාන්තයයි. මෙම නීතිය මගින් රජය, රාජ්‍ය ආයතන, සංස්ථාපිත ආයතනවල තීන්දු, තීරණ, ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාකාරකම් මහජනතාවටද දැනගත හැකි ලෙස විවෘත වීම සිදුවේ.

තොරතුරු දැනගැනීමේ පනත මේ වන විට රටවල් 72 ක බලාත්මක කර ඇත. කැනඩාව, ෆින්ලන්තය, ඇමරිකාව, ඩෙන්මාර්කය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය ආදි ධනවාදී රටවල් මෙන්ම රුවන්ඩාව, සර්බියාව, ක්‍රොඒෂියාව වැනි දිළිඳු සහ ගැටුම් සහිත රටවල්වලත් මේ පනත ක්‍රියාවට යෙදවේ. දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාවේ සහ භූතානයේ හැර සෙසු සියලුම රටවල තොරතුරු දැනගැනීමේ නීතිය බලාත්මකව ක්‍රියාත්මක වේ.

වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේද තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කිරීමට උත්සාහ ගත්තද එය සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කිරීමට කිසිවෙකුටත් වුවමනාවක් නොතිබුණි. කලක් තිස්සේ මහජනයා තුළ දැඩි බලාපොරොත්තු ඇතිකරමින් ගිලෙමින් මතුවෙමින් පැවති මෙම පනත අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් යෝජනා කළ සංශෝධන සහිතව පසුගිය මස 24 වෙනිදා පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය. එදින මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ඡන්ද විමසීමක් නොකළ අතර විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධයක් නොදැක්වූහ. මෙහිදී එම පනත් කෙටුම්පතට සංශෝධන 14 ක් ඇතුළත් කර තිබූ අතර සියලූ සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසු පනත් කෙටුම්පත තුන්වැනි වරට කියවා සම්මත කෙරිණි.

තොරතුරු දැනගැනීමේ පනත මගින් මහජනයා දැනගත යුතු තොරතුරු ලෙස,

  • රාජ්‍ය ආයතන සහ ව්‍යවස්ථාපිත ආයතන විසින් මහජනතාව පිළිබඳව තබාගෙන ඇති තොරතුරු
  • රාජ්‍ය ආයතනවල සහ ව්‍යවස්ථාපිත ආයතනවල ජන ජීවිතයට බලපාන ආකාරයෙන් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු
  • පාර්ලිමේන්තුව, පළාත් සභාව, පළාත් පාලන ආයතනවල නීති සම්පාදනය, අයවැය සහ දෛනික ක්‍රියාකාරම් සම්බන්ධ තොරතුරු

ආදිය දැක්වේ.

තොරතුරු දැනගැනීමේ නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් මහජනතාවට සෙතක් සැලසෙන ආකාරයේ කරුණු ගණනාවක් ඉටුකර ගැනීමට අපේක්ෂා කෙරෙන අතර ඒවායින් කිහිපයක් නම්,

  • රටක ප්‍රතිපත්ති තීරණය කිරීම, සම්පාදනය කිරීම සහ ක්‍රියාවට නැංවීමට මහජන සහභාගිත්වය ලබාගැනීම
  • රජය සහ ආණ්ඩුව මගින් සිදුකරන කටයුතු පිළිබඳ මහජන විශ්වාසය ඇති කිරීම
  • දැනට පවතින දැඩි නිලධාරිවාදී රාජ්‍ය පරිපාලන සංස්කෘතිය වෙනස් කොට රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය තුළ කාර්යක්ෂම සහ ඵලදායී තත්ත්වයක් ඇති කිරීම
  • දූෂණයෙන් තොර, මානව හිමිකම් සුරකින, පරිසර හිතකාමි, සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් ගොඩ නැගීම
  • දුගී දුප්පත් බව තුරන් කර ප්‍රතිසංවිධානය, සංහිඳියාව සහ නැවත ගොඩ නැගීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වූ පමණින් රටෙහි සියලුම රහස් මහජනයා වෙත මුදා හැරීම සිදු නොකෙරෙන අතර එහිදී පහත දැක්වෙන සීමාවන් ඇතුළු තවත් සීමා රැසකට මේ තොරතුරු හෙළිකිරීම් යටත් කෙරෙනු ඇත.

  • මහජන සුබසිද්ධියට තදබල ලෙස අදාළ වේ නම් පමණක් මිස පුද්ගලයකුගේ පෞද්ගලික තොරතුරු හෙළි කිරීම සිදු නොකිරීම
  • රාජ්‍ය ආරක්ෂාවට සහ භෞමික අඛණ්ඩතාවට තර්ජනයක් වන තොරතුරු ලබා නොදීම
  • විදෙස් රටවල්  හා ජාත්‍යන්තරය විසින් සපයනු ලබන රහස්‍යභාවය මත පදනම්ව සපයන තොරතුරු හා ජාත්‍යන්තර නීතිවලට පටහැනි තොරතුරු හෙළි නොකිරීම
  • රටේ ආර්ථීකයට බරපතල අවදානමක් ඇති කළ හැකි බවට සාධාරණීකරණය කළ හැකි විනිමය හා මූල්‍ය තොරතුරු හෙළි නොකිරීම
  • පාර්ලිමේන්තු වරප්‍රසාද කැඩෙන තොරතුරු හෙළි නොකිරීම
  • විභාග දෙපාර්තමේන්තුනේ රහස්‍ය තොරතුරු හෙළි නොකිරීම
  • අධිකරණයේ විභාග වන නඩුවක හෝ සිදුවෙමින් පවතින අපරාධ පරීක්ෂණ පිළිබඳ තොරතුරු හෙළි නොකිරීම.
  • පුවත්පත් කලාවේදීන්, වෛද්‍යවරුන් හා නීතීඥයන් වැනි වෘත්තිකයන්ගේ වෘත්තිය රහස්‍යභාවය යටතට ගැනෙන තොරතුරු හෙළි නොකිරීම

මෙම තොරතුරු හෙළි නොකිරීම තීරණය වන්නේ ඒවා පහත දැක්වෙන කරුණු මත පදනම් වුවහොත් පමණි.

  • තොරතුරු අයිතිය මගින් හෙළි නොකළ යුතු යැයි නිශ්චිතව නිගමනය කර ඇති සීමාවට අදාළ තොරතුර අයත් වේද ?
  • එම සීමාව තුළ අදාළ තොරතුර හෙළි කළහොත් එයින් සිදුවිය හැකි හානිය කෙතෙක්ද?
  • එම සීමාව තුළ සිට  එම තොරතුරු හෙළි කළහොත් එයින් සිදුවිය හැකි හානිය අබිබවා මහජන යහපතක් සිදුවේද?

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post