ෆෙඩරල් රජය සහ පළාත්බද රජයයන් විසින් දිනෙන් දිනම විවිධ නීති රෙගුලාසි සහ අණ පනත් එක් කරමින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ සිදුකරන වෙනස් කම් නිසා මේ දිනවල දේපළ වෙළඳපළෙහි දක්නට ඇත්තේ දැඩි වික්ෂිප්ත බවකි.
එ් අන්දමට සිදුකරන ලද අලුත්ම වෙනස් කම් කිහිපයක් පිළිබඳ නිවේදනය පසුගිය නොවැම්බර් 14 වෙනිදා ඔන්ටාරියෝ රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර එහිදී ප්‍රාදේශීය ඉඩම් පැවරීමේ බද්ද සම්බන්ධ (Provincial Land Transfer Tax – PLTT) වෙනස් කිරීම් කිහිපයක් සිදු කොට ඇත.
ප්‍රාදේශීය ඉඩම් පැවරීමේ බද්ද තුළ ඇති කරන මෙම වෙනස් කිරීම්වලදී ප්‍රධාන වශයෙන් ඉලක්ක කොට ඇත්තේ ඔන්ටාරියෝව තුළ ‘පළමු නිවස’ මිල දී ගන්නා (first-time home buyers) තැනැත්තන් වීම මෙහි ඇති විශේෂත්වයයි. එහිදී පළමු නිවස මිල දී ගැනීමට සූදානම් වන පුද්ගලයින් හට වාසි සහගත වන අන්දමින් මෙම බද්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
වර්තමානයේදී ඔන්ටාරියෝව තුළින් සිය පළමු නිවස මිල දී ගන්නෙකුට ප්‍රාදේශීය ඉඩම් පැවරීමේ බද්දෙන් ඩොලර් 2000 ක වට්ටමක් (rebate) හිමි වනු ලබයි. ජනවාරි 01 දා සිට එම වට්ටම දෙගුණ කිරීමට ඔන්ටාරියෝ රජය පියවර ගෙන ඇති අතර එ් අනුව මෙතෙක් ගෙවූ ඩොලර් 2000 වෙනුවට ඩොලර් 4000 ක වට්ටමක් සෑම පළමු නිවාස ගැනුම් කරුවකුටම හිමි වේ. මේ වන විට ටොරොන්ටෝ නගරයෙන් නිවසක් මිල දී ගැනීමේදී සෑම ගැනුම් කරුවකුම ප්‍රාදේශීය ඉඩම් පැවරීමේ බද්දට අමතරව ටොරොන්ටෝ ඉඩම් පැවරීමේ බද්දක්ද (Toronto Land Transfer Tax) ගෙවනු ලැබේ. මෙම අලුත් බදු වට්ටමත් සමගම ඔන්ටාරියෝ සහ ටොරොන්ටෝ ඉඩම් පැවරීමේ බදු ගාස්තු සමගාමි අගයක් ගනු ලබයි.
මෙම නව ප්‍රාදේශීය බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම මගින් පළමු වරට නිවසක් මිල දී ගැනීමට සූදානම් වන බොහෝ දෙනෙකුට පවතින මූල්‍යම අපහසුතා මගහරවා තමාගේම කියා නිවසක් මිල දී ගැනීමට හැකි වන බව ඔන්ටාරියෝ රජය පවසයි. සමස්ත ඔන්ටාරියෝවෙහිත් විශේෂයෙන්ම GTA පළාතෙත් නිවාස මිල ගණන් අධිකව ඉහළ යන මෙවැනි අවධියක ඔන්ටාරියෝ රජය විසින් පළමු නිවස මිල දී ගැනීමට සූදානම් වන්නන් දිරි ගැන්වීම සඳහා ගෙන ආ මෙම විශේෂ සහනය පිළිබඳව දේපළ වෙළදාම් කටයුතු හා සම්බන්ධ පිරිස මෙන්ම නිවාස මිල දී ගැනීමට සූදානම්ව සිටින පිරිසද සිය ප්‍රසාදය පළ කොට ඇත.
මෙම අලුත් බදු වට්ටම 2017 ජනවාරි 01 වනදා සිට බලාත්මක වීමට නියමිත බව රජය විසින් කළ නිවේදනයේ සඳහන් වේ.

මිලියන 2 ට වැඩි නම් පැවරුම් බදු වැඩි වේ

ප්‍රාදේශීය ඉඩම් පැවරීමේ බද්ද සම්බන්ධයෙන් රජය විසින් සිදුකරන ලද මෙම ප්‍රධාන වෙනස්කමට අමතරව ඩොලර් මිලියන 2 ට අධික නිවාස මිල දී ගැනීම් සම්බන්ධයෙන් අයකර ගනු ලබන බද්දෙහිද වෙනසක් සිදුකොට ඇත.
එහිදී ඩොලර් මිලියන 2 ට වැඩි නිවාස මිල දී ගැනීම් සඳහා මෙතෙක් අයකර ගනු ලැබූ ප්‍රාදේශීය ඉඩම් පැවරීමේ බද්ද සියයට 2 සිට සියයට 2.5 දක්වා ඉහළ දමා ඇත. එහෙත් එ් සියලුම නිවාස මිල දී ගැනීම් (අගය ඩොලර් මිලියන 2 ට වැඩි වුවත්, පළමු වරට නිවසක් මිල දී ගන්නේ නම් පමණක්, ජනවාරි 01 දා සිට) සඳහා ඉහත සඳහන් ඩොලර් 4000 බදු වට්ටම හිමි වේ.
මෙය ඔබට තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා මෙසේ සඳහන් කළ හැක.

පෙර අයකරනු ලැබූ ඔන්ටාරියෝ ඉඩම් පැවරීම බදු අගයයන්

මිල දී ගන්නා නිවසේ වටිනාකම

(Home Purchase Price)

බදු අගය

(Tax Rate)

Up to $55,000 0.5%
$55,000 to $250,000 1.0%
$250,000 to $400,000 1.5%
Above $400,000 2.0%

නවීකරණය කරනු ලැබූ ඔන්ටාරියෝ ඉඩම් පැවරීමේ බදු අගයයන්

මිල දී ගන්නා නිවසේ වටිනාකම

(Home Purchase Price)

බදු අගය

(Tax Rate)

Up to $55,000                    0.5%
$55,000 to $250,000                     1.0%
$250,000 to $400,000                      1.5%
$400,000 to $2-million                      2.0%
$2-million and over                      2.5%

මෙම වැඩි කිරීම 2016 නොවැම්බර් 14 දා හෝ ඊට පෙර කරන ලද නිවාස මිල දී ගැනීමේ ගිවිසුම්වලට යටත් නොවන අතර ඉන්පසුව සිදුකරන සියලූම විකුණුම් සඳහා ඉහත නවීකරණය කළ ඉඩම් පැවරීමේ බදු අයකිරීම් අදාළ වේ.

ලක්ෂ 4 ට වැඩි නේවාසික නොවන ( Non-residential) දේපළ

ඔන්ටාරියෝ රජය විසින් නිවේදනය කරනු ලැබූ නවීකරණය කළ බදු ක්‍රමය තුළ නේවාසික නොවන ( non-residential) වෙනුවෙන් අයකර ගනු ලබන දේපළ පැවරීමේ බද්දෙහි සිදුකර ඇති වෙනස පිළිබඳවද විශේෂයෙන් සඳහන් කළ හැක.
මෙහිදී ව්‍යාපාරික, කර්මාන්ත, කෘෂිකාර්මික ඉඩම් සම්බන්ධයෙන්ද බහු-පදිංචි නිවාස (එපාර්ට්මන්ට් වැනි) සම්බන්ධයෙන්ද මෙතෙක් අයකර ගනු ලැබූ පැවරුම් බද්ද වැඩි කිරීමට රජය පියවර ගෙන ඇත. මෙම වැඩිකිරීම ඩොලර් ලක්ෂ 4 ට වැඩි අගයෙන් යුත් දේපළ සඳහා බලපානු ලබන අතර එහිදී මෙතෙක් සියයට 1.5 ක්ව තිබූ දේපළ පැවරුම් බද්ද සියයට 2 ක් ලෙස ඉහළ නංවා ඇත.
මෙම නව බදු අයකිරීමද 2016 නොවැම්බර් 14 දා හෝ ඊට පෙර කරන ලද දේපළ මිල දී ගැනීමේ ගිවිසුම්වලට යටත් නොවන අතර ඉන්පසුව සිදුකරන සියලූම දේපළ ගනුදෙනු සඳහා ඉහත නවීකරණය කළ දේපළ පැවරීමේ බද්ද ක්‍රියාත්මක වේ.

 කැනේඩියානුවක වීම අනිවාර්යයි

මෙම නව බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී, කැනේඩියානු පුරවැසියන් සහ ස්ථීර පදිංචිකරුවන් පිළිබඳව විශේෂ සැලකිල්ල යොමු කිරීමට රජය කටයුතු කොට ඇත.
එ් අනුව පළමු නිවස මිල දී ගන්නා පුද්ගලයන්ට ලබාදෙන ඩොලර් 4000 බදු සහනය ලබා ගැනීමට නම් එම තැනැත්තා කැනේඩියානු පුරවැසියකු (Canadian citizens) හෝ කැනඩාවේ ස්ථීර පදිංචිකරුවකු (Permanent residents) වී සිටීම අනිවාර්ය කොට ඇත. මෙම නව නීතිය ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිත වේ.
එහෙත් 2016 නොවැම්බර් 14 දා ට පෙර මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කොට ඇත්නම් ඔවුන් කැනේඩියානු පුරවැසියකු හෝ ස්ථීර පදිංචිකරුවකු නොවූවද ඉහත වට්ටම හිමි වේ.

Gamini Abeysinghe 
ඔන්ටේරියෝ නිවාස හා දේපොළ වෙළඳාම් සංගමයෙහි බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත

Tel: 1-416 822 2789
Email : shinko@rogers.com
Web : www.gaminiabeysinghe.com

Share this Post