May 28, 2017

මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා

ගංගා
එන්නකෝ … ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා

දිරූ ඉපල් අතු දඬු ඔසවාගෙන
නියඟින් දා ගිය සිරුර වාරුකර
හඬා වැටෙද්දී මා
අහක බලාගෙන යන්න ගියා ඔබ
නෑ නේද ඉතින් යළි
අහක බලන් යන්නේ…

පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දියපොද රහිත ව අකලට මහලු ව
බලා සිටිද්දී මා
පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ
නෑ නේද ඉතිං යළි අහක බලන් යන්නේ

පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය – වික්ටර් රත්නායක
ගායනය – අබේවර්ධන බාලසූරිය

හැත්තෑව දශකය තරම් සිංහල ගීතය සෞන්දර්යයෙන් සහ සාහිත්‍යමය පෞර්ෂයෙන් පිරීගිය යුගයක් පසුගිය සියවසෙහි දක්නට නොහැකි ය. මනරම් ගේය පබැඳුම් මෙන්ම රමණීය තනු නිර්මාණ ද සුලලිත ගායනාවන් ද හැත්තෑව දශකය වර්ණවත් කළ බව නොරහසකි. ප්‍රේමකීර්ති ද අල්විස්, අජන්තා රණසිංහ, සුනිල් ආරියරත්න යන ගේය පද රචකයන් ගේ්ද වසන්ත සමය ලෙසින් මේ දශකය නම් කළ හැකි ය.

”ගංගා නම් වූ මේ අපූර්ව නිර්මාණයට මා සවන්දුන්නේ පාසල් ශිෂ්‍යයකු ව සිටි අවදියේ බව මට සිහිකළ හැකි ය. එකල මේ ගීතයේ ගැඹුර, වටහා ගැනීමේ හැකියාවක් මට නොතිබිණි. එහෙත් “ගංගා” නමින් සිදුවන ආමන්ත්‍රණයත්, අබේවර්ධනයන්ගේ සුමියුරු හඬත්, මා වශීකළ බව මට මතක ය. මට එකල දැනුණේ ගංගා නමැති තරුණියකට තරුණයකු කරන ආමන්ත්‍රණයක් ලෙස ය. හුදෙකලාව සිටියදී මේ පදමාලාව ආශාවෙන් මුමුණන්නට මම පුරුදු වී සිටියෙමි. ඒ පුරුද්ද අදත් මා තුළ පවතී.

සුනිල් ආරියරත්නයන් ගේ මුල්කාලීන නිර්මාණ ගණනාවක ම සංකේතාත්මක බවක් දක්නට හැකිවිය. වාච්‍යාර්ථය විනිවිද යන්නා වූ සියුම් ව්‍යංගාර්ථ මැවීමට උපරිම ප්‍රතිභාවත් එතුමන් සතු විය. “තොටුපල අයිනේ” නම් වූ ගේය පද රචනාව මේ සඳහා නිදසුනකි. එහි එන තොටුපලෙන් ජීවිතයේ සංධිස්ථානයක් මෙන්ම සංසාරයේ සංධිස්ථානයක් ද එතුමෝ සංකේතවත් කරති. ඒ අයුරින් ම කාව්‍යමය ගුණයෙන් පිරිපුන් පදමාලාවක් ලෙසින් “ගංගා” නම් වූ පදමාලාව පෙන්වා දිය හැකි ය. සැබැවින් ම මේ ගංගා කවුද?

”ගංගා” සැබැවින්ම තරුණියක බවත් ඇය එනතුරු තරුණයකු මඟබලා සිටින ලෙසින් කෙනෙකුට මේ අත්දැකීම විඳගත හැකි ය. ඔහු ඇය එනතුරු බොහෝ වේලා මඟ බලා සිටියි. එහෙත් ගංගා පැමිණිය ද ඇගේ අවධානය ඔහු වෙත යොමු නොවෙයි. ඇය ඔහු දෙස නොබලා ගමන් කරන්නී ය. බොහෝ බලාපොරොත්තු පුරවාගෙන බොහෝ දුක් වළඳමින් සිටි තරුණයා ඉච්ඡාභංගත්වයට පත්වෙයි. හෙට දිනයේවත් ගංගා තමා දෙස බලනු ඇතැයි සිතමින් ඔහු සිත හදා ගනියි.

මේ ආකාරයෙන් කෙනෙකුට මේ නිර්මාණයට සමීප විය හැකිය. ගීතය වචනයෙන් වචන විච්ඡේදනය නොකොට ඉහත සඳහන් ආකාරයේ සරල වින්දනයකට යොමුවීමට හැකිවීම මේ නිර්මාණයේ එක් විශේෂත්වයකි.

මේ සීමාවෙන් ඔබ්බට ගිය විට සංකේත හා රූපක වලින් පිරි සුන්දර කාව්‍යයක් ලෙසින් මේ නිර්මාණයට සමීප විය හැකි ය. ආදරය සෙනෙහස තුළින් තෙතමනය නොලද වියළී ගිය යොවුන් හදවතක්, ආදරය සෙනෙහස නැමැති ගංගාව තම හදවත දොවා ගෙන යාවි ය යන අපේක්ෂාවෙන් සිටින ආකාරය ද මෙයින් අත්විඳිය හැකි ය.

ගංගා එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා

යෞවනයකු සෙනෙහසක තෙතමනය බලාපොරොත්තුවෙන් සිටින ආකාරයක් මෙමඟින් හඳුනාගත හැකි ය. ඔහුගේ ජීවිතයට ආදරය සෙනෙහස නොලැබීම නිසා ඔහුගේ ආත්මයම වියළී ගිය තඩාගයක් බඳු ය. දිරූ ඉපල් අතු දඬු ඔසවාගෙන, නියඟින් දා ගිය තම ආත්මය අසීරුවෙන් ඔහු උසුලාගෙන සිටියි. එහෙත් තමා බලාපොරොත්තු වන, ආදරය සෙනෙහස නැමැති ගංගාව ඔහුට පෙනි පෙනීම වෙනතක ඇදීයයි.

ප්‍රේමය යදිමින් සිටින ඔහු දැන් පිපාසිතයකු හා සමාන ය. ආදරය නැමැති ගංගාවේ සිසිලස නොලබා වියළී ගොස්, පිපුරුණු දෙතොලින් අහස බලා සිටින්නේ අහසින්වත් දිය පොදක් වැටේවිය යන අපේක්ෂාවෙනි. එහෙත් ඒ කිසිවක් නොලබන ඔහු දකින්නේ තම වියළි හදවත තෙත් නොකොට තමා අසලින් ම ආදරයේ ගංගාව තමාට ඔච්චං කරමින් ඉවත බලාගෙන ගමන් කරන ආකාරයයි. යෞවනය, බොහෝවිට මෙබඳු ඛේදවාචකයන්ට මුහුණ දෙන බැවින් ද, යෞවන විය ඉක්මවා සිටින්නකුට ද, මෙවැනි ඉරණමකට මුහුණ දෙන්නට සිදුවිය හැකි බැවින් ද මේ ආකාරයෙන්, මේ නිර්මාණයට සමීප වීමේ හැකියාව ද පවතී.

මා අසා ඇති පරිදි මේ නිර්මාණය මීට වඩා වෙනස් අරමුණක් යටි මනසේ තබාගෙන බිහිවුණු නිර්මාණයකි. හැත්තෑව දශකය වූ කලී ශ්‍රී ලංකාවේ යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් ඇරැඹුණු අවධියකි. එනම් පොල්ගොල්ලේ විශාල වේල්ලක් බැඳ මහවැලි ගඟ රජරටට හැරවූ අවධියයි. එසේනම් එතෙක් සිඳී ගොස් සිටි රජරට ප්‍රදේශයේ වැවක් මහවැලි ගඟට කරන ආයාචනයක් ලෙස මේ නිර්මාණය රසවිඳිය නොහැකිද? එබඳු පරිකල්පනයක පිහිටා මේ නිර්මාණයේ රසය තව තවත් උද්දීපනය නොවේද? මේ ඇහෙන්නේ සියවස් ගණනාවක් වැසි දියෙන් පමණක් යැපෙමින් වරෙක පිටාර ගලමින් සිට, වසරේ වැඩිකලක් වියළී සිටින රජරට වාපියක් ම නොවේද?

ගංගා එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා

රජරට, සිඳී ගිය වැව මහවැලි ගඟට අමතන්නේ ආයාචනාත්මක ස්වරයෙනි. ඒ ස්වරයෙන් පීඩිත බව ඉස්මතු වෙයි. එතැන් සිට රචකයා චිත්ත රූපයට නඟනුයේ වියළී ගිය ජලාශයේ ස්වභාවයයි. දිය සිඳීයාමත් සමඟ දිරාගිය ඉපල් අහස බලාගෙන සිටී. ඒ වැහි පොදක්වත් වැටෙන තුරු විය යුතුය. මේ තරම් දුක් වළඳමින් සිටියදී මෙතෙක් කල් තමා දෙස නොබලා අහක බලා ගිය මහා වාලුකා නදියට, ජලාශය විසින් අමතනු ලබන්නේ චෝදනාත්මක ස්වරයෙනි. එහෙත් හෙට දින මහවැලිය තම වියළී ගිය සිරුර තෙත් කරන බව දන්නා මේ දුක්විඳි වාපී තොමෝ දෙවනු ව මහවැලියට අප්‍රමාණ වූ ආදරයකින් අමතන්නී ය.

දිරූ ඉපල් අතු දඬු ඔසවාගෙන
නියඟින් දා ගිය සිරුර වාරුකර
බලා සිටිද්දී මා
අහක බලාගෙන යන්න ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ…

දැඩි කාෂ්ඨකයෙන් ඉරිතලා ගිය පොළොව රචකයා දකිනුයේ පිපුරුණු දෙතොලක් ලෙසයි. අහසට මුව විවර කරන වැව් පතුළ රසිකයාගේ මනසේ සිතුවම් වෙයි. තම තාරුණ්‍යය මේ වැවට අහිමිවන්නේ අකලට ය. ඒත් ඒ සියලු දුක් දොම්නස් හෙට දවසේ නැවත නොඑන්නට ම දුරස් වන බවට රචකයා ඉඟි කරන ආකාරය අපූරු ය.

පිපුරුණු දෙතොළින් අහස බලාගෙන
දිය පොද රහිතව අකලට මහලුව
හඬා වැටෙද්දී මා
පෙනෙන ඉසව්වෙන් යන්න ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ…

ගේය පද රචනයක, පිරිපුන් බවට මේ පද රචනය අපූරු නිදසුනකි. කෙතරම් සංකේත, රූපක භාවිතා කළ ද තම පදමාලාව තුළ ගීතමය ගුණය සුරක්ෂිත කරගැනීමට සුනිල් ආරියරත්නයෝ වග බලාගනිති.

රචකයාගේ පරිකල්පනයේ, වාහකයන් බවට පත්වන්නේ සංගීතඥයා සහ ගායකයා ය.”ගංගා” නැමැති යෙදුම වූ කලී සංගීතමය යෙදුමකි. සංගීතඥයකුට ඒ තුළ විශාල ස්වර පරාසයක් කරා ගමන් කළ හැකි ය. මේ නිර්මාණය තුළ දී වික්ටර් රත්නායකයන් ඒ වචනයෙන් උපරිම ප්‍රයෝජනය ගනියි. ගංගා යන යෙදුම ඉතා ම දුක්බර ආයාචනයක් ලෙසින් ඔහු යොදාගනියි. එසේ ම “එන්නකෝ” යන ව්‍යවහාරික යෙදුම ද, කරුණා රසය හා ශෝක රසය මතුවන අයුරින් භාවිතා කරනු ලබයි. ඒ නිසා රසිකයා ගේ සවන් වැකෙන මුල් ම වදන් මාලාව රසික අවධානය දිනාගැනීමට සමත් වේ.

අබේවර්ධන බාලසූරිය නම් ගායකයාගේ හඬ වූ කලී අතිශයින් ශෝකී, හඬකි. එය හැත්තෑව දශකයේ තවත් එක් මං සලකුණක් බවට පත්වෙයි. මේ සමඟ ම මගේ සිහියට නැඟෙන්නේ ඒ දශකයේ මතු ව ආ තවත් ගීත කීපයකි. “බොඳ මීදුම් කඳුරැල්ලේ”, “වැලිබත් ඉව්වා”, “සිහිවටනය සේ කුමක් ලියන්නද”, “සූරියකාන්තා”, “කල්පනා ලොව මල්වනේ”, “අනුරාධපුරය ඔබයි” වැනි නිර්මාණ තාමත් අපගේ මතකයේ රැඳී ඇත්තේ, ඒ හඬෙහි ඇති සුවිශේෂත්වය හේතුවෙනි. අද වැනි පරිගණක තාක්ෂණයක් නොතිබුණ යුගයත මතු වූ, එබඳු අව්‍යාජ හඬවල් රාශියක් ම එකල සංගීත කෙත අස්වද්දන්නට දායක විය. පදරචකයන්ට ඔවුන් ගේ හඬ ආලෝකයක් වූ අතර ඔවුන්ට ආලෝකයක් වීමට පද රචකයන්ට ප්‍රතිභාවක් තිබිණි. වර්තමානයේ අපෙන් ගිලිහී යන්නේ මේ ප්‍රතිභාවයි.

”ගංගා” ගැන ලියූ සටහන ප්‍රමාණවත් යැයි මම සිතමි. මේ අවසාන සටහන තබන්නේ මේ අපූරු ගීය ගායනා කළ අබේවර්ධනයන් වෙනුවෙනි. මා ඔහු සමඟ කිසිදිනෙක කතාබහ කර නොමැත. මම ඔහුගේ හඬට ප්‍රිය කරමි. මගේ යෞවනය අර්ථවත් කරන්නට ඔහුගේ හඬ දායක වී තිබේ. ඒ හඬෙන් හදවතේ සියුම් තැන් ස්පන්දනය කිරීමට ඔහු අනේකවාරයක් දායක වන්නට ඇත. එහෙත් ඔහුගේ හදවතේ ස්පන්දනය නතර වී අදට තෙමසක් පිරෙයි. කිසිදු රසික ගංගාවක් ඔබ දෙස බලා අහක බලා යන්නේ නැත. ඔබට නිවන් සුව.

ධම්මික බණ්ඩාර

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*