පැනමා රාජ්‍යය තුළ වසර හතළිහක් පුරා ක්‍රියාත්මක වූ මොසැක් ෆොන්සේකා නම් සමාගමට අයත් රහස් ලිපිගොනු මිලියන 11.5 ක අඩංගු තොරතුරු අනාවරණය වීමත් සමග එය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. මෙම ලිපි ගොනුවල ලෝක නායකයන් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයන් රැසකගේ නම් ඇතුළත්ව පවතින බව එම පුවතත් සමග ප්‍රචාරය විය. ජාත්‍යන්තර වත්කම් සීමාවලින් ගැලවී මුදල් සැඟවීමත්, බදු ගෙවීම් වලින් නිදහස් වීමත් සඳහා ලොව ප්‍රකෝටිපතියන් මෙම සමාගම යොදාගෙන තිබුණි.
මෙම හෙළිදරව්ව සිදුවීමත් සමගම ඒ පිළිබඳ තතු විත්ති ලොව පුරා පුවත්පත් මගින් ප්‍රචාරය වූ අතර එහිදී කැනඩාවේ වෙසෙන කෝටිපතියන් රැසක්ද මොසැක් ෆොන්සේකා සමාගම තම බදු සඟවන අභය භූමිය ලෙස යොදාගෙන පවතින බව පැවසුණි.
මෙහි නවතම තත්ත්වය කැනඩා ආදායම් බදු ඒජන්සිය CRA විසින් පසුගියදා හෙළිදරව් කරනු ලැබූ අතර, එහිදී මේ වන තෙක් ඒජන්සිය විසින් සිදුකළ පරීක්ෂා කිරීම්වලදී කැනඩාවේ පුද්ගලයන් 85 කගේ නම් එහි ඇතුළත්ව ඇති බව පැවසේ.
මෙම පැනමා පත්‍රිකා අතර සිටින කැනේඩියානුවන් මෙරටට බදු වංචා කළ පිරිස ලෙස හඳුනා ගැනුණු බව CRA පවසා සිටියි.
දැවැන්ත පැනමා පත්‍රිකා හෙළිදරව්ව වූ සැණින් CRA විසින් මීට සම්බන්ධ කැනේඩියානුවන් පිළිබඳව සොයා බැලීම් අරඹා තිබූ අතර මේ වන විට සොයාගත් තොරතුරුවලට අනුව ඩොලර් මිලියන හාරසියයකට අධික මුදලක් මොවුන් විසින් ආයෝජනය කර ඇත. මෙම තොරතුරු සොයා ගැනීම සඳහා පත්‍රිකා 2,600 කට අධික සංඛ්‍යාවක් අධීක්ෂණයට ලක් කොට ඇති අතර තවත් දහස් ගණනක් අධීක්ෂණය සඳහා භාජන කළ යුතුව ඇතැයි වාර්තා වේ.
මේ ආකාරයට කළු සල්ලි සුදු කරමින්, අයථා ලෙස මුදල් පරිහරණය කරමින්, බදු ගෙවීම් පැහැර හරිමින් කටයුතු කරන්නන් නිසා කැනඩාවට වාර්ෂිකව ඩොලර් බිලියන 6 සිට 7.8 දක්වා මුදලක් අහිමි වන බව බදු ආදායම් ඇස්තමේන්තු වාර්තා පෙන්වා දේ. මේ වන විට CRA විසින් සෑම ආකාරයකින්ම බදු වංචා කරන පුද්ගලයන් සඳහා දැඩි ක්‍රියාමාර්ග ගනිමින් පසුවන අතර 2010 වසරේදී එලෙස බදු සැඟවූ පුද්ගලයන් 49 දෙනෙකු වෙත නඩු පවරමින් ඩොලර් මිලියන 13.4 ක් අයකර ගැනීමට සමත් වී ඇත.

Share this Post