ශ්‍රී ලංකාව තුළ දිනෙන් දිනම ඉහළ යන රථවාහන අනතුරු අතර අපරික්ෂාකාරී ත්‍රීවිල් රථ ධාවනය නිසා සිදුවන අනතුරු සංඛ්‍යාව සුලු කොට තැකිය නොහැක. මේ පිළිබඳව අවධානය යොමු කළ රජය, මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියදුරන් සඳහා නව නියාමන වැඩ පිළිවෙළක් හඳුන්වා දීමට තීරණය කොට ඇත.
ඒ අනුව මෙහි මූලික පියවරක් ලෙස මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන් සඳහා නව රියදුරු බලපත්‍රයක් ලබා දීමට කටයුතු සකස් කෙරේ.
මේ අතර ත්‍රීරෝද රථ සංගම් කිහිපයක්ම රජයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති අතර ඔවුන් ඉල්ලා ඇත්තේ, ලාබාල තරුණයින් හට ත්‍රීරෝද රියදුරු බලපත්‍ර ලබා දීම නවතා දමන ලෙසයි. මෙය 2017 අයවැය යෝජනා හරහා ගෙනවිත් ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් පවසා ඇත. එම සංගම් පවසා ඇත්තේ, ලාබාල තරුණයන් ත්‍රීරෝද කර්මාන්තයට පැමිණ, එය හුදෙක් විනෝදය සහ එදිනෙදා වියදම් පියවා ගැනීම අරමුණු කොට සිදුකරන නිසා ත්‍රීවීල් රථ සේවාව බාල්දු වී ඇති බවයි. එසේ ත්‍රීරෝද රථ රියදුරන් ලෙස කටයුතු කරන තරුණ පිරිස අතරින් බොහෝ දෙනෙකු රස්තියාදුකාරයන් මෙන් හැසිරෙන බවටද ඔවුහු චෝදනා කරති. මේ හේතුවෙන් වෘත්තීය ත්‍රීරෝද රථ රියදුරන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ත්‍රීරෝද රථ රියදුරු සංගමයේ සභාපතිවරයා පවසයි. ඒ නිසා ත්‍රීරෝද රථ බලපත්‍රය අවුරුදු 23 සම්පූර්ණ කළ අයට වසර දෙකක පුහුණු කාලයකින් පසු ලබා දීම සුදුසු බව ඔහු පෙන්වා දී ඇත.
2017 වසර වන විට රට පුරා ඇති සියලූම ත්‍රීරෝද රථ ඇතුළු කුලී රථවලට නිශ්චිත මිල දක්වන මීටර සවිකිරීම අනිවාර්ය කර ඇති බවද පසුගියදා ඒ පිළිබඳව පළවූ වාර්තාවක දැක්වුණි.
රථවාහන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව තුළ දෛනිකව රථවාහන ලක්ෂ 40 ත් 50 ත් අතර සංඛ්‍යාවක් ධාවනයට එක්වන බවත් එයින් සියයට 60 කට අධික ප්‍රමාණයක් ත්‍රීරෝද රථ සහ යතුරු පැදි බවත් සඳහන් වේ.

Share this Post