සැම්සුන් සමාගමේ නවතම හඳුන්වාදීම වන ගැලැක්සි නෝට් 7 ස්මාර්ට් දුරකතනයේ පවතින කිසියම් දෝෂයක් නිසා එම දුරකතන ගිනි ගැනීමේ අවස්ථා වැඩි බැවින් ගැලැක්සි නෝට් 7 නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමටත් අලෙවි කළ දුරකතන නැවත ගෙන්වා ගැනීමටත් එම සමාගමට සිදුවී ඇත. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන සැම්සුන් සමාගම පවසා ඇත්තේ ‘පාරිභෝගියන්ගේ ආරක්ෂාව’ පිළිබඳව සැලකිලිමත් වී මේ තීරණය ගත් බවයි.
ගැලැක්සි දුරකතන ගිනිගත් බව මුලින්ම අනාවරණය වූ අවස්ථාවේදී හානියට පත් දුරකතන පමණක් නැවත ගෙන්වා ගැනීමට සමාගම කටයුතු කළ අතර වරද නිවැරදි කළ බව පවසමින් අලූත් ගැලැක්සි ෆෝන් එම පිරිස වෙත ලබාදීමට පියවර ගෙන තිබුණි. නමුත් එසේ දුන් දුරකතනද ගිනි ගැනීම නිසා එය නිෂ්පාදනයේම දෝෂයකින් සිදුවන්නක් බව පිළිගැනීමට සමාගමට සිදුවිය. ඒ සමගම ගැලැක්සි දුරකතනය ගිනි ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ සමාජ ජාල හරහා දිගට හරහට ප්‍රචාරය වීමට පටන් ගැනුණු අතර අලෙවි කර තිබූ දුරකතන සියල්ල නැවත ගෙන්වා ගැනීමත් නිෂ්පාදනය නවතා දැමීමත් හැර වෙනත් විකල්පයක් සමාගමට නොතිබුණි.
දකුණු කොරියාවේ ආර්ථීක කටයුතු පිළිබඳ ඇමතිවරයාද මේ පිළිබඳව සැම්සුන් සමාගම හා සාකච්ඡා කර ඇති අතර ඔහු පවසා තිබුණේ සමාගම විසින් වරද පිළිගෙන එය නිවැරදි කිරීමට කටයුතු නොකළොත් දකුණු කොරියාවේ සමස්ත අපනයන කටයුතුවලට එය විශාල හානියක් විය හැකි බවයි.
එම දුරකතනයේ බැටරියේ හටගත් දෝෂයක් මෙම ගිනි ඇවිලීමට හේතු වී ඇති බව ඒ පිළිබඳව කරන ලද පරීක්ෂණ මගින් තහවුරු වී ඇත. ගැලැක්සි 7 සඳහා යොදා ගැනුණු බැටරිය නිර්මාණය කිරීම සඳහා සියයට 70 ක් සැම්සුන් සමාගමේ SDI බැටරි භාවිතයට ගෙන ඇති අතර ඉතිරි සියයට 30 සඳහා චීනයේ නිෂ්පාදිත ATL බැටරි යොදාගෙන ඇත. ගිනි ගැනීම සඳහා හේතුව වී ඇත්තේ සැම්සුන් සමාගමේ SDI බැටරිවල හටගත් දෝෂයකි.
2016 අගෝස්තු 19 වන දින නිල වශයෙන් ලොවට විවර වූ ගැලැක්සි නෝට් 7 දුරකතනය මාස දෙකහමාරක් ඉක්ම යෑමට මත්තෙන් දුරකතන මිලියන 2.5 ක් පමණ අලෙවි කිරීමට සමත් වී තිබුණි. එහෙත් හටගත් අනතුරුදායක තත්ත්වය තුළ අලෙවි කරනු ලැබූ සියලූම දුරකතන නැවත ගෙන්වා ගැනීමට සමාගම පියවර ගනු ලැබුණි. මෙම නැවත ගෙන්වා ගැනීමේදී තැපැල් මගින් දුරකතනය හරවා යැවීමට උත්සාහ කළ ඇතැම් රටවල පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවලට මුහුණ පා ඇති අතර බොහෝ තැපැල් හල් මෙම දුරකතනය භාර නොගැනීම ඊට හේතුව වී ඇත.
එසේම ලෝකයේ ගුවන් සේවා රැසක් ගුවන් ගමන් අතරතුරදී ගැලැක්සි 7 භාවිත කිරීම තහනම් කර තිබුණි. ඊට හේතුව ලෙස ඔවුන් දක්වා තිබුණේ එහි බැටරිය පිපිරීමට හා ගිනි ගැනීමට ලක්විය හැකි නිසා එය ගුවන් යානයේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි.
මේ අතර ගැලැක්සි නෝට් 7 දුරකතනය සම්බන්ධ කරගනිමින් හාස්‍ය උපදවන ආකාරයේ පරිඝනක ක්‍රීඩාවක් මෑතකදී යම් අයෙකු විසින් අන්තර්ජාලයට මුදා හැර තිබුණි. බොහෝ දෙනෙකු විසින් දන්නා GTA 5 පරිඝනක ක්‍රීඩාවේ බෝම්බයක් වෙනුවට ගැලැක්සි නෝට් 7 දුරකතනය භාවිත කරන ආකාරය මෙහි දැක්වේ. ක්‍රීඩාව තුළදී ගැලැක්සි නෝට් 7 දුරකතනයෙන් දමා ගැසූ විට එය බෝම්බයක් ලෙස මහ හඬින් පුපුරා යයි. තම සමාගමේ දුරකතනය යොදාගනිමින් මෙවැනි දෙයක් නිර්මාණය කිරීම පිළිබඳව සැම්සුන් සමාගම දැඩි කණස්සල්ල පළ කොට තිබුණු අතර ඒ බව යූ ටියුබ් වෙත දැනුම් දී අදාළ වීඩියෝව මකා දැමීමට ක්‍රියා කර තිබුණි. එහෙත් මේ වන විට නැවතත් එය යූ ටියුබයේ දක්නට ලැබේ. එම වීඩියෝව ඉවත් කිරීමට තරම් සෑහෙන සාධක සැම්සුන් විසින් ඉදිරිපත් නොකළ නිසා නැවතත් එය දැමූ බව යූ ටියුබ් ඒ පිළිබඳව පවසා ඇත.
සැම්සුන් සමාගම ගැලැක්සි 7 දුරකතනය නිෂ්පාදනය නතර කිරීමත් විකුණූ දුරකතන නැවත ගෙන්වා ගැනීමත් නිසා එම සමාගමට සිදුවී ඇති පාඩුව ඩොලර් බිලියන 17 කට ආසන්න බව පැවසේ. ඒ සමගම සැම්සුන් සමාගමේ කොටස් අලෙවියද සියයට 2.7 කින් පහළ බැස ඇත.
සැම්සුන් ගැලැක්සි 7 අලෙවිය ඇරඹීමේදී එම සමාගමේ ඉලක්කය වූයේ ලොව පුරා මෙම දුරකතන ලක්ෂ 190 ක් අලෙවි කිරීමය.

Share this Post