July 26, 2017

මුරලි…. ඔබ අපේ….!

වසර කීපයකට පෙර ටෙස්ට් ක්‍රිකට් පිටියෙනුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙනුත් සමුගැනීමෙන් පස්සෙ මුරලි ගැන කවුරුන් හෝ කතා කළා නම් ඒ මොකක් හරි විවෘත කිරීමකට හෝ එවැනි ප්‍රජා කටයුත්තකට ඔහු සම්බන්ධ වීම ගැන විතරයි. ඒත් නිහැඬියාව බිඳ දමමින් පසුගිය දින කීපය පුරාම ලංකාවේ මාධ්‍යවල ප්‍රධාන කතාබස් අතරට මුරලි ආයෙත් එකතු වෙලා. ගල්, මල්, බැණුම්, සුභපැතුම් පිරුණු ඒ කතාබහ ගැන අපිතටිකක් කතා කරමු.

මුරලි ක්‍රිකට් විශිෂ්ටයන් අතරට

ශ්‍රී ලංකාවෙන් බිහි වූ අතිවිශිෂ්ටම දඟ පන්දු යවන්නා මුරලිදරන් යැයි කීවොත් ඒක වැඩි ආලවට්ටමක් නොවේ. මුරලිගේ මේ දක්ෂතාව  අපේ අයට එතරම්ම ලොකුවට නොදැනුණත් ලෝකයා ඒ දෙස බලන්නේ අසාමාන්‍ය ගෞරවාදරයකින්. ඒ අනුව ‘ලෝක ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමාවලියට’ මුරලිගේ නමත් එකතු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණයක් අරන් තියෙනවා. මේ විදියට අන්තර්ජාතික ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමාවලියට එක් වුණ පළමුවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන්.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය වසර 139 ක් පරණයි. මේ ඉතිහාසය තුළ වැඩිම කඩුලූ සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නාත් (කඩුලු 800 ක්) එක්දින අන්තර්ජාතික තරග ඉතිහාසයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නාත් (කඩුලු 534 ක්) කියන ලෝක වාර්තා දෙකටම හිමිකාරිත්වය උසුලන්නෙ අපේ මුරලියි.

මුරලිව විශිෂ්ටයන්ගේ නාමාවලියට එකතු කිරීම ගැන සුභ පතමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් රිචඩ්සන් මෙහෙම කියල තියෙනවා.

“මුරලිදරන් නූතන යුගයේ ක්‍රිකට් ක්‍රීඩාවේ බිහිවුණු විශිෂ්ටතමයෙක්. ඔහුගේ විශිෂ්ට පන්දු යැවීම නිසා ශ්‍රී ලංකාවට එක් දින සහ ටෙස්ට් යන අංශ දෙකෙන්ම ඉතාමත් හොඳ ශක්තිමක් කණ්ඩායමක් ගොඩ නගා ගැනීමට හැකිවුණා”

මුරලිව විශිෂ්ටයන් අතරට පත් කිරීම ගැන නිවේදනය අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ජූලි 27 වෙනිදා ප්‍රකාශයට පත් කොට තිබුණා.

කලකදි වහලු කලකදි රහ වෙනවාලු

මේ දවස්වල ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් සහභාගි වන ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාවෙ පැවැත්වෙනවා. මෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නෙ වෝන්-මුරලි කුසලානය සඳහායි.

ඒ අව් අස්සෙ මුරලිට මහ ලොකු චෝදනාවකුත් එල්ල වෙලා. මුරලිව කුසලානයේ නමටත් දාල තියෙද්දි, ලංකාවට ගහන්න ආව ඕස්ට්‍රේලියානුවන්ට මුරලි පුහුණුව දෙනවා කියන එක තමයි මේ චෝදනාව. ඒ චෝදනාව කෙසේ වෙතත් කතාව නම් එක්තරාඑ අන්දමකින් ඇත්ත. මොකද මේ තරගාවලිය පටන් ගන්න කලින් දවස් 10 ක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟ පන්දු උපදේශකයා විදියට මුරලි කටයුතු කරල තියෙනවා.

මේ විදියට මුරලි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උපදේශකයෙක් වුණ එක ගැන සමහර අයට හොඳටම රිදිලා. ඒත් සමහර අය කියන්නෙ එහි කිසිම වරදක් නෑ කියලයි. පහුගිය දවස්වල එක එක අය ඒ ගැන කියල තිබුණ කතා මේ විදියයි.

මේ සිදුවීම ලංකාවෙ ක්‍රිකට් බලධාරීන් සෑහෙන්න විවේචනයකරල තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඒ ගැන මෙහෙම කියල තිබුණා. ‘පුහුණුකරුවකු විදියට ඔහුගේ වෘත්තීයභාවය ගැන කිසිම ගැටලුවක් නෑ. ඒත් සදාචාරාත්මක ප්‍රශ්නයක් තියෙනවා. අපේ පැත්තෙන් බැලුවම මුරලි කළ දේ ගැන අපිට ලොකු හිතේ අමාරුවක් තියෙනවා’

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මුරලි කළ දේ ගැන කියල තිබුණෙ මේ විදියෙ කතාවක්. ‘මම මුරලි නම් ඔය වැඩේ බාරගන්නෙ නෑ. ඒත් මුරලි ඒක බාරගත්තා. ඒක හරිද නැද්ද කියල පැති කීපයකින් බලන්න ඕන. කාලයක් ඔස්ට්‍රේලියාවෙ අපිට හරියට කරදර කළා. මුරලි පන්දුව දමල ගහනවා කියල දොස් කිව්ව ඕස්ට්‍රේලියාවම අද මුරලිදරන් පුහුණුකරුවෙක් විදියට ගත්තා. මේකෙන් ඔප්පු වෙනවා එදා අපි මුරලිදරන් වෙනුවෙන් නගපු හඬ හරි කියලා. එක විදියකින් බැලුවොත් පුංචි කාලයකට හරි මේ වගේ කොන්ත්‍රාත්තුවක් අත්සන් කිරීම මුරලිදරන්ගේ ජයග්‍රහණයක්.’  මුරලි ගැන මෙහෙම කිව්ව අර්ජුන ක්‍රිකට් ආයතනය ගැනත් මෙහෙම කියල තිබුණා. ‘අපේ ක්‍රිකට් ආයතනයට ක්‍රිකට් දැනුම නෑ. දක්ෂ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදෙන්න ඒ අය කැමති නෑ’

මුරලිගෙ ක්‍රීඩා සගයින් මුරලිගෙ උපදේශකත්වය ගැන කියන්නෙ මේ විදියට.

මාවන් අතපත්තු ඒ ගැන කියල තිබුණෙ මෙහෙම කතාවක්. ‘මුරලි පුහුණුකරුවෙක් විදියට කටයුතු කරනව නම් මුළු ලෝකයටම සේවය සැපයීමට ඔහු සූදානම් වෙන්න ඕන. එක කණ්ඩායමකට පමණක් සීමා වී මේ වෘත්තිය ඉදිරියට ගෙන යන්න ඔහුට බෑ’

කුමාර් සංගක්කාර ට්විටර් පණිවිඩ කීපයකින්ම ඔහුගේ ක්‍රීඩා සගයා ගැන අදහස් පළ කරල තිබුණා. ‘ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න පුහුණුකරුවකු විදියට එන්න කියල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කළා නම් මුත්තයියා මුරලිදරන් පැකිලීමක් නැතිවම ඊට එකඟ වේවි’, ‘ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දක්වන්නෙක් නිසා මුරලි ඔහු දන්න දේ ගැන ඕනෑම කෙනෙකුට උපදෙස් දෙනවා’,  ‘මුරලි ඕනම වෙලාවක රට වෙනුවෙන් පෙනී ඉන්න ලෑස්තියි. ඒත් ඒ සඳහා ඔහුගෙන් ඉල්ලීමක් කළ යුතුයි’, ‘ලංකාවේ ඕනම දඟ පන්දු යවන්නෙක් මුරලි ගාවට ඇවිල්ල ඒ ගැන උපදෙසක් ඇහුවොත් මුරලි උපරිම කාලය අරන් ඊට උපදෙස් දෙනවා’, ‘මුරලි ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්. තමන් කැමති ඕනෑම අයෙකුව පුහුණු කිරීමේ අයිතිය ඔහුට තියෙනවා’. ඒ සියලුම අදහස් සංගක්කාරගේ ට්විටරයෙන්.  murali

මේ සියල්ල දෙස නිහඬව බලා සිටි මුරලි අවසානයේ තමන්ට එල්ල කරන චෝදනා ගැන මෙහෙම කිව්වා. ඔහු මේ කතා ටික කියල තිබුණෙ මහනුවරදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින්. ‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එල්ල කරන චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. ක්‍රිකට් සභාපතිතුමා ක්‍රිකට් ගැන දන්නෙ නෑ. මම රටට කළ සේවයෙන් සියයට 1 ක් වත් ක්‍රිකට් සභාපතිවරයා සිදුකරල නෑ’, ‘තරගාවලිය පුරාම දඟ පන්දු පුහුණු කරු ලෙස වැඩ කරන්න ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීම් තිබියදීත් දින 10 ක කාලයකට පමණයි මම එය බාරගත්තෙ. ඒකත් කළේ මේ තරගාවලිය පටන් ගන්න කලින්. තරග කාලෙදි පුහුණු කිරීම් කරන්න මම බාරගත්තෙ නෑ. එසේ කළේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවිරුද්ධ කණ්ඩායම ලෙස ක්‍රීඩා කරද්දි මට එය කරන්න අපහසු නිසා’, ’99 දී ඕස්ට්‍රේලියාවෙන් එල්ල වුණු චෝදනාවෙදි මුළු ලංකාවේම මිනිස්සු මාත් එක්ක හිටියා. මට සහාය දුන්නා. ඒව මට අමතක නෑ. ඒ ඕස්ට්‍රේලියාවම අද පුහුණුකරුවෙක් විදියට මාව කැඳවන්නේ එදා ඔවුන් කළ වැරැද්ද පිළිගන්න නිසයි’, ‘නිශාන්ත රණතුංග ක්‍රිකට් ලේකම් විදියට ඉන්න කාලෙ පමණක් පුහුණුකරුවෙකු ලෙස සහාය දෙන්න කියල මගෙන් ඉල්ලුවා. මගේ සේවය මම එදා නොමිලේම ලබාදුන්නා. එයින් පස්සෙ කිසිම කෙනෙක් මට ඒ වගේ ආරාධනාවක් කළේ නෑ’, ‘මාවන් අතපත්තු, චමින්ද වාස්, උපුල් චන්දන, රුවන් කල්පගේ, චන්දික හතුරුසිංහ වගේ ක්‍රීඩකයින්ගෙන් අපේ අය ප්‍රයෝජනයක් ගත්තෙ නෑ. අද ඔවුන් විදෙස් රටවල පුහුණුකරුවන් විදියට වැඩ කරනවා’, ‘ලංකාවෙ දක්ෂයො සිටිද්දි විදේශ පුහුණුකරුවන් ගෙනල්ල ඩොලර්වලින් ගෙවන අය මට වැරදියි කියල චෝදනා කරනවා. ඔවුන් ඒ චෝදනා කණ්ණාඩියක් ඉස්සරහට ගොස් තමා දිහා බලාගෙන කරගත යුතුයි’, ‘මම දවස් 10 ක් පමණක් ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන් පුහුණ කළ පමණින් ඔවුන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරන එකක් නෑ. එහෙම කරන්න පුළුවන් නම් මේ ලෝකයේ ඉන්න හොඳම පුහුණුකරුවා මම වේවි’

මේ විදියට ගොඩාක් දේවල් ගැන සඳහන් කළ මුරලි අවසානයේ කියූ දේ නම් හැමෝම හොඳින් ඇස් කන් ඇරල බලාගෙන අහගෙන සිතා බැලිය යුතු දෙයක්.

‘මාව ඔච්චර වටිනවා නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙක් විදියට බඳවාගෙන සෑම තරගයකින්ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරගන්න හැකිවෙන්න ඕන. ඒකට ක්‍රියාත්මක වෙන්න ඕන. මේ චෝදනා හැම එකක්ම හිස් ප්‍රලාප පමණයි. මට චෝදනා කරන ක්‍රිකට් සභාපතිවරයා ක්‍රිකට්වලට අඩුම ගානෙ රටට කළ සේවය මොකක්ද කියල පෙන්වා දෙන්න ඕන. මම අවුරුදු 20 ක් රට වෙනුවෙන් ක්‍රීඩා කළා. 2000 අවුරුද්දෙ ඉඳල දුප්පත් අසරණ මිනිස්සු 1000 කට ගෙවල් හදල දුන්නා. 50,000 ක පිරිසකට වාර්ෂිකව සහන සලසනවා. දුෂ්කර පාසල් 45 ක ක්‍රීඩා පිටි සකසා දීල තියෙනවා. මේ සියල්ලම මා සාදාගත් ස්වේච්ඡා සංවිධානයක් හරහායි සිදුකරන්නෙ. මේ අය ඒ අයගෙන් සිද්ධවෙන වැරදි වහගන්න මාව ඉත්තෙක් කරගෙන. මේ චෝදනා ඔප්පු කර පෙන්විය යුතුයි’

මුරලි, හඬ මිස වැඩ නැති කයිවාරුකාරයින් අතර ඔබ සැබෑම වැඩකාරයෙක්. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජාත්‍යන්තරය තුළ බැබළවූ ඔබ සැබවින්ම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්. කවුරු කොහොම මොනවා කිව්වත් සෑමදාම ඔබ අපට අගෙයි. සෑමදාම ඔබ අපෙයි.

මුරලි ඔබට අපේ සුභ පැතුම්………!

(ට්විටර් පණිවිඩ උපුටා ගැනීම BBC සන්දේශය)

චමරි අබේසිංහ

 

Share This:

1 Comment

  1. මුරලි ඔබ හරි. තමුන්ගේ හැකියාව පෙන්වීමට වඩා වැඩ කරන අයට විවිධ චෝදනා එල්ල කිරීම සමහරකගේ පහත් පුරුද්දක්.

Leave a Reply

Your email address will not be published.


*