Zika වෛරසය ශරීරගත වූ මවක විසින් පසුගියදා බිහිකරන ලද ළදරුවා නිරෝගි තත්ත්වයෙන් පසුවන බව කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිවරයා පවසා ඇත. මෙම මව ගර්භනී සමයේ මුල් අවධියේදී යෙදුණු සංචාරයකදී සිකා වෛරසය ශරීරගත වී ඇති බව සොයාගනු ලැබුණි.

සිකා වැළඳුණු මවුවරුන් බිහිකල බොහෝ දරුවන් තුළ දක්නට ලැබෙන සංකුලතා අලුත උපන් මේ බිළිඳා තුළ දක්නට නොලැබුණත් මෙම දරුවා පිළිබඳව වෛදයවරුන්ගේ දැඩි අවධානය යොමු කොට සිටී.

වෛරසයේ බලපෑම නිසා දරුවාගේ මොළයේ සෛලවලට යම් හානියක් හෝ දරුවාගේ වැඩීමේ දුර්වලතා ඇත්ද යන්න පිළිබඳව මෙහිදී විශේෂ සැලකිල්ල යොමු කොට ඇත.

මේ වන විට Zika ආසාදිත කැනේඩියානුවන් 187 ක් පිළිබඳ වාර්තා වී ඇති බවත් ඉන් 11 දෙනෙකුම ගැබිණි කාන්තාවන් බවක් මහජන සෞඛ්‍ය නියෝජිතායතනය පවසා සිටී.

ලොව පුරා සිකා අසාදිත මවුවරුන් බිහිකළ දරුවන් අතරින් බහුතරයක් ස්නායු ආශ්‍රිත රෝග ඇතුළු විවිධ සංකුලතාත් හිස ප්‍රදේශය විකෘතිවත් බිහිවූ දරුවන් බව ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ග්‍රෙගරි ටේලර් පවසා සිටී. මේ වන තෙක් මෙම සහමුලින්ම මැඩ පැවැත්වීමට හැකි ක්‍රමයක් සොයාගෙන නොමැති වීම මෙහි ඇති වඩාත්ම භයානක තත්ත්වය බව වෛද්‍ය ග්‍රෙගරි පවසයි.

ගැබිණි කාන්තාවන් හා දරුවන් බලාපොරොත්තු වන කාන්තාවන් ෆ්ලොරිඩාවේ උතුරුදිග මියාමිහි කුඩා කලාපයක සංචාරක කටයුතුවල යෙදීම සීමා කිරීම සුදුසු බව මේ සතිය මුලදී කැනඩාවේ මහජන සෞඛ්‍ය ආයතනය පවසා තිබුණි. මියාමි ඩවුන්ටවුන් ආශ්‍රිත එම කලාපයෙන් සිකා අසාදිතයින් 16 දෙනෙකු පිළිබඳ වාර්තා වී ඇති නමුත් එම කිසිවෙකුත් සිකා පැතිර ඇති බවට ප්‍රධාන වශයෙන් පැවසෙන දකුණු ඇමරිකාවේ කිසිදු රටකට සංචාරය කළ අය නොවන බව ෆ්ලෝරිඩා සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ඇත. මෙවැනි තත්ත්වයක් තුළ මේ පිරිසට සිකා වෛරසය කෙසේ වැළඳී ඇත්දැයි යන්න පිළිබදව මේ වන විට පරීක්ෂණ සිදුකෙරේ.

සංචාරක පාරාදීසයක් වන ෆ්ලොරීඩාවට සෑම වසරකම කැනේඩියානුවන් මිලියන හතරකට අධික සංඛ්‍යාවක් යන බව ඒ පිළිබඳව ඇති වාර්තා පෙන්වා දේ.

Share this Post