May 1, 2017

චින්තන ජයසේන ගැන – 1

ශක්‍ර දේවේන්ද්‍රයාගේ රාත්‍රී භෝජන සංග්‍රහය

හැත්තෑව දශකය මගේ ජීවිතයේ සුන්දර ම කාල වකවානුව කියල අද දැනෙන්නෙ ඒ කාලෙ කරපු කියපු දේවල්, අඳුනගත්ත යාළුවො, යෙහෙළියො, සහෘදයො, සහෘදියො ආශ්‍රය කරන්න, එකට වැඩ කරන්න ලැබුණු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ගැන කල්පනා වෙනකොට. 70 දශකය සුන්දරම කියල අපේ සමකාලීන යාළු මිත්‍රයො හුඟ දෙනෙකුට ම හිතෙන බව මට නම් විශ්වාසයි.

මම 70 දශකයෙ දී කවි ලියන්න කෙටි කතා, ගීත ලියන්න පටන් ගන්නවා. නාට්‍යවල මේක් අප් කරනවා. ගුවන් විදුලියෙ වැඩසටහන්වලට එකතු වෙනවා, යෞවන
සමාජෙ මෙහෙයනවා, චිත්‍රපට බලනවා, ඒව ගැන ලියනවා, එතකොට විවාහ වෙන්නෙත් තාත්ත කෙනෙක් වෙන්නෙත් මේ දශකයෙදිම යි.

මේ දශකයෙ මුණ ගැහිලා අද වෙනකල් දශක පහකට කිට්ටු කාලයක් යාළු මිත්‍රකම් තියෙන කීපදෙනා අතරෙ මට මුණගැහුණු සුන්දර ම චරිතයක් තමයි චින්තන ජයසේන කියන්
නෙ. චින්තන ජයසේන ගැන කවුද දන්නෙ, චින්තන මොනවද කළේ කියල අහනවට වැඩිය හොඳයි චින්තන ගැන නොදන්නෙ කවුද, චින්තන මොනව ද නොකළෙ කියල අහන එක කියලයි මට කල්පනා වෙන්නෙ.

චින්තන ගැන 73 දී සයිමන් නවගත්තේගම, චින්තනගෙ 4 වාට්ටුව පොතේ බ්ලර්බ් එකට (blurb) මෙහෙම ලියුවා. “කලා ක්‍ෂේත්‍රයේ සෑම අංශයක් කෙරෙහිම පැතිරී ගිය සහජ කුසලතා ඇති චින්තන ජනප්‍රිය ගීත රචකයෙකු, නවකතාකරුවෙකු, කෙටි කතා කරුවෙකු, ගුවන් විදුලි නාට්‍ය රචකයෙකු හා ප්‍රබුද්ධ විචාරකයෙකු, ඉතා හොඳ වින්දන ශක්තියක් හා ප්‍රකාශන ශක්තියක් ඇති සුළු අත්දැකීමක් තුළින් අපූරු නිර්මාණයක් බිහි කිරීමේ හැකියාවක් ඇත්තෙකි.”

චින්තනගෙ ඕනම කතාවක අපූරු උපහාසයක් තිබුණ. මුලින් සත දහයට අලෙවි කරපු කොලමෙ වගේම පස්සේ චින්තන සංස්කරණය කරපු අද පත්තරේටත් චින්තන දාපු ශීර්ෂ පාඨ, ලියපු විශේෂාංග ඒ දවස්වල අතිශයින් ජනප්‍රිය වුණු පුවත් පත් කතා. ධර්මසේන පතිරාජ ගෙ පොන්මනී කියන දෙමළ භාෂිත චිත්‍රපටය පික්චර් හෝල්වලින් ගැලවෙන කොට චින්තන ලිව්වෙ පොන්මනී නෝමනී කියලා. ඒ කාලෙ පතීගෙ, චිත්‍රපට කීපයකම ප්‍රධාන චරිත රඟපාපු මාලිනී (එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්) ගැන චින්තන අද පත්තරේ අපූරු හෙඩිමක් දැම්මා.ඉතින් චින්තන කවුද කියල මම අලුතින් ලියන්නෙ මොකට ද? මාධ්‍යයේ සියලුම කලා ක්ෂේත්‍රවල, දේශපාලන ක්ෂේත්‍රයේ, පුවත්පත් කලාවේ, ඒ සැමටම උඩින් මිත්‍ර සමාගමයේ, අමරණීය නමක් චින්තන ජයසේන කියන්නෙ. වික්ටර් රත්නායකගෙ ‘ස’ ප්‍රසංගයට වික්ටර් සමු දුන්නත් ‘ස’ යන නිර්මාණාත්මක ප්‍රසංග නාමය අපට අමතක වෙන්නෙ නෑ. ඒ එක්කම ඒ නම නිර්මාණයෙහි අයිතිකාරයා චින්තනත් අමතක වෙන්නෙ නෑ.
“මාලිනී ගණිකාවක් (චින්තන පාවිච්චි කළේ වෙනත් වචනයක්) වෙනවා වෙනවා ම යි.” මාලිනිගෙ රසික රසිකාවියො අන්දුන් කුන්දුන්වුණා මේක දැකලා. ඒත් පස්සේ තේරුම් ගත්තෙ මාලිනී පතීගෙ ඊළඟ චිත්‍රපටයේ, සොල්දාදු උන්නැහේ චිත්‍රපටයේ කොළඹ කොටුවෙ ප්‍රදීපාගාරෙ යට, ජීවත්වෙන්න තමන්ගෙ ඇඟ විකුණන ගෑනියෙකුගෙ ප්‍රධාන චරිතෙ රඟපාන බව.

මාලිනී ඒ චරිතෙ රඟපෑවෙ, ජෝ අබේවික්‍රම, හෙන්රි ජයසේන වගේ අපේ විශිෂ්ට නළුවන් එක්ක. ‘චින්තනගෙ පත්තර කලාව, සිත්තර පත්තරෙන් පටන් ගත්ත චිත්‍රකතා, චින්තනගෙ කවි, සින්දු, කෙටිකතා, මෙකී නොකී දක්ෂකම් ගැන දැන ගන්න ඕන නම්, මල් සතක් සේ හිරු නැඟෙන්නා (කවි – 1967), 4 වාට්ටුව (කවි – කෙටිකතා 1973) කියවන්න ඕන. චින්තනගෙ උපහාසාත්මක කතා නම් තියෙන්නෙ 2005 පළවෙච්ච චින්තන කතා කියන එකතුවෙ.

අද මගේ සොඳුරු මතකයට චින්තන එකතු වුණේ හදිසියේම ඉරිදා දෙක තුනකට ඉස්සර හවසක අපි කණ්ඩායමක් චින්තන මුණ ගැහෙන්නෙ, දැනට චින්තන පදිංචිවෙලා ඉන්න දෙල්ගොඩ කිට්ටුව, සියඹලාපෙ ගෙදරට ගිහින් ගත කළ සුන්දර රාත්‍රියක් ගැන ලියන්න ඕන කියල හිතුණු නිසා. අපි කණ්ඩායමට අයිති වුණේ මම, ධර්මසේන පතිරාජ, ගාමිණී පිටඅරයාව, පද්මා වියන්ගොඩ, වෝල්ටර් අබේසුන්දර එක්ක උපුල් ශාන්ත සන්නස්ගල.

පතී යි මමයි විතරයි චින්තනගෙ දීර්ඝ කාලීන යාළුවො. ගාමිණීට, වෝල්ටර් ට චින්තන හමුවෙලාම නෑ. උපුල්ට එක වතාවක් මුණ ගැහිල තිබුණට ආස්සරයක් නෑ. වෝල්ටර් ගැනත් වචනයක් ලියන්නම ඕන. 70 හම්බ වෙච්ච යාළුවො වගේ සුන්දරම චරිතයක්, කලාවට, ගීතයට ආදරේ කරන රසයක් තියෙන කැලණියෙ කැම්පස් හිටපු හිතවතෙක්. ලක්‍ෂමන් විජේසේකර අධ්‍යක්‍ෂණය කළ විලම්භීත ටෙලි නාට්‍ය මාලාව නිෂ්පාදනය කළෙත් වෝල්ටර්.

වෝල්ටර්ට වගේ ම ගාමිණීටත් චින්තන කවුද කියලා දැක බලාගෙන කතා කරන්න ඕනකම තිබුණු නිසා තමයි අපි ඉරිදා හැන්දෑව චින්තන එක්ක ගත කරන්න හිතුවෙ. චින්තන හම්බවෙන්න යන කොට අවශ්‍ය කෑම බීම වගේ ම, ලේබල් සහිත බීමවලිනුත් සන්නද්ධවෙලා අපි දෙල්ගොඩ ගියේ. දැන් බීමවලට එක එක පාට ලේබල් නම් තියෙනව නේ. රතු, කළු, දෙවරක් කළු, කොළ, නිල්, රන්, ආදී වශයෙන්. අපි ළඟ තිබුණෙ කළු පාට. චින්තන අපි එන වග කලින් දැනගෙන හිටපු නිසා, චින්තනගෙ බිරිඳ චාන්දනීයි චින්තනයි, අපි රෑ වෙනකොට නොඒවිද කියල සැකයෙන් ඉඳල තියෙන්නෙ.

වයසට ගියා වගේ පෙනුනට චින්තන ගෙ පරණ කතා බහ හැත්තෑවෙ අසූවෙ, කතා බහේ විහිළු තහළුවල වගේම කිසිම වයසට ගිය පාටක් අපට පෙනුණේ නෑ. එදා වගේම මොකක් හරි කිව්වොත් ඒක යට හාස්‍යයක් වගේම උපහාසයෙකුත් එක්ක කියමනක්. ආගිය කතා ඉවර වෙනකොට චින්තනගෙ අලුත් ම කතාවක්. ඒක අහල අපිට කන බොන එකත් අමතක වුණා. චින්තන, සුපුරුදු ‘සංකූක’ භාෂාවෙන් කියපු කතාව මේකයි.

‘මචං මම ඊයෙ පෙරේදා මාර හීනයක් දැක්කා. මොකක් ද දන්නවද? ඔන්න දිව්‍ය ලෝකෙ ශක්‍ර දෙවියන්ට හිතිලා කට්ටියට ඉන්වයිට් කරල ඩිනර් එකක් දෙන්න. අපි විස්මයෙන් බලාගෙන ඉන්නෙ මොකක්ද මේ පාර චින්තනගෙ ජෝක් එක කියලා. “ඉතිං ඊට පස්සෙ” ඒක නෙමේ මෑන්ට තියෙන ප්‍රශ්නෙ. ඩිනර් එකට ඉන්වයිට් කරල එන අයට කොහේද කාර් පාක් එකක් හදන්නෙ කියල. ශක්‍රයට වුණත් උත්තරයක් නෑලු ප්‍රශ්නෙට. අපි ඇහුවෙ මොකක්ද ප්‍රශ්නෙ කියලා. “ශක්‍රයට තිබුණු ප්‍රශ්නෙ තමයි මචං තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ට ඉන්වයිට් කළාම ඒ ගොල්ලන්ට කාර් පාක් එකක් හදන්නෙ කොහේද කියන එක…”

බලාගෙන ගියාම චින්තනගෙ ඔළුවට ආපු ප්‍රශ්නෙත් මාර ප්‍රශ්නයක්ම තමයි. තිස් තුන් කෝටියක් ඉන්වයිටීස්ලා. නරක නෑ.

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*