2017 නව වර්ෂය තුළදී කැනඩාවෙහි බදු සහ නීති රෙගුලාසි කීපයක්ම වෙනස් කර ඇති බව වාර්තා වේ. මේ ඇතැම් බදු හා නව නියාමනයන් සමස්ත කැනඩාවටම බලපාන එ්වා වන අතර ඇතැම් එ්වා ටොරොන්ටෝ නගරයට සහ ඔන්ටේරියෝ පළාතට පමණක් බලපාන නියාමන රෙගුලාසි වේ.
ජනවාරි 01 දා සිට එසේ ක්‍රියාත්මක වන බදු හා නියාමන වෙනස්කම් කිහිපයක් මෙසේය.

• විදුලි බිල්පත් ගාස්තු සඳහා පළාත්බදව අයකරනු ලැබූ සියයට අටක HST කොටස ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇත. එ් සමගම දේශගුන විපර්යාසයන්ට එරෙහිව     සටන් කිරීම සඳහා ලිබරල් රජය විසින් ගෙන ආ cap-and-trade system වැඩසටහව යටතේ ඩොලර් 6 ක ගාස්තුවක් මාසික ගෑස් බිල්පතට එක්වනු ඇත.
• පළමු වතාවට නිවසක් මිල දී ගන්නා ඔන්ටේරියෝ වැසියන් හට හිමිවන ප්‍රාදේශීය ඉඩම් පැවරුම් බදු වට්ටම දෙගුණ කිරීම සිදුකර ඇත. එනම් ජනවාරි පළමුවනදා සිට එතෙක් ලැබූ ඩොලර් 2000 ක වට්ටම (rebate) ඩොලර් 4000 ක් වේ. (මේ පිළිබඳ සවිස්තර ලිපියක් දෙසැම්බර් දසත කලාපයෙහි පළ විය)
• ටොරොන්ටෝවේ TTC ගාස්තු ශත 10 කින් ඉහළ දමා ඇත.
• ඔන්ටේරියෝවේ ආපන ශාලා රැසක් තම ආහාර ලේඛනයන්හි අඩංගු කැලරි ප්‍රමාණය ප්‍රදර්ශනය කිරීම අරඹා ඇත.
• සංචාරක ගමන් නියෝජිතවරුන් (Travel agents) විසින් සංවිධානය කරන සේවා හා නිවාඩු පැකේජයන් (services and vacation packages) වෙළඳ දැන්වීම් මගින් ඉදිරිපත් කිරීමේදී ඔවුන් විසින් සපයන සවිස්තර සේවාවන් පිළිබඳවත් එ්වා සඳහා අයකරනු ලබන අවසාන මිල ගණන් පිළිබඳවත් (බදු ඇතුළු සියලූම වියදම් ඇතුළත් වූ) ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
• Towing කර්මාන්තයෙහි නියැළී සිටින්නන් ඊට අදාළ මිල ගණන් සිය ට්‍රක් රථවල පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතු අතර තම සේවාදායකයන් වෙත පැහැදිලි ඉන්වොයිස් පතක් ලබා දිය යුතුයි. අදාළ මිල ගණන් ගෙවීමේදී මුදල් පමණක් නොව ක්‍රෙඩිට් කාඩ් පත් භාර ගැනීමද අනිවාර්යයෙන්ම සිදුකළ යුතුයි.
• Social assistance හෝ ආබාධිත ගෙවීම් ලබාගන්නා පුද්ගලයන් හට ළමා ප්‍රතිලාභ ලබා දීමේදී තවදුරටත් ආදායම් තත්ත්වය සැලකිල්ලට නොගැනීමට තීරණය කොට ඇත.
• Payday loan සඳහා අයකරගත් පොලී අනුපාතය පහත දමා ඇත. එනම් ඩොලර් 100 ක් සඳහා මෙතෙක් අයකරගත් ඩොලර් 21 ඩොලර් 18 දක්වා පහත දමා ඇත.
• The Smoke Free Ontario Act යටතේ විවිධ වූ සුවඳ සහ රසකාරක සහිත(clove cigarettes, menthol-flavoured tobacco products) දුම්වැටි භාවිතය තහනම් කොට ඇත.
• ඔන්ටේරියෝ පොලිසිය විසින් මහමගදී අහඹු ලෙස සිදුකරන  හඳුනා ගැනීමේ පරීක්ෂා කිරීම් මේ වසරේ සිට සිදු නොකෙරේ. යම් අයුරකින් මහමගදී පොලිසිය විසින් කිසිවෙකුගේ අනන්‍යතාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටියහොත් එ් සම්බන්ධයෙන් පිළිතුරු නොදී සිටීමේ අයිතිය ඔන්ටේරියෝ වැසියන්ට හිමි වේ.

Share this Post