October 22, 2017

එදා හඳමයි අදත් යෞවනයේ

ශ්‍රී ලාංකේය සංගීත රාජධානියේ තම අනන්‍යතාව රැක ගනිමින්, ස්වීයත්වය ප්‍රකට කළ මහා නිරිඳුන් ආචාර්ය, පණ්ඩිත් අමරදේවයෝ වම්හ. අමරදේවයන්ගේ සංගීත භාවිතය යනු හෙළ සුභාවිත ගී මඬලේ ප්‍රභාෂ්වරයයි. මහා සම්ප්‍රදායයි. ගේය කාව්‍ය පබැඳුමෙන් සුගායනීය ගායනයෙන් හා මියුරු නාද සිත්තම් මැවුමෙන් මෙරට ගීතලෝලී සහෘදයන් බන්ධනය කොට ගත් අමරදේව අග්‍රේෂ්වරයාණෝ මෙම උඳුවප් මසේ පස් වැනි දින සිය අර්ථාන්විත, ප්‍රතිභාන්විත දිවි මඟෙ හි අසූ අට වැනි වියට පා තබත්.

අමරදේවයෝ අපට සිටින විශිෂ්ටතම සංගීත ප්‍රාඥයා ලෙස ගෞරව බහුමානයට පාත්‍රව ඇත්තේ දිගු කලක් පුරා, මහත් වෙහෙසක් දරා ප්‍රගුණ කළ නිවැරදි වූත්, නිරාකූල වූත් පරිණත සංගීත දර්ශනයකින් හෙබි මහා ගාන්ධර්වයා ඔහුම නිසාවෙනි.

සංගීතයේ උත්තරීතර හරය හෘදය සංවාදී භාව ප්‍රකාශනයයි. ස්වකීය මධ්‍යගත සීමා තුළ සැරිසරමින් මුළුමහත් මානව වර්ගයා හා භාවමය භාෂණයෙහි යෙදිය හැක්කේ පරිණත සංගීත ශිල්පියකු හට පමණි. මෙහිදී භාෂණය යනුවෙන් අදහස් කරනුයේ හුදෙක් භාෂා මාධ්‍යයෙන් කෙරෙන සංවාදයට වඩා පෘථුල වූත්, භාවමය සංවේදී විශේෂයක් බැව් පැහැදිලිය. සැබැවින්ම අමරදේව යනු එබඳු පරිසමාප්ත සංගීත චින්තකයෙකි. ඔහු සතු එකී සංගීත චින්තනයෙහි අනන්‍ය සාධාරණ ලක්ෂණය වන්නේ දේශජ ගුණයයි. කලාසූරී අරිසෙන් අහුබුදුවන් වරෙක පැවසූ පරිදි සිංහල ගී ලොවේ අමරදේව සතු තැන ඔප් ගැන් වූ කාරණා සතරෙකි.

බස පිළිබඳ දැනුම (භාෂා ඥානය)

රැස පිළිබඳ ඇල්ම (ජාත්‍යාලය)

දෙස පිළිබඳ වැටැහුම (දේශීයත්වය)

රස පිළිබඳ විනැණ (රස විඥානය)

මේ සිවු ගුණ එක් තැන්වීමේ පරම දුලබ වාසනා මහිමය ඔහු සතුව තිබූ හෙයින් ජාතියේ පිනට පහල වූ කලාකරුවකු බවට ඔහු පත් වූයේ නිතැතින්මය. එහෙත් අමරදේවයන් මේ දිගු සෞන්දර්ය චාරිකාවට පිවිස මෙරට අග්‍රගණ්‍ය සංගීත ශිල්පියා බවට පත් වන්නේ නම් ඒ පින් මහිමය නිසාම නොව ඔහු සතුව තිබූ අප්‍රතිහත ධෛර්යේ ද මහඟු ඵලයක් විලසිනි.

මොරටුව කොරළවැල්ලේ වන්නකුවන්න වඩුගේ දොන් ජිනෝරිස් පළාතේ නමක් දිනා සිටි වඩු බාස් කෙනෙකි. බලාපු වඩුගේ මැගී වෙස්ලියානු මෙන්දිස් ඔහුගේ බිරියය. දූ පුතුන් පස් දෙනකුගෙන් යුත් එම පවුලේ බඩපිස්සා ලෙස 1927 දෙසැම්බර් 05 වැනිදා උපන් සිඟිත්තා හෙළ සංගීත අඹරේ පෑයූ සුපුන් සඳක් වනු ඇතැයි එදා කිසිවකුටත් නොසිතෙන්නට ඇත. මේ අලුත උපන් බිළිඳාට මවුපියෝ වන්නකුවන්න වඩුගේ දොන් ඇල්බට් පෙරේරා යයි නම් තැබූහ.

සියුම් වැඩට දක්ෂයකු වූ ජිනෝරිස් බාස් උන්නැහේගේ නිවසට වයලීන අලුත්වැඩියා කිරීමට රැගෙන යාම ප්‍රදේශවාසීන්ගේ සිරිත විය. වැඩ අවසන් කරන වයලීනය අතින් ගෙන එහි තත් පිරිමදිමින් කම්පනය කරන්නට පුංචි ඇල්බට් පෙරේරා හුරු පුරුදු වූයේ නිරායාසයෙනි. මෙතෝදිස්ත ආගම ඇදහූ මව ගීතිකා පොත දිග හැර දෙවියන් වෙනුවෙන් ස්තෝත්‍ර ගීතිකා ගායනා කරද්දී හේ වයලීනය වාදනය කිරීමට තැත් කළේය.

පියා අලුත්වැඩියා කරන වයලීනය තම හිතු මනාපයට වයන්නටත්, මවගේ ගීතිකා ගායනය අනුව ගයන්නටත් නිරන්තර උත්සාහයක යෙදෙන මේ අපූරු කොලු ගැටයාගේ සමත්කම් දැනගත් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පුංචි ඇල්බට් ලවා දොරකඩ අස්නක් කියවිය යුතු යැයි යෝජනා කළහ. එක් පොහෝ දිනක ගමේ පන්සල සැදැහැතියන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ගිය මොහොතක ඔහු මධුර ස්වරයෙන් දොරකඩ අස්න කීය. ඇල්බට්ගේ ගායන මාධුර්යය පිළිබඳ සැල වූ ගමේ පල්ලියේ ස්වාමි ඇල්බට්ගේ මවට කතා කොට ඔහු ප්‍රමුඛ ළමුන් පිරිසක් යොදවා නත්තල් කැරොල් කණ්ඩායමක් තැනීමට යෝජනා කළේය. ඇල්බට් ප්‍රමුඛ කැරොල් කණ්ඩායමේ මධුර ගායනය ටික කලෙකින් ගම පුරා පතල විය.

කුඩා ඇල්බට් කොරළවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ පාසලට ඇතුළත් කරනු ලැබීය. මුල් ගුරුතුමා වූයේ හෙළ හවුලේ කු. ජෝ. ප්‍රනාන්දුය. ඔහු සැමදාමත්ම පාහේ සැන්දෑව ගත කළේ මුණිදාස කුමාරතුංගයන්ගේ සෙවණේය. බොහෝ විට මුල් ගුරුතුමා ඒ සැඳෑවට කුඩා ඇල්බට් ද කැටුව යයි. කුමාරතුංගයන්ගේ ඇසුර කුඩා ඇල්බට් හට දැනුණේ දෙවියන් විසින් දුන් තුටු පඬුරක් ලෙසිනි. ඇතැම් විට කුමාරතුංගයන් හමුවේ කවි ගායනා කිරීමට ද ඔහුට සිදු විය. මේ ඇසුර නිසා කුඩා ඇල්බට් රස හඳුනන්නෙක් මෙන්ම භාෂා සංවේදිතාවක් ඇත්තෙක් බවට පත්වීමේ මුල් අඩිතාලම වැටුණි.

ඇල්බට්ගේ ලොකු අයියා වූ ඩබ්ලිව්. ඩී. චාල්ස් පෙරේරා වඩුකමට මෙන්ම සංගීතයට ද දක්ෂයෙකි. ඉඩලත් අවස්ථාවන්හි මරදානේ ඇම්. ජී. පෙරේරා වෙතින් ඔහු සංගීතය හදාළේය. අයියා එහිදී තමා උගත් යමන්, ඛමාජ්, බිලාවල් ආදී රාග මැදියම් රැය වෙනතුරු ගයද්දී කුඩා ඇල්බට් ඒ මිහිරෙන් ඔකඳව නෙත නිදි නොලබා ඒවාට සවන් දෙන්නේ අසීමිත ඇල්මකිනි.

තව දින දෙකකින් අසූ අටවැනි වියට පා තබන අප මහා ගාන්ධර්වයාණන්ට සිය සත්වැනි උපන් දිනය තවමත් සොඳුරු සිත්තමක් සේ සිතෙහි රැඳී ඇතිවාට සැක නැත.

මගේ සත්වැනි උපන් දිනයට තාත්තා මට ඔහු අතින්ම නිම වූ වයලීනයක් තෑගි දුන්නා. එතුමාට වයලීනය අකුරටම සුසර කිරීමේ ප්‍රාගුණ්‍යයක් තිබුණා. ඒ වගේම වයලීනය වැයීමේ හැකියාවත් තිබුණා. මම හිතන්නේ ඒ ආභාසය තමයි මට ලැබෙන්න ඇත්තේ.

අමරදේවයෝ එසේ පවසන්නේ අතීත මතකයන් අතරට එබී බලමිනි. කිසියම් ආශ්වාදනීය හැඟීමක් ඒ වත පුරාවට දිස්වේ.

දැන් කුඩා ඇල්බට්ගේ පරම මිතුරා තාත්තා උපන් දිනයට තෑගි කළ ඒ වයලීනයය. ඔහු නින්දට වැටෙන්නේ ද, යළි උදෑසන අවදි වන්නේ ද අයියා වයලීනය වයන හඬ අසමිනි. මේ වන විට ඇල්බට්ගේ ගායන, වාදන හැකියාවන් ගමින් ඔබ්බට පැතිර ගොස් තිබිණ. ඔහුට ශිෂ්‍යත්ව ලබාදීමට පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලය, කළුතර විද්‍යාලය, බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලය හා මොරටු විද්‍යාලය ද ඉදිරිපත් විය. කෙසේ හෝ ඇල්බට් අවසානයේ සිප් සතර හැදෑරීමට ගියේ මොරටු විද්‍යාලයටය.

මොරටු විද්‍යාලයේ කවි තරගයෙන් මුල් ස්ථානය හිමි කර ගත් ඔහුට වයර්ලස් එකෙන් ඒ කවි ගායනය ඉදිරිපත් කිරීමට ගුරු මණ්ඩලය ඉඩ ලබා දුන්නේය. එදා ඔහු වයර්ලස් එකෙන් ප්‍රථම වරට මුළු රටටම ඇසෙන්නට කවි ගායනා ඉදිරිපත් කළේය. මුල් වරට නාට්‍යයකට සංගීතය සම්පාදනය කිරීමේ අවස්ථාව ඇල්බට්ට උදා වූයේ ද මොරටු විද්‍යාලයේදීමය. ඒ විද්‍යාලය මඟින් ඉදිරිපත් කළ ‘කිරිහාමි’ නාට්‍යයටය.

මොරටු විද්‍යාලයෙහි විද්‍යාලාධිපති කළුතර විද්‍යාලයට මාරුවීමක් ලැබ ගිය පසු හෙතෙම මේ ශූර ශිෂ්‍යයා එහි කැඳවා ගත්තේය. ඉනික්බිති’ව ඔහු බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලයෙන් ද සිප් සතර හැදෑරීය. සිංහල සිනමාවේ දෙවැනි කතානාද චිත්‍රපටය වූ ‘අශෝකමාලා’ හි වැඩ කටයුතු ඇරැඹෙන්නේ ද මේ අවධියේමය.

බම්බලපිටියේ ජයා පාරේ අශෝක උයනේ තමයි ඒ කාලේ ශාන්ති කලා නිකේතනය ආරම්භ කළේ. ඒ ශාන්ති කුමාර්ගේ අධ්‍යක්ෂකත්වය යටතේ. එහි සංගීත අංශය බාරව සිටියේ මොහොමඩ් ගවුස්. මාව ගවුස් මාස්ටර්ට හඳුන්වා දුන්නේ මොරටුවේ ජෙරාඩ් ඩී. පීරිස්. මගේ කුසලතා පරික්ෂා කරපු ගවුස් මාස්ටර් වාදක මන්ඩලයේ ප්‍රධාන වයලීන වාදකයා විදිහට මාව පත් කර ගත්තා. මයිකල් සන්නස් ලියනගේ, එමලින් දිඹුලාන, දොන් එඩවඩ්, මොහිදින් බෙග් වගේ අයත් ඒ කාලේ ගවුස් මාස්ටර්ගෙන් සංගීතය ඉගෙන ගන්න ආවා.

පසු කලෙක එක්තරා පුවත්පතකට අමරදේවයෝ එසේ සිය අතීත මතකය ආවර්ජනය කර තිබුණි. ‘අශෝකමාලා’ චිත්‍රපටය සඳහා ගවුස් මාස්ටර් නිර්මාණය කළ ගීත සඳහා ඇතැම් අතුරු වාද්‍ය ඛණ්ඩ රචනා කළේ ඇල්බට් පෙරේරා යැයි පැවසේ. මේ නිසාම ගවුස් මාස්ටර් විසින් ‘අශෝකමාලා’ චිත්‍රපටයේ සහාය සංගීත අධ්‍යක්ෂක සිරස්තලය ඔහුට ලබා දී තිබිණ.

වාද්‍ය ශිල්පියෙකු ලෙසින් ‘අශෝකමාලා’ චිත්‍රපටයට සම්බන්ධ වූ ඇල්බට් පෙරේරාට එහි එන ‘ඇයි කළේ යමෙකු ආලේ’ සහ ‘භවේ භීත හැරදේ’ යන ගීත දෙක ද ගායනා කිරීමට සිදු විය. එපමණක් නොව එම ගීත ගයමින් තාපසයකුගේ චරිතය ද නිරූපණය කළේය. ඔහු සිය ප්‍රථම හා එකම චිත්‍රපටයෙන් නළු භූමිකාව අත්හැර දැමුව ද දැනට සිංහල සිනමාවේ ජීවත්ව සිටින ජ්‍යෙෂ්ඨතම නළුවා අමරදේවයන්ය.

චිත්‍රසේන, ප්‍රේමකුමාර එපිටවෙල වැනි කලාකරුවන්ගේ මුද්‍රා නාට්‍යවලට සංගීත රචනා කරමින් දිනෙන් දින සිය හැකියාවන් ඔප මටටම් කර ගැනීමට ඇල්බට් එකල දැඩි උනන්දුවකින් කටයුතු කළේය. පරිසාමාප්ත කලාකරුවකු බිහිවීමට නම් ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය මෙන්ම සතත අභ්‍යාසය ද ප්‍රගුණ කළ යුතු බව අතීතයේ පටන්ම ඔහු පරමාදර්ශයක් කොට ගෙන තිබුණි.

භාත්ඛන්ඩේ සංගීත විද්‍යාලාධිපති මහාචාර්ය ශ්‍රී රතන්ජංකර් පඬිතුමන් ගුවන් විදුලි සංගීත ශිල්පීන් වර්ග කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ 1952 වසෙර්ය. ඔහු අමරදේවයන් විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු ලෙස නම් කළේය. 1953 වසරේ ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත පීඨයට ඇතුළුවීමට ඔහුට වරම් ලැබෙන්නේ ඒ සිදුවීම මුල් කර ගනිමිනි. ඇල්බට් පෙරේරා නමැති යෞවනයා සංගීත ලොවේ යන අද්විතීය ගමන් මඟ ඉසිවර නුවනින් දුටු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ ඒ ගමන් මඟ හෙළි පෙහෙළි කර දෙන්නට අවැසි පියවර ගත්හ. එවකට ගුවන් විදුලියේ යෞවන සමාජ මෙහෙය වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන් තමාගේ ‘පබාවතී’ නාට්‍යයේ සංගීත සම්පාදනය කළ ඇල්බට් පෙරේරා සතු නිසඟ ප්‍රතිභාව ඒ වන විටත් මැනැවින් හඳුනාගෙන තිබිණ.

සරච්චන්ද්‍රයන් සිය කල්‍යාණ මිත්‍ර මහා පත්‍ර කලාවේදී ඩී. බී. ධනපාල සූරින්ගේ ‘ලංකාදීප’ පුවත් පත මඟින් ඇල්බට් පෙරේරා අරමුදලක් ආරම්භ කිරීමට පුරෝගාමී මෙහෙවරක නියැළුණා. දසතින් මහජන ආධාර ගලා ආවා. මේ ජනතා ආචාර, ආශිර්වාද මධ්‍යයේ මාව සරච්චන්ද්‍රයන් ‘අමරදේව‘ නමින් අභිෂේක කළා. මා භාරතය බලා පිටත්ව ගියේ අමරදේව නමින්.

ඒ අමරදේවගේ අතීත මතකයයි.

භාත්ඛන්ඩේ සංගීත විද්‍යාලයේදී අමරදේවයන් සිය සංගීත ශාස්ත්‍රය හැදෑරුවේ ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග්, උස්මාන් ඛාන්, මක්ෂුඩ් අලි ඛාන් වැනි විශිෂ්ට සංගීතාචාර්යවරුන් සෙවණේය. අමරදේවයන්ගේ කලා කෞෂල්‍ය පිළිබඳ පැහැදීම කොතෙක්දැයි කියතොත් ශ්‍රී විෂ්ණු ගෝවින්ද ජෝග් පඬිවරයා සිය වැඩිමහල් පුතනුවන් හට නම් තබන ලද්දේ ද අමරදේව යනුවෙනි.

1955 වර්ෂයේදී පැවැති සංගීත ඩිප්ලෝමා පරික්ෂණයේදී සකල භාරතීය අපේක්ෂකයන් අතරින් ප්‍රමුඛ ස්ථානය හිමි කර ගන්නේ අමරදේවයන්ය. එම වසරේදීම ඔහු හට සමස්ත භාරතීය විශ්ව විද්‍යාලන්තර තරගයේදී ඒකල වයලීන වාදනයෙහි විශිෂ්ටතා පළිහ ද හිමිවීම සුවිශේෂත්වයකි. 1958 වර්ෂයේදී ගායන, වාදන ක්ෂේත්‍ර ද්වයෙහි විශාරද උපාධි ලැබූ අමරදේවයෝ පෙරළා සිය මවු රටට සම්ප්‍රාප්ත වූහ. ඒ වන විට මෙරට ජාතික සංගීතය පිළිබඳ නැවුම් පුබුදුවක අරුණළු පැතිරෙමින් තිබිණ. පනහ දශකයේ මැද භාගයේදී පමණ මඩවල එස්. රත්නායක ගුවන් විදුලි සේවයේ සිංහල අංශයෙන් ඉදිරිපත් කළ ජන ගායනා වැඩ සටහනත්, සංගීත විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වාගේ නිර්මාණ කෞෂල්‍යයෙන් බිහි වූ ‘රසධාරා’, ‘ගීත නාටක’ වැනි අලුත් සංගීතමය වැඩ සටහන් නිෂ්පාදනය වූයේ මෙරට ජාතික සංගීතයක් ගොඩ නැංවීමේ පරම අභිලාෂයෙන් යුක්තවය.

ජන ගායනා මුල්ම වැඩ සටහන් දෙකට සංගීතය සැපයුණේ සංගීතවේදී ඩබ්ලිව්. එෆ්. විමලසිරි අතිනි. කලක් නතරව තිබූ මෙම වැඩසටහන යළිත් ඇරඹුණේ අමරදේවයන්ගේ සම්ප්‍රාප්තියත් සමඟිනි. ඔහු විසින් සංගීතවත් කරන ලද ‘රන්වන් කරල් සැලෙයි’ වැනි ගීත ගුවන් විදුලි ශ්‍රාවකයා අතර අප්‍රමාදව ජනප්‍රියත්වය දිනා ගැනීමට සමත් විය. ජන ගී ගායනයෙහි මාත්‍රා පිළිබඳ මනා වැටහීමකින් යුතුව ඉතා සියුම් ලෙස ජන ගායනයට ශාස්ත්‍රීය හැඩ තලයන් එක් කරන්නට අමරදේවයන් සමත් විය. ස්වකීය ශාස්ත්‍රීය සංගීත ඥානය උපයුක්ත කර ගනිමින් හේ දේශීය ගීතයේ එතෙක් පැවැති ස්ථායි අංගයට අමතරව අන්තරා අංගය ද එක් කළේය. ස්්ථායි, අන්තරා යන අංග ද්වය උපයෝගී කර ගනිමින් වඩාත් විචිත්‍රවත් ගායන මාධූර්යයක් බිහි කළ හැකි බව සාක්ෂාත් කරමින් ජන ගී ඇසුරෙන් නව ගායන ශෛලියයක් බිහි කිරිමට පුරෝගාමී වූයේ අප වියත් සංගීත චින්තකයා වන අමරදේවයන්ය. ගීතයේ සාහිත්‍යමය පාර්ශවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් විශිෂ්ට ගේය පද රචනා සම්ප්‍රදායක් ආරම්භ කිරීමේ මුල් පදනම වැටෙන්නේ අමරදේව ගුවන් විදුලියට සම්බන්ධවීමත් සමඟිනි.

ජන ගායනා, මධුවන්ති, රස මියුරු විජය ගීත, ස්වර වර්ණ වැනි සංගීතමය වැඩසටහන් මඟින් නව නිර්මාණ ශෛලියක් සිංහල ගී කෙත පුරා අස්වද්දන්නට එතුමන් මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස් හා මහගමසේකර වැනි ප්‍රබුද්ධ ගීත රචකයන් සමඟ අත්වැල් බැඳ ගත්තේය. හැටේ දශකයේ මුල් භාගයේදී නිර්මාණය වූ ‘මධුවන්ති’ සංගීතමය වැඩ සටහන හරහා අමරදේව – මහගමසේකර සුසංයෝගයේ අග්‍රඵලය ලෙස ඉතා විශිෂ්ට, මධුර ගී එකතුවක් මෙරට ගුවන් විදුලි ශ්‍රාවකයා වෙත පිරිනැමුණි. ‘සන්නාලියනේ, ඉරට මුවාවෙන්. පිලේ පැදුර, මළ හිරු බසිනා, ගී පොතයි මීවිතයි’ ආදී ගී නිර්මාණය වූයේ එම වැඩසටහන ඔස්සේය.

අමරදේව සතු ගී ප්‍රබන්ධය කිරීමේ හැකියාව ද ඔහුගේ සංගීත නිර්මාණ හා ගායන ප්‍රාගුණ්‍යය සේම විශිෂ්ටය. විස්මිතය. ඔහු මුල් අවධීයේදී ගායනා කළ වඳිමු සුගත සාක්‍යසිංහ, සීගිරියේ සිතුවම් රමණී, ශාන්ත මේ රෑ යාමේ, හඳපානේ වැලිතලා, පීනමුකෝ කළු ගඟේ වැනි ගී පබැඳුම් ඔහුගේම ස්වාධීන නිර්මාණ සේ සැලකිය හැකිය. සකල කලාවන්හි පදනම කවිය යැයි අදහන අමරදේවයෝ කවීත්වයෙන් තොර කිසිවකු සැබෑ කලාකරුවකු නොවන වග තරයේ විශ්වාස කරති. භාෂා සංවේදිතාව මෙන්ම පිරිපුන් කවීත්වයකින් හෙබිවීම හොඳ ගීත නිබන්ධකයකු වීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන බව අමරදේවයෝ පවසති. එහෙත් හොඳ ගීත නිබන්ධකයකු සොයා ගැනීම කළුවර කාමරයක සිටින කළු බළලකු සොයා ගැනීම වැනි අසීරු කාර්යයක් බව එතුමාගේ මතයයි.

අමරදේවයන් සතුව තිබූ භාෂා සංවේදිතාවට අපූරු නිදර්ශනයක් ඔහුගේම ගීතයක් මඟින් පෙන්වා දිය හැකිය. ඒ මඩවල එස්. රත්නායක විසින් රචනා කළ ‘මින්දද හී සර’ ගීතය ඇසුරිනි. එහි ස්ථායි කොටසේ මඩවල විසින් ලියා තිබුණේ ‘කන්ද කපා පායාපන් පුන්සඳ’ යනුවෙනි. අමරදේව එකී පද වැලට තනුව නිර්මාණය කරද්දී ඉහත වැකිය ‘කන්ද කපා පායන් රන් පුන්සඳ’ කියා වෙනස් කලේය. අර්ථ රසය අතින් බලන කළ මේ පද යෙදුම් දෙකම එකසේ රසපූර්ණ වුව ද ‘පායාපන් පුන් සඳ’ යන්න ‘පායන් රන් පුන් සඳ’ යනුවෙන් වෙනස් කිරීම නිසා පෙර නොවූ ශබ්ද මාධූර්යයක් ඊට එක්ව තිබේ. ඒ කලින් වූ ‘න’ ශබ්ද දෙකකින් නැඟෙන හඬට තවත් ‘න’ ශබ්දයක් එකතු වූ නිසාවෙනි.

‘ජගන් මෝහිනී
මධුර භාෂිණී
චාරු දේහිණී
කමල වාසිනී
සරස්වතී දේවී වන්දේ – සරස්වතී දේවී’

1964 වසරේ පැවැති ප්‍රථම ‘සරසවිය’ සම්මාන උළෙලේ සමාරම්භය සනිටුහන් කරමින් ගැයුණු එම සරස්වතී අභිනන්දන ගීතය අමරදේව ගී මඟෙහි සුවිශේෂ කඩඉමක් සේ හැඳින්වීම යුක්ති යුක්තය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ශූර, වෙසරද භාෂාන්තර දැනුම විශද කළ එකී ගීතය අද ද බොහෝ සංස්කෘතික, කලා මංගල්‍යයන්හි වාදනය කරනු ලබයි. ‘සරසවිය’ හා එම ගීතය අතර වන අත්‍යන්ත බැඳීම පිළිබඳ බොහෝ දෙනකු හට අවබෝධයක් නොමැති වුවත් එකී අතීත පුරාවත සරසවියේ වර්තමානිකයන් වූ අපට ද ඉමහත් ගෞරවයකි, අභිමානයකි.

ලාංකේය සිනමා සංගීතයේ අමරදේව ලකුණ ද වෙසෙසින් අගය කළ යුත්තකි. අමරදේවයෝ දෙයාකාරයකින් මෙරට සිනමා සංගීතය හරහා සිය අනන්‍යතාවත්, නිසඟ ප්‍රතිභාවත් ප්‍රකට කළේය. ඒ ගායනවේදියකු හා සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසිනි. ප්‍රථම ‘සරසවිය’ සම්මාන උළෙලේ හොඳම සංගීත අධ්‍යක්ෂවරයා ලෙසින් සම්මානයට පාත්‍ර වන්නේ අමරදේවයන්ය. ඒ ‘ගම්පෙරළිය’ චිත්‍රපටයෙනි. ගීත ඇතුළත් නොවූ ප්‍රථම සිංහල චිත්‍රපටය ලෙසද එය ඉතිහාසයට එක්ව තිබේ. එම සම්මාන උළෙලේදීම නාරද දිසාසේකර හා නන්දා මාලිනිය හොඳම ගායකයා හා ගායිකාව ලෙස සම්මානනීය වූයේ ද අමරදේවයන් ‘රන්මුතු දූව‘ චිත්‍රපටයට නිර්මාණය කළ ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතයෙනි. එය මානවසිංහයන්ගේ පද සංකල්පනාවක් වූ අතර අමරදේව හා නන්දා මාලිනිය ගැයූ ‘පාරමිතා බල පූරිත පූජිත’ ගීතය ඇතුළත් වන්නේ ද එම චිත්‍රපටයටමය.

‘රන්සළු’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරමින් ඔහු ‘සිරිපා පියුමේ රොන් සුණු විසිරේ’ ගීතය ද ගායනා කළේය. ‘තුං මං හන්දිය’ චිත්‍රපටයට අමරදේව එක් කළ භාවමය සංගීතය පිළිබඳ එකල බොහෝ දෙනා කතාබස් කළේ ප්‍රසාද මුඛයෙනි. ‘මඩොල් දූව‘ චිත්‍රපටයට වික්ටර් රත්නායකයන් ගයන ‘කොහේ ද කොහේ ද අපේ ලොවක්’ අමරදේවයන් අතින් නිර්මාණය වූ අපූර්ව ගීතයකි. එය රචනා කරන ලද්දේ සුනිල් ආරියරත්නයන්ය. ‘දෙලොවක් අතර’ චිත්‍රපටයේ නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ ලොස් කැබලෙරෝස් ගයන ‘ගයන ගැයුම් නටන නැටුම්’ අමරදේවයන් සතු විසිරී පැතිරුණු සංගීත ඥාණය පිළිබඳ අපට විශ්මයක් ඇති කරන්නට සමත් වූ ගීතයකි. එය මහගමසේකර විසින් රචිත වෙනස්ම අයුරක ගීතයක් බව ද මෙහිලා සඳහන් කළ යුතුය. එමෙන්ම ධර්මසිරි ගමගේ විසින් රචනා කරන ලදුව එච්. ආර්. ජෝතිපාල ‘තරංගා’ චිත්‍රපටයට ගැයූ ‘කන්දෙන් කන්දට ලන්දෙන් ලන්දට’ ගීතය ඔබ අසා ඇතිවාට සැක නැත. එය ද අමරදේව සතු මහා සංගීත ප්‍රතිභාවේ සොඳුරු ඵලයකි.

ඉපිද මැරේ යළි ඉපිදේ (දස්කම), සංසාර ගමනේ (සැනසුම කොතැනද), තන්හා ආශා ඔළොගු කරේ ලා (පටාචාරා), සිනිඳු සුදු මුතු (සත් සමුදුර), ස්වර්ණ විමානෙට (ගැටවරයෝ), නිම් හිම් සෙව්වා (සීතාදේවි), බමරිඳු බමරිඳු ( සරුංගලේ) ආරාධනා (ආරාධනා) වැනි අමරදේව ගැයූ චිත්‍රපට ගීත ද ලාංකේය සිනමා වංශයේ නොමැකෙන අයුරින් සටහන්ව තිබේ.

වේදිකා නාට්‍යය හා මුද්‍රා නාට්‍යය සඳහා අමරදේවගේ සංගීත දායකත්වය ද අපට කිසි විටෙක අමතක කළ නොහේ. මොරටු විද්‍යාලයේ ‘කිරිහාමි’ නාට්‍යයේ සිට සුනේත්‍රා, සැළලිහිණි සංදේශය, රාවණා, චණ්ඩාලි, විදුර, පුෂ්පභෘංගාර, තිත්ත බත, පබාවතී, කරදිය, නල දමයන්ති, වෙස්සන්තර ආදී නිර්මාණ කිහිපයකම සංගීතය නිර්මාණය කරමින් හේ විවිධ සංගීත පර්යේෂණ හා අත්හදා බැලීම් සිදු කළේය. එකී පාර්ශවයෙන් ද ඔහුගේ දායකත්වය විශිෂ්ට වූවකි.

අමරදේවයන් සංගීත විෂය පිළිබඳ කෙතරම් පාරප්‍රාප්ත වුව ද හේ ක්ෂේත්‍රය තුළ හැසිරුණේ පණ්ඩිතයකු හෝ පුරසාරම් දොඩන්නෙකු ලෙස නොවේ. තම නිර්මාණ පිළිබඳ එතුමන් තමන්ගේ අර්ථකථන සපයන්නට ගියේ නැත. ජනතාව හා හෘදය සංවාදී විය යුතු වන්නේ නිර්මාණය මිසක නිර්මාණකරුවා නොවන වග ඔහු විශ්වාස කළේය. එය අනු දත්තේය. ඇතැමුන් නව පරපුර ද්වේශ සහගත ලෙස විවේචනය කරනා විට අමරදේවයෝ සැබෑ දක්ෂයා නිර්ලෝභීව අගය කළහ. ඔවුන් වෙනුවෙන් සිය ආශිර්වාදාත්මක හඬ නිරන්තරයෙන් අවධි කළේය. අමරදේව සතු මහා මුදිතා ගුණය එලෙසය.

මට අමරදේවයන් හමු වී එතුමන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට මුලින්ම අවස්ථාව සැලසුණේ මින් විසි එක් වසරකට පෙරාතුවය. ඒ මා ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ කර්තෘත්වය දැරූ ‘සුමියුරු’ සංගීත පුවත්පතෙහි ප්‍රධාන උප කර්තෘවරයා ලෙස සේවය කළ අවධියේය. අමරදේවයන්ගේ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් විශේෂාංග ලිපියක් සකස් කරන්නට වඩුගේ මහතා දිනක් මට නියම කළේය. දුරකථනයෙන් මා එතුමන් ඇමැතූ අවස්ථාවේ අදාළ ප්‍රශ්න සටහන් කොට තමන් වෙත එවන ලෙස අමරදේවයන් මගෙන් ඉල්ලා සිටියේය. ඒ බැව් මවිසින් වඩුගේ මහතාට දැනුම් දුන් විට ඔහු අමරදේවයන්ට නැවත කථා කොට මා පිළිබඳ එතුමාණන්ට යම් හෙළිදරව්වක් කළේය. ඒ මෙපරිද්දෙනි.

‘අමරේ, බය වෙන්න එපා. මේ අසංක කියන්නේ මහා කවි තිහාරියේ පීටර් පෙරේරාගේ මුනුපුරා. මෙයාගේ තාත්තා තිහාරියේ මානෙල් පෙරේරා. ප්‍රශ්නයක් නෑ මිනිහා හොඳට වැඩේ කරයි.’

වඩුගේ මහතාගේ එම හෙළිදරව්වත් සමඟ ඊළඟ දවසේ පැමිණ ඔහු හමුවන ලෙස අමරදේවයන් මට දන්වා සිටියේය. ඡායාරූප ශිල්පියකු සමඟ මා එවකට ඔහු පදිංචිව සිටි නුගේගොඩ එල්වින් පෙදෙසේ නිවසට ගියෙමි.

‘ආ . . . සීයයි . . . තාත්තයි දෙන්නවම මම හොඳට දන්නවා යයි කියමින් ඉතා ළෙන්ගතු අයුරින් මා පිළිගත් අමරදේවයන් එතැන් පටන් මා හා සම්මුඛ සාකච්ඡාවට එළඹුණේ කිසිදු පැකිලීමකින් තොරවය. ඔහු සිය අසුන මත එරමිණියා ගොතා වාඩි වී ඉතා සැහැල්ලු ආකාරයෙන් මා හා සංවාදයේ නියැළුණේ කලක පටන් දන්නා හඳුනන අයකු ලෙසිනි.

සාකච්ඡාව අහවර කර ඔහුට සමු දෙන්නට යන මොහොතේ මම එතෙක් මගේ බෑගයේ දමාගෙන සිටි මහාචාර්ය සුචරිත ගම්ලත් රචිත ‘සාහිත්‍ය විචාර හා මාක්ස්වාදී විකට රූප’ කෘතිය ඔහු අතට පත් කළෙමි. ‘මේකේ ඔබතුමා ගැන ලිපියකුත් තිබෙනවා’ යැයි මා සඳහන් කරන විට ද ඒ කෘතිය අමරදේවයන්ගේ සුරතට පත්ව තිබිණ, මහාචාර්ය ගම්ලතුන් එම කෘතියේ අමරදේවයන් ගම් උදාවේ ගීත ගැයීම පිළිබඳ තරමක දැඩි විවේචනයක් හා විරෝධයක් එල්ල කර තිබූ අයුරු මට තවම මතකය.

‘පොඩ්ඩක් ඔහොම ඉන්න’ යනුවෙන් මා ඇමතූ අමරදේවයන් කඩිනමින් නිවෙස තුළට ගොස් යළි පැමිණියේ කිසියම් සමරු කළඹක් රැගෙනය. පෙර අසුනේම වාඩි වූ ඔහු එහි කිසියම් සටහනක් තබා එය මා වෙත බාර දුනි. ඒ රුහුණු විශ්ව විද්‍යාලය මඟින් ඊට දින කිහිපයකට පෙර පැවැති උපාධි ප්‍රධානෝත්සවයේදී අමරදේවයන් හට ‘සාහිත්‍ය සූරී’ සම්මානය පුද කරමින් හේතු පාඨ දක්වා තිබූ විශේෂ සමරු කළඹේ පිටපතකි. එහි මුල් පිටුව පෙරලූ විට මට දකින්නට ලැබුණේ ‘අසංකයනට’ යනුවෙන් අමරදේවයන්ගේ අස්සන යොදා මා වෙනුවෙන් එතුමන් කළ බුහුමනය. ඊට පෙර හෝ පසුව කිසි කවර කලෙක කිසිවකුත් මට ‘අසංකයන්’ කියා ආමන්ත්‍රණය කොට නැත. අමරදේව වැනි උත්තම පුරුෂයෙක් සතු අව්‍යාජ, නිහතමානී, මුදිතා ගුණය එලෙසය.

ආරෝග්‍යමස්තු!
ශුභ මස්තු!!
සිද්ධ රස්තු!!!

යනුවෙන් ප්‍රාර්ථනා එක් කරමින් එළඹෙන අසූ අට වැනි ජන්ම දිනයට මෙසේ එතුමාණන්ට සුභාශිංසන ගෙන එන්නේ සුවහසක් සහෘද ජනතාවගේ ආශිර්වාදය ද පෙරටු කොට ගනිමිනි.

‘ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපළු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔබගෙ නාමය වේ…’

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*