මෙම වසර තුළ රථවාහන අනතුරු නිසා මිය ගිය පදිකයන් සංඛ්‍යාව පෙර කවරදාටත් වඩා වැඩි වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වේ. ඒ අනුව 2016 වසරේ ජනවාරි 01 වනදා සිට නොවැම්බර් 13 දා දක්වා පළාත්බද මාර්ගවල මිය ගොස් ඇති පදිකයන් සංඛ්‍යාව 30 දෙනෙකු බව එම වාර්තාව පවසා සිටී. 2015 වසර හා සංසන්දනය කිරීමේදී මෙය සියයට 66 ක වැඩිවීමක් බව එහි දැක්වේ.
දිනෙන් දින වැඩිවන අනතුරු සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් සාජන්ට් කෙරී ස්මිඩ්, ‘නිවසින් එළියට පැමිණෙන අපි හැමෝම ආරක්ෂාකාරීව නැවතත් නිවෙස්වලට යෑම සිදුවිය යුත්තක්. නමුත් මහමග ගමන් ගන්නා මගීන් පිළිබඳව අවධානයෙන් තොරව රථ ධාවනය කරන රියදුරන් නිසා නොසිතූ විරූ ලෙස ඒ අවස්ථාව අපෙන් ගිලිහී යා හැකියි’ යනුවෙන් පැවසීය.
මෙම තත්ත්වය පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේදී අඳුරු කාලගුණ තත්ත්වයන් සහිත සීත ඍතුවේදී රථවාහන අනතුරු සම්බන්ධයෙන් පදිකයන් වඩාත් දැනුවත් වී සිටීම වැදගත් වේ. ඒ සම්බන්ධයෙන් පදිකයන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් මේ වන විට Sunnybrook රෝහල විසින් අරඹා ඇත. එහිදී ඔවුන් වඩාත් අවධානය යොමු කොට ඇත්තේ පදිකයන්ගේ ඇඳුම් කෙරෙහිය. අඳුරු දිනවල මාර්ගවල ගමන් කිරීමේදී දීප්තිමත් වර්ණයන් සහිත ඇඳුම් (bright clothing) ඇඳීමට ජනතාව කල්පනාකාරී විය යුතු බව ඔවුන් පවසයි. විශේෂයෙන්ම හවස් කාලවලදී සහ අඳුරු දිනවලදී අඳිනු ලබන සීත කබා ආදිය කළු පැහැයෙන් හෝ අඳුරු පැහැයෙන් යුක්ත වුවහොත් රියදුරන් හට එම පුද්ගලයන් නිසි ලෙස දර්ශනය නොවීමෙන් අනතුරට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව රෝහල පෙන්වා දේ.
මේ වසරේ සිදුවූ මරණ 30 අතරින් සියයට 7 ක්ම රාත්‍රි කාලයේදී සිදුවූ අනතුරු බවත් එම අවස්ථාවලදී එම පුද්ගලයන් හැඳ සිට ඇත්තේ අඳුරු පැහැති ඇඳුම් බවත් සාජන්ට් ස්මිඩ් පවසයි.

Share this Post