ලෝකයේ සිවිල් යුද්ධ පවතින රටවල් අතරින් කොලොම්බියාව මුල් පෙළේ සිටින අතර එරට සිවිල් යුද ඉතිහාසයට අඩ සියවසකටත් එහා ගිය අතීතයක් ඇත. FARC ගරිල්ලන් හා කොලොම්බියානු රජය අතර පැවති මෙම දීර්ඝ කාලීන ගැටුම නිසා අහිමි වී ගිය මිනිස් ජීවිත සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස ඉක්මවා තිබුණි. උන්හිටි තැන් අහිමි වීමෙන් දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විපතට පත් වුණි.
මෙසේ වසර 52 ක් පුරා කොලොම්බියා රජයට එරෙහිව සටන් වැදී සිටි FARC ගරිල්ලන් පසුගිය අගෝස්තු 28 වෙනිදා එම දීර්ඝ සිවිල් යුද්ධය නිමා කරමින් කොලොම්බියානු රජය සමග සටන් විරාම ගිවිසුමකට අත්සන් කෙරුණි. ඒ සමගම එම සාම ගිවිසුම අනුමත කළ යුතුස එසේත් නැතිනම් එය ඉවත දැමිය යුතුද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා ජනමත විචාරණයක්ද පවත්වනු ලැබුණි.
මෙම ජනමත විචාරණයේ ප්‍රතිඵල දැන් නිකුත් වී ඇත. එම ප්‍රතිඵලවල සටහන් වූයේ රජය සහ ෆාර්ක් ගරිල්ලන් අතර අත්සන් තැබූ සාම ගිවිසුම ප්‍රතික්ෂේප කරමින් ජනතාව ඡන්දය භාවිත කර ඇති බවයි. එහිදී සාම ගිවිසුම පිළිගන්නා බවට සියයට 49.8 ක් ඡන්දය දෙද්දී එය ප්‍රතික්ෂේප කරමින් සියයට 50.24 ක් ඡන්දය දී තිබුණි. කොලොම්බියාවේ හිටපු ජනාධිපතිවරයකු වූ අල්වාරො යුරිබ් මෙම සාම ගිවිසුමට එරෙහිව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ අතර එහිදී ඔහු පවසා තිබුණේ, කොලොම්බියානු වැසියන්ට සාමය අත්‍යවශ්‍ය වූවත් එම කටයුත්තේදී නිවැරදි කිරීම් සහිතව එය කළ යුතු බවයි.
ජනතාව පීඩාවට පත් කරමින් දීර්ඝ කාලයක් තිස්සේ පැවති සිවිල් යුද්ධය නිමා කිරීමට අත්සන් කළ සාම ගිවිසුම එරට ඡන්ද දායකයින් ප්‍රතික්ෂේප කළත් සාමය උදෙසා තැබූ ඉදිරි පියවර ආපසු නොගන්නා බව කොලොම්බියානු ජනපතිවරයා සහ ෆාර්ක් ගරිල්ලන් පවසා තිබුණි.
එහෙත් මේ පිළිබඳව පළ වී ඇති නවතම පුවත්වලින් දැක්වෙන්නේ කොලොම්බියානු රජය සහ ෆාර්ක් ගරිල්ලන් එකඟත්වය පළ කළ සටන් විරාමය පිළිබඳව ජනමත විචාරණයේදී ලැබුණු ඡන්ද ප්‍රතිශත සලකා බැලීමේදී වැඩි පිරිසක් සටන් විරාමයට විරෝධය පළ කරමින් ඡන්දය දී ඇති නිසා මෙම ගිවිසුම අවලංගු කිරීමට සිදුවිය හැකි බවයි.

Share this Post