August 23, 2017

චින්තන ජයසේන ගැන – 2

ආතක් පාතක් නැති උදවියගේ හමුවීමක්

චින්තන ජයසේන ගැන බුද්ධි අයියා (බුද්ධදාස ගලප්පත්ති) ‘දිනමිණ’ ‘බද්දර මල්ල’ තීරු ලිපි සංග්‍රහයට ලියු තීරු ලිපිය නිසා චින්තන ගැන නැවතත් කතාබහ කරන්න පටන් අරන්. එය වඩාත් ප්‍රත්‍යක්ෂ වුණේ ‘රාවය’ පත්තරේත් චින්තන සමඟ සම්මුඛ සාකච්ඡාත්මක ලිපියක් පළව තිබෙනු දැකීමෙන්.

චින්තන මට මුලින්ම හඳුනා ගන්ට ලැබුණේ මා මිත්‍ර ගුණසිරි සිල්වාගේ මාර්ගයෙන් යැයි මගේ මතකය කියනවා. චින්තන ආතක් – පාතක් නැතුව හිටපු කාලයක සංස්කරණය කරපු ‘හෙට’ පත්තරේට එවක ආතක් – පාතක් නැතුව හිටපු ගුණේත් මමත් ලිව්වා. එක ලිපියකට රුපියල් සීයක් ලැබුණු වග මතකයි.

ඒ කාලේ චින්තන හිටියේ තිඹිරිගස්යාය පැත්තේ ගෙදරක. අපේ බොහෝ හැන්දැවරු ගත වෙන්නේ ඔහුගේ ගෙදර. සිරිලාල් කොඩිකාර මහත්තයත් එහිදි අපිත් එක්ක එකතු වෙනවා. (ඔහුත් ‘හෙට’ පත්තරේට කිසියම් විශේෂාංගයක් ලිව්වා)

චින්තන ‘හෙට’ පත්තරේ (හෝ වෙනත් පත්තරේක) පළ කරපු ඡායාරූප කැප්ෂනයක් මට ජීවිතේට අමතක වෙන්නෙ නැහැ. ඒ පින්තූරේ ඉන්නේ බණ්ඩාරනායක මැතිනියයි; ඇගේ දරුවෝ තුන්දෙනයි. ඒකට චින්තන යොදපු කැප්ෂන් එක තමයි ‘මං නැතිදා මේ රට ඔබටයි. ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි’ යන්න.

ඒක අබේවර්ධන බාලසූරිය ගයන ගීතයක මුල් පද පේළිය. මේ පදවලින් ධ්වනිත වන දේ තුළින් මොන තරම් උත්ප්‍රාසයක් මතු වෙනව ද කියලා හිතා ගැනීම ඔබටම භාරයි.

චින්තන පුවත්පත් කලාවේදියකු විදියට මතු වුණේ ඔහු සංස්කරණය කරපු ‘කොලම’ තීරු ලිපි පත්තරෙන්. එය මුල් වරට පළ වුණේ 1973 දී. එය වීදි නාට්‍ය, කවි කොළ වගේම විකල්ප ප්‍රකාශන සංග්‍රහයක් වුණා.

චින්තන සිනමා විචාරකයෙක් විදියට ජනපි‍්‍රය වුණෙත් ‘කොලමෙන්.’ සිනමා විචාරකයකු විදියට ඔහු පිළිබඳ ඉහළම තක්සේරුවක් මගේ නොතිබුණාට ඔහුගේ භාෂාව, නිර්දයභාවය හා උත්ප්‍රාසය මගේ නිසි ඇගැයීමට ලක් වෙනවා. චින්තන සිනමා විචාර ලිව්වේ ජයවිලාල් විලේගොඩගෙන් කිසියම් ආභාසයක් ලබාගෙන යැයි සිතිය හැකි වුණත් ජයවිලාල්, චින්තන තරම්ම අව්‍යක්ත භාෂාවක් පාවිච්චි කළේ නැති බව කියන්න ඕනෑ.

චින්තන ගේ සිනමා විචාර කියවා නැති අයගේ දැන ගැනීම සඳහා ඔහු චිත්‍රපට දෙකකට ලියු විචාරවලින් කොටස් කීපයක් මා මෙහිලා දක්වනවා.

(1) “ලෙස්ටර්ගේ සිනමා ජීවිතයේ පරිහානිය දැන් පටන් ගෙන තිබේ. ‘දෑස නිසා’ චිත්‍රපටයෙන් කියැවෙන්නේ එක පැත්තකින් ‘නාග චම්පා’ වැනි කසිකබල් මළ දස ජරාවකින් කියැවෙන පුවතක සමාන දෙයකි. විරූපි මිනිහෙක්, අන්ධ ගැහැනියක්, ගල් ගුහාවක්, වතුර වළක්, කුරුඳුවත්තේ බතික් අමුඩ ටිකක් සහ පූසාරියකු පෙළගැස්වුවාට හොඳ චිත්‍රපටයක් බිහි වන්නේ නැත. ලෙස්ටර් නොව ඇරිස්ටෝටල් කළත් මෙවැන්නකින් ඇති සේවයක් නැත.” (දෑස නිසා)

(2) “සිංහල සිනමාවේ කාලකණ්ණි දෘෂ්ටිය මැනවින් විදහාපාන චිත්‍රපටයක් ලෙස ‘කුණ්ඩලකේශි’ මුලින්ම හඳුන්වා දිය යුතුය. නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන් නරඹන්නන් ගැන තවමත් බබාහුකුං සයිස් එකෙන් සිතාගෙන සිටින බව ‘කුණ්ඩලකේශි’ දෙස බැලීමෙන් පෙනී යයි. බුද්ධාගමේ නම විකිණීමෙන් ඕනෑම ජරා වැඩක් මේ රට තුළ කළ හැකි බව ඇත්තකි. සියල්ල දත් බුදුරජාණන් වහන්සේ ‘කුණ්ඩලකේශී’ වැනි චිත්‍රපටයක් නිපදවන බව දන්නවා නම් බුද්ධාගම අත්හැර වෙනත් ආගමකට යන බව සිකුරුය.” (කුණ්ඩලකේශී)

චින්තන ලියු කතා ‘චින්තන කතා’ නමින් පොතකට එක්ව තිබෙනවා. ඒ වගේම චින්තනගේ මේ සිනමා විචාරත් පොතක් ලෙස පළ කිරීම වටිනවා. (මෙරිල් පෙරේරා ලියු විචාරත් එසේම පළ කරනු වටිනවා)

චින්තන ගෙන් මෙරට මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයට වූ දායකත්වය ඇගැයීම ද වැදගත්. මා දන්නා තරමින් ඔහු සම්බන්ධයෙන් එබඳු ඇගැයීමක් කර තිබෙන්නේ අජිත් සමරනායක, ගුණසිරි සිල්වා හා කිත්සිරි නිමල් ශාන්ත යන තිදෙනා පමණයි.

චින්තන ගැන විවිධ කතා තියෙනවා. එයින් එක් කතාවකින් මේ තීරුව අවසන් කරන්න මා කැමැතියි.

දවසක් චින්තනත් ප්‍රවීණ නාට්‍ය ශිල්පී ආර්. ආර්. සමරකෝනුත් හිටපු තැනකට ආ චින්තන දන්නා හඳුනන ඉංජිනේරුවකුට සමරකෝන්ව හඳුන්වල දුන්නලු.

‘මෙයා තමයි කැලණි පාලම හැදුවේ. දන්නවනේ!’

ඉංජිනේරුවා උඩබිම බැලුවලු. මොකද, එයා තමයි නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු කරපු ඉංජිනේරුවන්ගෙන් කෙනෙක් වෙලා තියෙන්නේ.

සුනිල් මිහිඳුකුල – සිකුරාදා හැන්දෑව

2013/01/13  සිළුමිණ පුවත්පත

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*