“මම වෙජිටේරියන්. ඒ වුණාට බිත්තර කනවා….” මෙය ඇසෙන විට ‘මේ මොන හතරබීරි කතාවක්’ දැයි යමෙකුට සිතුණා නම් එහි ඇති පුදුමයක් නැත. මේ කතාව පළමුවරට ඇසුණු මොහොතේ මටත් එසේ සිතුණු අතර ‘වෙජිටේරියන් බිත්තරත්’ වෙළඳපොළට නිකුත් කර ඇද්ද යන කුකුසද සිතට නැගුණි. පසුව සොයා බැලීමේදී ෆාම්වල සාදන කිකිළියන්ගෙන් ලබාගන්නා බිත්තර මෙසේ වෙජිටේරියන් ගණයේ ලා සලකා නිර්මාංශ වූවන් විසින් ආහාරයට ගන්නා බව දැනගැනීමට ලැබුණි. මෙම වෙජිටේරියන් බිත්තර එසේත් නැතිනම් ෆාම් බිත්තර වරෙක ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා හඳුන්වා තිබුණේ ‘උපාසක බිත්තර’ ලෙසිනි.

කුකුළන් හා මුහුන් නොකර කිකිළියන්ගෙන් ලබා ගන්නා ෆාම් බිත්තර ‘ජීවයෙන් තොර’ යැයි තර්කයෙහි පිහිටා ෆාම් බිත්තර ආහාරයට ගැනීමට නිර්මාංශ වූවන් හුරු වී ඇතිවා විය හැක. ඒ කෙසේ වෙතත් ගමේ ඇවිදින කිකිළිය හා ෆාම් එකේ ඇති කරන කිකිළිය දමන බිත්තරවල වෙනස කුමක්ද යන්න සොයා බැලීම මඳක් පසෙකට දමමු. කිකිළි බිත්තරය වෙනුවට නිපදවුණු කෘත්‍රිම pure vegetarian බිත්තරයක් ගැන පුවතක් සමග සාමාන්‍යයෙන් අප ආහාරයට ගන්නා කිකිළි බිත්තර ගැන තොරතුරු මෙතැන් සිට විමසා බලමු.

 

Pure Vegetarian කෘත්‍රිම බිත්තර

මේ බිත්තරය ගැන පුවත වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. සම්පූර්ණයෙන්ම නිර්මාංශ වූවන්ගේ ප්‍රෝටීන අඩුව පිරිමැහීම සඳහා සත්ව කොටස්වලින් තොර බිත්තරයක් නිපදවීමට ලොව ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදනාගාර මීට අවුරුදු ගණනාවකට පෙර සිට පර්යේෂණ මෙහෙයවනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 2014 වසරේදී මේ ශුද්ධ නිර්මාංශමය බිත්තරය නිපදවා ගැනීමට ඇමරිකාවේ Hampton Creek Foods නමැති සුප්‍රසිද්ධ ආහාර නිපදවීම් ආයතනය සමත් වී තිබුණි. එම නිර්මාංශ බිත්තරය එසේත් නැතිනම් කෘත්‍රිම බිත්තරය එළිදැක්වීමත් සමග ඇතැම් පුවත්පත්වල එම පුවත වාර්තා කොට තිබුණේ ‘The egg industry should be scared’ යනුවෙනි. ඒ ආකාරයට බිත්තර වෙළඳපොළට අභියෝගයක් විය හැකි මේ බිත්තරය නිපදවීම සඳහා එම ආයතනය හා එක්ව ඩොලර් මිලියන 23 ක් ආයෝජන කර තිබුණේ ආසියාවේ දෙවන ලොකුම ධනවතා ලෙස සැලකෙන හොංකොංහි Li Ka-shing ය. ඔහුට අමතරව ලොව සුප්‍රකට සල්ලි කාරයන් රැසක්ම නිර්මාංශ බිත්තරයක් බිහිකිරීමේ පර්යේෂණ සිදුකරන කාලයේදී මෙම සමාගමට මූල්‍ය දායකත්වය සපයා තිබුණි. ඔවුන් අතර Yahoo හි සම අයිතිකරු Jerry Yang මයික්‍රොසොෆ්ට් හිමිකරු බිල් ගේට්ස්, Pay Pal මුදල් හුවමාරුවේ හිමිකරු පීටර් නීල්, ෆේස්බුක් සම අයිතිකරු Eduardo Saverin වැනි සුපිරි ධනවතුන්ගේ නම් සඳහන් විය.
මේ ශුද්ධ කෘත්‍රිම බිත්තරය පිළිබඳ සඳහන් තොරතුරුවල දැක්වෙන ආකාරයට එය නිපදවීමේදී කිසිදු ආකාරයක සත්ව කොටසක් යොදාගෙන නොමැත. එහෙත් එහි පෝෂණ ගුණය සාමාන්‍ය බිත්තරයකටත් වඩා වැඩි බව පෝෂණවේදීන් සිය පර්යේෂණවලින් තහවුරු කර ඇත. ඉතා උසස් තත්ත්වයක කහමදයක් සහිත මෙහි බිත්තර කටුවෙහිද අධික කැල්සියම් ප්‍රමාණයක් අඩංගු කොට නිපදවා ඇති බැවින් එයද කුඩුකර ආහාරවලට එක්කර ගැනීමේ හැකියාව පවතින බව ඔවුහු පෙන්වා දෙති. මෙහි හැඩයද සාමාන්‍ය කිකිළි බිත්තරයක හැඩයට සමාන වේ.

කුකුළු ගොවිපොළවලට මේ කෘත්‍රිම බිත්තරය නිසා යම් පාඩුවක් සිදු වූවත් එළවළු ඇතුළු භෝග ගොවිපොළවලට මෙය සතුටුදායක ආරංචියක් විය හැකි බව කෘත්‍රිම බිත්තරය නිපදවීමට දායක වූවන්ගේ අදහසයි. ඔවුන් එසේ පවසන්නේ මෙම කෘත්‍රිම බිත්තරය නිෂ්පාදනය සඳහා එළවළු පමණක් යොදාගන්නා හෙයිනි. Rapeseed නමැති ඇට වර්ගයත්, කහ පරිප්පු හෝ යෙලෝපීස්, සූරියකාන්ත ඇටවලින් ලබාගන්නා lecithin නමැති සංයෝගය කෘත්‍රිම බිත්තරය සඳහා මූලිකව යොදාගන්නා අමුද්‍රව්‍ය ලෙස සඳහන් වේ.egg 2

කෙසේ වුවත් කෘත්‍රිම බිත්තරය නිසා කිකිළි බිත්තර වෙළඳපොළට සිදුවූ හානියක් ගැන පළ වූ වාර්තාවක් සොයාගැනීමට නොහැකි වූ අතර මෙය නිර්මාංශ භක්ෂක පිරිස වෙනුවෙන්ම නිපදවූවක් නිසා සාමාන්‍ය කිකිළි බිත්තරය වෙළඳපොළෙන් ගිලිහී යතැයි සිතීමද අවශ්‍ය නැත.

 

බිත්තර කතා

ඒ කෘත්‍රිම බිත්තර පුවතින් පසු අපි සෑබෑ කිකිළිඑ බිත්තර කතා දෙසට යොමු වෙමු.

බිත්තර ගැන මේ රසවත් පුවත ප්‍රංශ විප්ලවය සිදු වූ 18 වන සියවස දක්වා අතීතයට දිව යන්නකි. කවදත් ප්‍රංශ වැසියන්ගේ ආහාර වේල තුළ බිත්තරවලට සුවිශේෂී තැනක් හිමිවන අතර ප්‍රංශ විප්ලවය සිදුවන කාලයේදී බිත්තර යොදාගනිමින් සාදාගත හැකි කෑම වට්ටෝරු 685 ක් පිළිබඳව ඔවුහු දැන සිට ඇති බව කියති. (වර්තමාන ප්‍රංශ ජාතිකයන් ඒ වට්ටෝරු පිළිබඳව දන්නවාද නැද්ද යන්න පිළිබඳ හරි තොරතුරක් දැනගැනීමට නොහැකි වුණි.)

බිත්තර ආහාරයට ගැනීමේදී ඇමරිකානුවන් ප්‍රංශ වැසියන්ට කිසිසේත් දෙවෙනි නොවන අතර දළ වශයෙන් ඇමරිකානුවකු වසරකට බිත්තර 250 ක් පමණ ආහාරයට එක් කර ගන්නා බව පැවසෙයි. මෙය සාමාන්‍යයෙන් එරට එක් අයකු බිත්තර කන අවම අගය වන අතර මෙහි උපරිමය කෙතෙක්දැයි පැහැදිලි ගණනයක් ගෙන නොමැත. දිනපතා බිත්තර 3 ක් හෝ 4 ක් ආහාරයට එක් කරගන්නා ඇමරිකානුවන්ද ඇමරිකාවේ බහුලව සිටින අතර එවැනි පුද්ගලයකු වසරකට බිත්තර දහසකට වැඩියෙන් ගිල දමනු ලබති. මේ සියලු දත්ත සලකා බලා සකසා ඇති වාර්තාවල සඳහන් වන ආකාරයට ඇමරිකාවේ වාර්ෂික බිත්තර පරිභෝජනය බිලියන 76.5 ක් බව කියති.

දුගී දුප්පත්ම රටෙහි දිළින්ඳාගේ සිට ධනවත් රටවල සුඛවිහරණයෙන් අනූන පුද්ගලයා තෙක් පොදුවේ ආහාරයට ගන්නා ආහාරයක් ලෙස බිත්තර දැක්විය හැකි අතර ලොව පුරා වාර්ෂික බිත්තර පරිභෝජනය ට්‍රිලියන 1.2 ක් ලෙස සඳහන් වේ. බිත්තර පරිභෝජනයේදී ඇමරිකාව හා ප්‍රංශය ඇතුළු සියලු බටහිර රටවල් අබිබවා යෑමට චීනය සමත් වී ඇති බව ඒ පිළිබඳව ඇති වාර්තා පෙන්වා දේ. ඒ අනුව ලෝකඑ බිත්තර පරිභෝජනයෙන් සියයට 40 ක්ම කා දමන්නේ චීනුන් විසිනි. ඇමරිකානුවන් කා දමන්නේ සියයට 10 ක ප්‍රමාණයකි.

මේ කතාව බිත්තරවලින් පිහිට වූ ගිනස් ලෝක වාර්තාවක් ගැනයි. ඇමරිකානු ජාති හොවාර්ඩ් හෙල්මර් විසින් විනාඩි 30 ක් ඇතුළත බිත්තර ඔම්ලට් 427 ක් සෑදීමෙන් මේ වාර්තාව පිහිටුවා ඇත.

එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) මගින් ශ්‍රේණිගත කරන ලද බිත්තර එක්සත් රාජධානියේ සහ යුරෝපා සංගමයේ කිසිම රටක අලෙවි නොකරයි. ඒ එම රටවග් ඇමරිකන් බිත්තර  තහනම් කර ඇති හෙයිනි. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ ඇමරිකාවේ අලෙවි කරන බිත්තර පාරිභෝගිකයාට නිකුත් කිරීමට පෙර සෝදා පිරිසිදු කිරීමයි. මෙය තරමක් හාස්‍යජනක ලෙස පෙනුණද යුරෝපීයන් පවසන්නේ ඇමරිකාවේ බිත්තර සේදීම නිසා ඇතිවන තෙතමනයත් සමග බිත්තර කටුවෙහි විවිධ බැක්ටීරියා වර්ධනය විය හැකි බවයි. ඇමරිකාවද බ්‍රිතාන්‍යයට මීට සමාන්තර නීතියක්දමා ඇති අතර බ්‍රිතාන්‍යයේ බිත්තර ඇමරිකාවේ අලෙවි නොකිරීමට ඔවුන් පියවර ගෙන ඇත. බ්‍රිතානුවන් බිත්තර නොසෝදා වෙළඳ පොළට නිකුත් කිරීමෙන් විවිධ බැක්ටීරියාවන් ඒ මත වර්ධනය විය හැකි බව මීට හේතුව ලෙස ඇමරිකාව දක්වා සිටී.

 

බිත්තර පෝෂණය

බිත්තර ගැන ආ ගිය කතා එසේ සටහන් වෙද්දී බිත්තර ගැන අප දැන සිටිය යුතුම තොරතුරු බිඳක් මෙතැන් සිට ගෙන එමු. ලෙහෙසියෙනුත් පහසුවෙනුත් මිල දී ගත හැකිවාක් මෙන්ම සකසා ගත හැකි වීමත් නිසා බිත්තර අප කාටත් නැතිවම බැරි ආහාරයක් වී ඇත.

බිත්තර පිළිබඳව ඇති දුර්මත නිසා ඇතැම් අය බිත්තර ආහාර වේලට එකතු කර ගැනීමට මැළිකමක් දක්වති. එහෙත් ශරීරයට අත්‍යවශ්‍ය එසේ වුවත් සිරුර තුළ නිපදවා ගත නොහැකි පෝෂක කොටස් රැසක් බිත්තරවලින් අපට ලබාගැනීමේ හැකියාව පවතී. අපේ සිරුරට අවශ්‍ය ප්‍රෝටීන සපයාගත හැකි අංක එකේ ආහාරයක් ලෙස බිත්තර දැක්විය හැකි අතර ප්‍රෝටීන්හි ඇති ඇමයිනෝ අම්ල සංඝටකය බිත්තරවල යහමින් අඩංගුව ඇත. සිරුරෙහි මාංශ පේෂි වර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි ඇමයිනෝ අම්ලය.

බිත්තරයක අඩංගු ප්‍රෝටීනවලින් වැඩි ප්‍රමාණයක් එහි සුදුමදයේ අන්තර්ගතව පවතී. බීටා කැරොටින් නමැති egg 3සංඝටකය නිසා කහමදයෙහි ඇති කහ පාට වර්ණය ලැබී ඇත. කහමදය තුළ විටමින් කොටස් රැසක් (A, B12, D, E, B 2, B 5 )  යකඩ, මේදය, කැල්සියම්, පොස්පරස්, ඛනිජලවණ ආදි පෝෂණ පදාර්ථ යහමින් අඩංගුව පවතී. විටමින් A සම පැහැපත් කරන අතර, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වේ. විටමින් B12 මගින් රතු රුධිර සෛල වර්ධනය කෙරෙන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හා ස්නායු පද්ධතියේ යහපත් ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යෑමට උපකාරී වේ. විටමින් D මගින් කැල්සියම් අවශෝෂණය කර ගැනීම සිදුකෙරෙන අතර අස්ථී හා දත් සෞඛ්‍යමත් කරයි. විටමින් E මගින් ප්‍රජනක පද්ධතිය, ස්නායු පද්ධතිය හා පේශි ශක්තිමත් කරයි. මේ අන්දමට සෙසු පෝෂණ පදාර්ථත් අපගේ ශරීර සෞඛ්‍ය මනාව පවත්වාගෙන යෑමට ඛෙහෙවින් උපකාරී වේ. විශේෂයෙන්ම බිත්තරවල අඩංගු කෝලීන් නමැති සංඝටකය මොළයේ ක්‍රියාකාරිත්වය නිසි පරිදි ලබා දී මතක ශක්තිය වැඩිදියුණු කරන බව සොයාගෙන ඇත.

බිත්තර, ගම් සහ ෆාම් ලෙස වර්ග කර ඇතත් මේ දෙකෙහිම ගුණාත්මක අතින් වෙනසක් නොමැත. ගම් බිත්තරයෙහි කහ මදයේ කැරොටින් බහුලව අඩංගු වන නිසා එහි කහ පැහැය පමණක් තරමක් තද වර්ණයෙන් දිස් වේ.

 

බිත්තර කෑම

බිත්තර කුමන ආකාරයකට පිළියෙල කර ආහාරයට එක් කර ගත්තද එහි පෝෂණයෙහි අඩු වැඩි වීමක් දක්නට නොලැබේ. නමුත් අමුවෙන් බිත්තර ආහාරයට ගන්නේ නම් ඒ ගැන වැඩි අවධානයක් යොමු කිරීම සුදුසු වේ. ඊට හේතුව ‘සැල්මොනෙල්ලා’ විෂ බීජය එහි ක්‍රියාකාරී වී තිබිය හැකි නිසයි. සැල්මොනෙල්ලා විෂ බීජය කුකුළන්ගේ අසූචි සමග මිශ්‍රව පවතින අතර ඇතැම් විට මෙය බිත්තර කටුව වටේ තැන්පත් වී තිබිය හැකියි. බිත්තර අමුවෙන් කෑමට ගැනීමේදී මොනයම් ආකාරයකින් හෝ මෙය ඔබගේ ශරීර ගත වුවහොත් පාචනය වැනි රෝගී තත්ත්ව දක්වා එය වර්ධනය විය හැකියි. සැල්මොනෙල්ලා විෂබීජය සෝදා පිරිසිදු කිරීමෙන් විනාශ කළ නොහැකි අතර එය විනාශ වන්නේ අධික රශ්නය ඇති වතුර තුළදී පමණක් බවද මතක තබාගත යුත්තකි.

eggggබර වැඩෙහි යෙදෙන, ව්‍යායාමවල යෙදෙන පුද්ගලයකු දිනකට බිත්තර 2 ක් පමණ ආහාරයට එක් කර ගැනීම සුදුසු වුවත් කය වෙහෙසා වැඩපළ නොකරන අය දිනකට එක් බිත්තරයක් හෝ සතියකට බිත්තර 4 ක් පමණ ආහාරයට ගැනීම සුදුසු වේ. ක්‍රියාශීලීත්වයෙන් යුතු නිරෝගී දරුවකුට දිනපතා බිත්තරයක් දීම සුදුසු බව වෛද්‍ය නිගමනය වන අතර යම් රෝගී තත්ත්වයකින් හෝ ක්‍රියාශීලීත්වයෙන් අඩු දරුවකුට සතියකට බිත්තර 3 ක් පමණ ලබා දීම සෑහේ. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන දරුවන්ට බිත්තර අත්‍යවශ්‍ය පෝෂණයක් ලබාදෙන්නක් බව සිහි තබාගත යුතුයි. වයස්ගත අයට දිරවීමේ අපහසුතා එතැයි යන බිය නිසා බිත්තර ලබාදීම සිදු නොකරන අවස්ථා අප දැක ඇත. එහෙත් එවැනි බියක් ඇති කරගත යුතු නැති අතර වයසට යෑමත් සමගම ප්‍රෝටීන අවශ්‍යතාව දැඩි වන අතර මාංශ පේශිවල හීන වී යන ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා බිත්තර ආහාරයට එක් කර ගැනීම ඉතාමත් සුදුසු වේ.

“මට කොලෙස්ටරෝල්නෙ. බිත්තර හොඳ නෑ” මෙවැනි කතා අප කොතෙකුත් අසා ඇත. මෙය ඇත්තක්ද?

බිත්තරවල කොලෙස්ටරෝල් නැතැයි පැවසිය නොහැක. සෑම බිත්තරයකම කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 180-200 ත් අතර ප්‍රමාණයක් අන්තර්ගත වී ඇත. එහෙත් රතු මස්, බටර්, චීස් වැනි සෙසු ආහාර මෙන් කොලෙස්ටරෝල් වැඩි වීමක් බිත්තර ආහාරයට ගැනීමෙන් සිදු නොවන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.

එහෙත් මෙම තත්ත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. ඇතැම් අයගේ සිරුරේ අභ්‍යන්තර තරලවල පවතින කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමට ආහාරවලින් පැමිණෙන කොලෙස්ටරෝල් බලපෑමක් සිදු කරන අතර ඇතැම් අයට එසේ සිදු නොවේ. විශේෂයෙන්ම කොලෙස්ටරෝල් ජීර්ණයට බලපෑම් එල්ල කළ හැකි ඇපෝලිෆෝ ප්‍රෝටීන සිරුරු තුළ පවතින පුද්ගලයන්ගේ ආහාරමය කොලෙස්ටරෝල් වැඩිවීමේ අවධානමක් පවතී. බොහෝ අය බිත්තර ආහාරයට ගැනීමට බිය වන්නේ  කොලෙස්ටරෝල් වැඩිවී හෘදයාබාධ ඇති වෙතැයි සිතන බැවිනි. මේ පිළිබඳව නැගෙනහිර ෆින්ලන්ත විශ්වවිද්‍යාලය මගින් කළ පර්යේෂණයක දැක්වෙන්නේ එසේ දිනපතා බිත්තරයක් ආහාරයට ගැනීමත් හෘදයාබාධත් අතර සම්බන්ධයක් නොමැති බවයි.

චමරි අබේසිංහ

Share this Post